spot_img
spot_imgspot_img

ජීවිත බේරීමට පුහුණු වෙමින් සිටි නාවික නැවියා, මුහුදට බිලිවෙයි

පුවත්

විදෙස්

ජීවිතාරක්ෂක පුහුණුවීම්වල යෙදී සිටි නාවික හමුදා සාමාජිකයකු අද (15) හික්කඩුවේ දී මුහුදු ජලයේ ගිලී මියගොස් ඇතැයි වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්තේ මීගහලන්ද දුරගේ සංජීව පුෂ්පකුමාර නමැති 32 හැවිරිදි එක්දරු පියෙකි.

නාවික හමුදාවේ වත්තල, දික්ඕවිට නාවික හමුදා කඳවුරේ නාවික නැවියකු ලෙස සේවය කරමින් සිටි ඔහු පසුගිය 07 වැනි දා සිට ජීවිතාරක්ෂක මූලික පුහුණු පාඨමාලාවක් සඳහා බලපිටියේ ජීවිත ආරක්ෂක පුහුණු මධ්‍යස්ථානයට යොමුකර තිබිණි.

ජීවිතාරක්ෂක පුහුණුව එම මධ්‍යස්ථානයේ දින කිහිපයක් පැවැත්වීමෙන් අනතුරුව පුහුණුව ලබන නාවික හමුදා සාමාජිකයන් 21 දෙනකු අද හික්කඩුව මුහුදේ පුහුණුවීම් කටයුතු සඳහා යොදවා තිබිණි.

මෙම මරණය සම්බන්ධයෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී ගාල්ල නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ විසින් හදිසි මරණ පරීක්ෂණය පැවැත්වූ අතර එහි දී සාක්ෂි දුන් නාවික නැවි බෝපේ වීරතුංගගේ ගිහාන් ධනුෂ්ක (35) මෙසේ කීවේය.

“මියගොස් සිටින්නේ මා සමඟ එකට සේවය කළ මගේ මිත්‍රයෙක්. අපි ජීවිතාරක්ෂක පුහුණුවට පැමිණ උදේ ‍හොඳින් පුුහුණුවීම්වල යෙදුණා. 10.30ට පමණ තේ පානය කරලා නැවත මුහුදට ගොස් ආපසු ගොඩබිම දෙසට පිහිනාගෙන එද්දී මා පසුපසින් පැමිණි සංජීව අපහසුවෙන් පිහිනන බව මා දුටුවා. නාවික නැවි ජයසුන්දර ඔහුට උදව්කරනවා මා දුටුවා. අපි ඉන දක්වා වතුර තිබෙන ස්ථානයට ඇවිත් දෙපයින් සිටගත්තා. සංජීව සිටගත්තත් ඔහු එකවරම වැටුණා. ඒ මොහොතේම අපි ඔහුව ගොඩබිමට රැගෙන ආවත් සිහිය තිබුණේ නෑ. කෘතිම ශ්වසනය දුන්නාම කැස්සක් ඇවිත් සෙම පිටවුණා. නාවික හමුදා බසයෙන් ආරච්චිකන්ද රෝහලට ගෙනගියාම එතැනින් ගිලන්රථයක් මගින් කරාපිටිය රෝහලට යැව්වා. කරාපිටිය රෝහලේ දී ඔහු මියගියා.”

මියගිය නාවික නැවි සංජීවගේ බිරිඳ කල්‍යාණි සංජීවනී කොඩිප්පිලිආරච්චි (31) කියා සිටියේ තම සැමියාට කිසිදු රෝගයක් නොතිබූ බවයි.

“සැමියා රැකියාව කළේ දික්ඕවිට නාවික හමුදා කඳවුරේ. ජීවිතාරක්ෂක පුහුණුවක් සඳහා බලපිටියට ආවත් නිවසට ආවේ නැහැ. අද උදෙත් මට කතා කළා. අපේ එකම දරුවා දුවට තවම මාස තුනයි. එයා ගැනත් විස්තර ඇහුවා. දවල් කවුදෝ කෝල් කරලා තාත්තාට කියා තිබුණා මගේ මහත්තයා හදිසියේම අසනීප වෙලා කරාපිටිය දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බව. අපි රෝහලට යනවිට මගේ මහත්තයා මියගිහින්”

මෙම මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ විශේෂඥ අධිකරණ වෛද්‍ය රුවන් නානායක්කාරගේ වාර්තාව සහ ඉදිරිපත් වූ සාක්ෂි සළකා බැලූ ගාල්ල නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ, මෙම මරණය සිදුව ඇත්තේ දියේ ගිලීමක් හේතුවෙන් යැයි තීරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!