spot_img
spot_imgspot_img

මියගිය මවක්, තම දියණිය සොයා එයි

පුවත්

විදෙස්

හූ……….. හූ……. හූ…… යනුවෙන්, මර ලතෝනි හඬ විටින් විට ඇසෙද්දී කාන්ති සොයා ඇගේ මව් පැමිණි බව ගමේ සියලු දෙනා දැන ගනීති.

මව මියගොස් වසර දෙකක් ගත වී ඇත. මව චන්ද්‍රලතා වරින් වර කාන්තිට ආවේශ වෙයි. මේ නිවස පිහිටා ඇත්තේ ගාල්ලේ උඩුගම ඇත එපිට ගම්මානයකය, කාන්තිගේ මව නිතර උත්සාහ ගන්නේ ඇගේ සිරුරට ඇතුළු වී ඉන් පසු සිය දියණිය වූ කාන්ති තමන් සිටින ලෝකයට රැගෙන යාමට බව ගැමියෝ කියති.

සතියකට දෙතුන් වතාවක් කාන්තිගේ සිරුරට ඇතුළුවන බව කියන චන්ද්‍රලතා වාහනයකට පැනීමට තැත් කරයි. ආරූඪ වන චන්ද්‍රලතා පවසන්නේ තමන්ට කාන්ති මරා ගැනීමට අවශ්‍ය බවයි. ඇය විටින් විට දිව යාමට තැත් කරන බැවින් ආරූඪය ආ විගස ඥාතීන් සිදුකරන්නේ ඇය ඇඳට තබා බැඳ දැමීමයි. එවිට මවගේ ශක්තියෙන් දිව යාමට හැකියාවක් ලැබෙන්නේ නැත.

ආරූඪය ලැබුණු විගස ඇය සිය මවගේ කට හඬින් කාන්තිගේ සැමියාට බැණ වදියි. ඔහුගේ බීමත් කමත් බිරිඳට හා දරුවන්ට නොසලකන බවත් පවසන චන්ද්‍රලතා කියා සිටින්නේ සැමියාගේ බස් අසා තමන්ට නොසැලකූ සිය දියණිය ද කෙසේ හෝ මරා ගන්නා බවයි.

ආරූඪය පැමිණෙන්නට වූ වහාම ගමේ ගුරුකම් දන්නා අයෙකු කැඳවිණි. ඔහු මතුරා නූලක් බැන්ද විට ආරූඪය ඉවත්විය. එහෙත් තවත් දින දෙක තුනකින් යළිත් චන්ද්‍රලතා දියණිය සොයා පැමිණියාය. ඒ අවස්ථාවේ ද නූලක් ගැට ගැසූ විට ඇය ඉවත්ව ගියේ කාන්තිට සැනසුමක් ඇතිකර දෙමිනි. මුලදි මුලදී මේ ආකාරයෙන් පැමිණි චන්ද්‍රලතා, කාන්තිගේ සැමියාට බැණ වැදී ආපසු යයි. සති දෙක තුනක් ගතවෙද්දී තත්ත්වය වඩාත් දරුණු වන්නට විය. මහ හූ හඬක් නගාගෙන පැමිණෙන චන්ද්‍රලතා නූල් ගැට ගැසුවාට සෙත් ශාන්ති කළාට ඉවත්ව යන්නේ නැත.

පන්සලේ හාමුදුරුවෝ ගෙන්වා පිරිත් කීව ද එය ද ප්‍රතිඵල අත්කර දුන්නේ නැත. අවසානයේ ගන්දරින් ගුරුන්නාන්සේලා ගෙන්වා මහ තොවිලයක් ද නැටුවේය. තොවිලය පැවැත් වූ ගුරුන්නාන්සේ ආතුරයා වූ කාන්තිගේ සිරුරට චන්ද්‍රලතා ගෙන්වා පුවක් මලකින් හොඳටම බැට දුන්නේය. පුටු යටින් රිංග වූයේය. වංගෙඩියක් කර තබාගෙන ඇවිද්ද වූයේය. අවසානයේ කුකුළකු බිලිගෙන යළි නොඑන්නට යන බව කියු චන්දුලතා නික්ම ගියේය.

ඇය ආපසු නොඑනු ඇතැයි සිතා සිටිය ද මාසයක් ගතවීමට මත්තෙන් චන්ද්‍රලතා යළිත් සිය දියණිය සොයා පැමිණියාය. ඒ වෙනදාටත් වඩා කෑකෝ ගසමින් බැණ වදිමිනි. තම දියණිය කෙසේ හෝ මරා දමන බව ඇය නිරන්තවරම කියන දෙයයි. චන්ද්‍රලකා බොහෝ දුක් වින්ද කාන්තාවකි. දරුවන් නම දෙනතු බිහිකළ ඇය වත්තක තේ දළු නෙලා උපයාගත් සොච්චම් වැටුපෙන් සිය දරුවන් උස් මහත් කළේ හරි හැටි කන්න අදින්න හෝ නොමැතිවය. එහෙත් තම දරුවන්ට දුක් විඳින්නට ඇය ඉඩ නොතැබුවාය, කාන්ති මේ මවගේ බාල ම දියණීයයි,

අන් දරුවන් විවාහපත් වී ගමෙන් බැහැර යද්දී චන්ද්‍රලතා කාන්ති සමග නිවසේ තනි වූවාය. වයස්ගත වෙමින් සිටි මවට කාන්ති හැකි පමණින් සැලකුවා ය. එහෙත් කාන්තිගේ සැමියා දර්ශන ටිකෙන් ටික වෙනස් වීමට වැඩි කාලයක් ගතවූයේ නැත.

දර්ශන වඩුකාර්මිකයෙකි. ඔහු හොඳ ආදායමක් ලැබුවේය. ඒ නිසා මේ නිවසේ අග්ගිඟකම් තිබුණේ ද නැත. නමුත් පසු කාලීනව වෙනස් වූ දර්ශන සිය නැන්දම්මාට වෙනස්කම් කරන්නට වුයේ ය. කාන්ති ද දර්ශනගේ පාලනය හේතුවෙන් අම්මාට නිසි පරිදි සළකා ගත නොහැකිව අසරණ වූවාය.

කාන්තිට දරුවන් දෙදෙනෙකි. මේ දරුවන් ඇති දැඩි කළේ ද චන්ද්‍රලතා විසිනි. ආච්චිච්ට දරුවෝද බෙහෙවින් ආදරය කරති. එහෙත් මේ ආදරය ද දර්ශනට රුස්සන්නේ නැත. හැමදාමත් සිය නැන්දණියට බැණ වදින දර්ශන විටෙක කියා සිටියේ ඇය එළවා දැමිය යුතු බවයි. නැතිනම් ඉක්මණින් මැරෙන්නට හැරිය යුතු බවයි.

මේ වෙනස්කම් දරාගත නොහැකිව සිටි ඇය විටින් විට මේ ගැන කාන්ති සමඟ සාකච්ඡා කළාය. ඒ සෑම විටම කාන්ති තම අසරණ බව අම්මාට කියා සිතින් දුක්වින්දා පමණි. ඇයට කළ හැකි කිසිවක් නොතිබිණි.

සිය දියණියගේ ම නිවසේ නොසැලකීමට බඳුන් වූ මව අවසානයේ රෝගාතුර වූවාය. අත් බෙහෙත්, කොත්තමල්ලි හා බාන්වැල්ගැට වලින් ලැබුණු ප්‍රතිකාර ප්‍රමාණවත් නොවූ තැන චන්ද්‍රලතා මිය ගියේ නිව්මෝනියාවෙන් බව මරණ පරීක්ෂණයේදී තීරණය කර තිබිණි. කාන්තිගේ සැමියා නැන්දණියට දක්වන අකෘතඥ බව දත් බොහෝ දෙනා දර්ශන කාන්තිගේ මව මරා ගත්තා යැයි චෝදනා එල්ල කළහ. ඒ සෑම අවස්ථාවකදීම කාන්ති සිටියේ හැඬු කඳුලිනි.

මවගේ මරණය කාන්තිට දරාගත නොහැකි තත්ත්වයකට පත්ව තිබිය දී මියගිය මව කාන්ති සොයා පැමිණියාය. මවක් මියගිය පසු යළි අප අතරට ම පැමිණෙන ලෙස කොතෙක් කීව ද මියගිය මව දියණිය සොයා පැමිණීම බොහෝ දෙනකුට බිය ජනිත කරන්නකි.

දියණියගේ සිරුරට ආරූඪ වන මේ මාතාව සිය බෑණාට බැන වදින්නේ තමන් ජීවත්ව සිටියදී නොසැලකූ බව කියමිනි. තම සැමියාගේ ග්‍රහණයට නතුව අසරණව සිටින දියණිය සමඟ වාහනයකට පැන ඇය මරා තමා අසළට ගන්නා බව ද ඇය පවසයි. කොතෙක් පිරිත් කීව ද කෝවිල් කළ ද මව ආරූඪයෙන් පැමිණීම නැවතුනේ නැත. ගමේ සිටි වෛද්‍යවරයෙක් දිනක් කාන්තිගේ මව ඇය සොයා පැමිණ ඇති කතාව කරාපිටිය, ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛදය රුම් රුබන් ට කීවේ එයට යම් පිළියමක් ලබා දෙන ලෙස ද ඉල්ලා සිටිමිනි. ඒ වෛද්‍යවරයාගේ ද අදහස වුයේ මනෝ වෛද්‍ය ප්‍රතිකාර වලින් කාන්තිගේ ආරූඪය නැති කළ හැකිවන බවයි.

විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් කාන්ති බැලීමට යාම සඳහා දිනයක් යොදා ගත්තේය. එදින උදෑසන යළිත් කාන්ති සොයා මව පැමිණ සිටියා ය.

වෙල් එළිය දිගේ පැමිණි වෛද්‍ය රූමිගේ කාරය නිවසේ මිදුලේ නවත්වන විට ඇගේ හු හඬ දැඩිව නැගෙන්නට විය. වෛද්‍ය රූමි නිවසට ඇතුළු වන විටත් ඇය ඇඳක ගැට ගසා සිටින්නී ය.

ඔහු ගොස් ඇය අසළින් වාඩි වූවේය.

“මොක ද මේ කෑ ගහන්නේ ” වෛද්‍යවරයා අසයි.

“මට මේකිව අරන් යන්න ඕනේ. මම මේකිව අරගෙන වාහනයකට පැනලා මැරෙනවා. එතකොට දූ මගේ ළඟට එනවානේ. කාන්තිගේ වයසට වඩා තරමක් වයස්ගත නඬකින් පවසයි.

” මය කතා කරන්නේ කාන්තිගේ අම්මා. මේ ගෑණි ඇවිත් කාන්තිව මරා ගන්න හදන්නේ” එසේ කීවේ කාන්තිගේ සැමියා දර්ශන වෛද්‍යවරයාට තවත් සමීප වෙමිනි.

වෛද්‍යවරයා එය ගණනකට නොගෙන කාන්තිගෙන් ප්‍රශ්න කරයි. පිළිතුරු දෙන්නේ කාන්තිගේ මව චන්ද්‍රලතාය. “ඇයි මේ විදියට දුව හොයාගෙන එන්නේ ” ‘

“මට එයාව මගේ ළඟට ගන්න ඕනේ. කෙල්ල මේ මිනිහා නිසා දුක් විඳිනවා. එයාට බැරිවුණා මට සළකන්නවත් ” “දුවට ආදරේ ද?”

” නැතුව දුවට මම ගොඩක් ආදරෙයි.”

”දුවට ආදරේ නම් එයාව අරගෙන ගිහින් බැහැනේ. අර පොඩි ළමයි දෙන්නා අනාථ වෙනවානේ.”

” මම එයාලවත් මගේ ළඟට ගන්නවා. මේ මිනිහා ළඟ එයාලට ඉන්න දෙන්නේ නෑ.” චන්ද්‍රයාගේ හඬින් කාන්ති කතා කරයි.

දරු දෙදෙනාත් බිය පත්ව බලා සිටිති.

“මේ වෙලාවේ දුව අරගෙන යන්න බැහැනේ”

දැන් මෙතන ගොඩක් කට්ටිය ඉන්නවා. ඇඳට කියලත් බැඳලා දාලනේ ඉන්නේ. ඒ නිසා දැන් යන්න, පස්සේ ඇවිත් එක්කගෙන යන්න. වෛද්‍ය රූබන් එසේ කියද්දී කාන්ති වඩාත් කල්පනාකාරී වූවා ය. මොහොතකින් යළිත් හූ හඬ ඇසිණි. අම්මා කාන්ති දමා ගියාය.

“දොස්තර මහත්තයට මෙයාලා බොහොම කීකරුයි වගේනේ.”

දර්ශන පවසන්නේ සතුටිනි.

“පොඩි මානසික ප්‍රශ්නයක් තියෙනවා. කැමති නම් මම බෙහෙත් දෙන්නම්. එතකොට ඔය ප්‍රශ්නය මගහැරේවි.” වෛද්‍ය රූමි එසේ කිවේය. සියල්ලෝම මානසික ප්‍රතිකාර ලබාගැනීමට කැමැති වූහ.

වෛද්‍යවරයා කාන්තිට බෙහෙත් නියම කළේය. ”මහත්තයෝ මොකක් ද මේ දැරිවිට වෙලා ද තියෙන්නේ ” කාන්තිගේ මාමා කෙනෙක් එසේ ඇසුවේ විස්තර දැන ගැනීමේ අටියෙනි. විශ්‍රාමික ගුරුවරයකු වූ ඔහු යමක් තේරුම් ගත හැකි අයකු බැවින් වෛද්‍ය රූමි ඔහුට තත්ත්වය විස්තර කළේය.

”කාන්තිට තමන්ගේ අම්මාට හරිහැටි සළකා ගන්න බැරිවීමේ වේදනාව හිතේ තිබුණා. ඒ නිසාම සැමියාගේ දැඩි ස්වභාවය ඇයට කරදරයක් වෙමින් තිබෙන්නට ඇති. ඇයගේ මානසික්තවය දුර්වලයි. එවැනි වෙලාවට තමන්ට ඇතිවන විවිධ ඝට්ඨන වලට මුහුණ දීම සඳහා වෙනත් පුද්ගලික චරිත තමන්ට ආදේශ කරගන්නවා. එය තමන්ට ඇති පීඩනයෙන් ගැලවී සිටීමට මාර්ගයක්. මේ වෙලාවේ ඇයගේ සමීත ම ඥාතියා අම්මා. අම්මා මිය ගියාට පසු ඇය අම්මාගේ ස්වරූපය ආරූඪ කරගෙන තමන් පත්ව ඇති අසීරු තත්ත්වයෙන් ගොඩ ඒමට උත්සාහ ගත්තා. අම්මා මිය ගියාට පසු ඇය අම්මාගේ ස්වරූපය තමන්ට ආරූඪ කර ගත්තා. අම්මා සහ දර්ශන අතර තිබූ විරසකය කාන්තිගේ යටි සිතෙන් එළියට පැන්නා. ඒ වෙලාවට ඇගේ මානසික ඝට්ඨනයට යම් සහනයක් ලැබෙනවා. ඇත්තටම මිය ගිය මව ඇගේ සිරු රට පැමිණෙන්නේ නැහැ. ඇය තමන්ගේම යටි සිතෙන් තමයි මවගේ චරිතය ආරෝපණ කරගෙන ඉන්නේ.”

පසුව කාන්ති මෝහන නිද්‍රාවකට පත්කළ වෛද්‍ය රූම් ඇගේ යටි සිත අවදි කර මව සමග සාකච්ඡා කළේය. ඉන් අනතුරුව ඇගේ පැමිණීමෙන් කාන්තිට හා දරුවන්ට විදින්නට  සිදුවන දුක් වේදනා ද වෛද්‍යවරයා පැහැදිලි කළේය. මේ ගැන තේරුම් කර දීමෙන් පසු කාන්ති අතහැර යන බව මව සොරොන්දු වූවාය. වෛද්‍ය රූම් රූබන් මහතා මේ සිද්ධිය මෙසේ විස්තර කළේය.

මේ රෝගය චිත්ත විඝටන රෝගය යනුවෙන් හඳුන්වනවා, දුර්වල පෞරුෂත්වයක් ඇති අයගෙන් මෙය දක්නට ලැබෙනවා. වැඩිපුරම මෙයට ගොදුරු වන්නේ මැදි වයසේ කාන්තාවන්. ඔවුන් වේදනා ගෙන දෙන ගැටලුවක් නිසා මේ දෙය සිදුවනවා. ප්‍රසිද්ධියේ කතා කළ නොහැකි දෙයක් දිර්ඝ කාලයක් සිතේ සිරකරගෙන සිටීමෙන්ද මේ තත්ත්වය ඇතිවනවා. හදිසියේ ම ඇතිවන අධික මානසික පීඩනය නිසාත් මෙය සිදුවනවා.

වෛද්‍ය රූමි පවසන්නේ මියගිය කෙනෙකු ආවේශවීම මේ රෝගය ප්‍රකාශ වන එක් ආකාරයක් බවයි. මෙහිදී අමුනුෂ්‍ය බලවේග හෝ වෙනත් පුද්ගලයෙකු හෝ සිරුරට පැමිණීමක් සිදු නොවන බව ද හෙතෙම පෙන්වාදෙයි.

ආරූඪ වීමේ දී සිදු වන්නේ සිතේ ඇතිවන්නා වූ චරිතයක් ලෙස කතා කිරීමට හා හැසිරීමට රෝගියා පෙළඹීමයි. මේ වගේ වෙලාවට සිහිය තිබුණත් රෝගියා කලහකාරි ලෙස හැසිරෙනවා. අවට සිදුවන දේ ගැන තැකීමක් ඔවුන්ට නැහැ.

ආරූඪ වූවායැයි කියන අවස්ථාවේ දී හෘද ස්ඵන්දන වේගය වැඩි වේ. ශ්වසන වේගය ද වැඩි වේ. ශරීරයේ වේගවත් චලන ඇති වේ. එවැනි අය පිරිත් ඇසෙන විට, බෙර හඬ ඇසෙන විට. පන්සලේ දී කෝවිලේ දී හෝ වෙනත් යාතිකා යාග හෝම පැවැත්වෙන විට දී ආරූඪ තත්වයට පත්වීම නිතර සිදුවන්නකි.

මෙවැනි රෝගීන්ට මෝහන ප්‍රතිකාරය කළ ද එයින් පමණක් සුව කළ නොහැකි බව ද වෛද්‍යවරයා කියා සිටියේය. ඔහු පෙන්වා දෙන්නේ නිතර ආරූඪ වන රෝගීන් රෝහලක ප්‍රතිකාර සඳහා යොමු කිරිමෙන් සුව කැර ගත හැකි බවයි.

මෙය සත්‍ය සිදුවීමක් වුව ද නම් ගම් සියල්ල මනඃකල්පිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!