spot_img

දූෂණ විරෝධී පනත සම්මත වුණේ සංශෝධන 193ක් සහිතවයි

පුවත්

විදෙස්

නව දූෂණ විරෝධි පනත් කෙටුම්පත අද (19) පාර්ලිමේන්තුවේදී සංශෝධන 193ක් සමඟ ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.

ඒ අනුව පිහිටුවන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට, වඩාත් ස්වාධීනව කටයුතු කිරීම සඳහා මෙමගින් නෛතික ප්‍රතිපාදන සැලසේ.

නව දූෂණ විරෝධි පනතින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු පුද්ගල ලැයිස්තුවට, මෙතෙක් ඇතුළත්ව නොසිටි ජනාධිපතිවරයා, ආණ්ඩුකාරවරුන්, තානාපතිවරුන්, පළාත් සභා සභිකයන් සහ තානාපති කාර්යාලවල විධායක නිලධාරීන් ඇතුළු පාර්ශ්ව රැසක් ඇතුළත් කර තිබීම විශේෂත්වයකි. ඔවුන් වාර්ෂිකව සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකළේ නම්, ඔවුන්ට එරෙහිව නඩු පැවරීමේ හැකියාව කොමිසමට හිමිවෙයි.

පාර්ලිමේන්තුවේ සම්මත කෙරුණු නව දූෂණ විරෝධි පනතින් අල්ලස් සහ දූෂණ වැරදි පිළිබඳ චෝදනා අනාවරණය සහ විමර්ශනය කිරීමට, වත්කම් සහ බැරකම් ප්‍රකාශ ආශ්‍රිත වැරදි සඳහා නඩු පැවරීමට ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවීමට විධිවිධාන සලසා තිබේ.

මේ යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ස්ථාපිත කෙරෙනු ඇත.

කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් තිදෙනා පත් කිරීමේ බලය ජනාධිපතිවරයාට පැවරී ඇති අතර, එය සිදුකෙරෙන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්වය.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්ව ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන අතර, එම තනතුරට මෙතෙක් පැවති බලයට වඩා වැඩි ක්‍රියාකාරී බලයක් නව පනතින් ලබා දී තිබේ.

එමෙන්ම නව පනතින් එක් එක් ක්ෂේත්‍රවල සුදුසුකම් ඇති විමර්ශන නිලධාරින් කොමිසමට සෘජුව බඳවාගැනීමේ අවස්ථාවද හිමි වේ.

එමෙන්ම නව පනත ඔස්සේ කොමිසමට නඩු පැවරීමේ බලය හිමිව ඇති අතර, අවශ්‍ය අවස්ථාවකදී ඊට නීතිපතිවරයාගේ සහාය ද ලබාගත හැකිය.

නව පනතින් අල්ලස් සහ දූෂණය යන වචන සඳහා පුළුල් අර්ථයක් ලබා දී ඇති අතර, ලිංගික අල්ලස් ලබාගැනීමද මෙමගින් සාපරාධි වරදක් ලෙස අර්ථ දක්වා තිබේ.

රාජ්‍ය ආයතනවල අල්ලස් සහ දූෂණ සිදුවීම් මෙන්ම රාජ්‍ය ආයතන හා බැඳුණු පෞද්ගලික ආයතනවල අල්ලස් සහ දූෂණ සිදුවීම්ද නව පනත යටතේ වරදක් ලෙස සලකනු ඇත.

නව දූෂණ විරෝධි පනත තුළින් ක්‍රීඩා ක්ෂේත්‍රයේ සංගම් ආශ්‍රිතව සිදුවන්නා වූ දූෂණ හා වංචාවලට අදාළවද නීති සම්පාදනය කර තිබේ.

මෙම පනත සම්මත වීමට පෙර කිසියම් වරදක් කර ඇත්නම් නව පනතේ විධිවිධා යටතේ වරදක් ලෙස සළකා නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය ද හිමිව තිබීම විශේෂත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles