spot_img
spot_imgspot_img

IMF ප්‍රගතිය අඩුවෙයි. දෙවැනි වාරිකය නොලැබුණොත් රට ම අමාරුවේ ?

පුවත්

විදෙස්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාව එකඟ වී ඇති කැපවීම් ඉටුකිරීම සැළකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන නැතැයි වෙරිටේ රිසර්ච් ආයතනය විසින් පවත්වාගෙන යන ‘IMF මීටරය’ ට අනුව තවරු වෙයි. එහි දී වැඩි අවදානයක් යොමුකළ යුතු කරුණු වන්නේ IMF සමඟ ශ්‍රී ලංකාව එකඟ වී ඇති පරිදි වඩාත් සාධනීය නීති සම්පාදනය සහ තොරතුරුවල විනිවිදභාවය ආරක්ෂා කරමින් ඒවා බෙදාහැරීමට රජය මෙතෙක් පියවර ගෙන නොතිබීමයි.

2023 ජුනි මාසය අවසන් වන විට මෙරට ක්‍රියාත්මක IMF වැඩසටහනේ ඇති ප්‍රගතිය මැනිය හැකි කැපවීම්වලින් 33ක් ඉටුකර ඇති අතර කැපවීම් 08ක් ඉටුකර නැත. කැපකිරීම් 14කට සිදුවූයේ කුමක්ද යන්න දැනගැනීමටවත් නැත.

2023 මැයි මාසය වනවිට අර්ධ වශයෙන් සම්පූර්ණකර තිබූ කැපවීම් ඇතුළත්ව ඉටුකර නොතිබූ කැපවීම් සංඛ්‍යාව 04කි. ජුනි මාසය අවසන් වනවිට එම සංඛයාව දෙගුණයකින් ඉහළ ගොස් 08ක් දක්වා වැඩි වී ඇත. . 8ක් ඉටුකර නැත.

ජුනි මාසය වනවිට සම්පූර්ණ කර තිබිය යුතු නමුත් ඉටුකර නැති කැපවීම් පහත දැක්වෙයි.

  1. රජය සතු ප්‍රධාන ව්‍යවසායන් (SOEs) ප්‍රතිව්‍යුහගත කිරීමේ සැළැස්ම සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීම
  2. නව දූෂණ විරෝධී නීති පැනවීම
  3. 2022 සඳහා රාජ්‍ය සතු ප්‍රධාන ව්‍යවසායන් (SOEs) 52 හි වාර්ෂික වාර්තා ප්‍රකාශයට පත් කිරීම
  4. ආනයනය සීමා කිරීම් ක්‍රමයෙන් ඉවත් කිරීමේ සැළැස්මක් සකස් කිරීම

මැයි මාසය අවසන් වන විට ඉටු කර නොතිබූ කැපවීම් හතර පහතින් දක්වා ඇත

  1. බදු ආදායම රුපියල් බිලියන 650ක් දක්වා ඉහළ දමා ගැනීම
  2. ඔට්ටු සහ සූදු බද්දට අදාළ බදු අනුපාත ඉහළ දැමීම
  3. මහබැංකු පනතට අනුමැතිය ලබාගැනීම
  4. මූල්‍ය විනිවිදභාවය ප්‍රකාශිත වන අයුරින් මාර්ගගත වේදිකාවක් පිහිටුවීම

වෙරිටේ රිසර්ච් හි IMF මීටරය අනුව ජූනි මාසය අවසන් වන විට මෙම කැපවීම්වල තත්ත්වය, මැයි මාසය අවසන් විට පැවති තත්ත්වයෙන් වෙනස්ව නැත.

මාර්තු සහ ජූනි අතර කාලය තුළ රටට වැදගත් නීති 3ක් පැනවීමට ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වී සිටියේ ය. ඔට්ටු සහ සූදු බදු සංශෝධනය කිරීම, ශ්‍රී ලංකා මහ බැංකු පනත බලාත්මක කිරීම සහ නව දූෂණ විරෝධී පනත සම්මත කිරීම මෙම නීති 3 වේ.

මෙම නීතිවලට අදාළ පනත් කෙටුම්පත් මුද්‍රණ දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ පිළිවෙලින් 2023 අප්‍රේල් 4, මාර්තු 7 සහ අප්‍රේල් 27 යන දිනවල ප්‍රකාශයට පත් කරන ලදී. කෙසේ වෙතත්, මෙම කෙටුම්පත් සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබා දීම සහ ඒවා බලාත්මක කිරීම තවමත් සිදු කර නැත.

තොරතුරු බෙදා හැරීම සැළකූ විට එම ක්ෂේත්‍රයට අදාළ මූලික කැපවීම් 03ක් ඉටුව නැත.

පළමුවැන්න වන්නේ මාර්ගගත ක්‍රමයට මූල්‍ය විනිවිදභාවය ප්‍රකාශිත වන අයුරින් වේදිකාවක් පිහිටුවීම යි. මෙම වේදිකාවේ අපේක්ෂිත අරමුණ වන්නේ, සැලකිය යුතු රාජ්‍ය ප්‍රසම්පාදන කොන්ත්‍රාත්තු, ආයෝජන මණ්ඩලය විසින් ලබා දී ඇති බදු නිදහස් කිරීම්වලින් ප්‍රතිලාභ ලබන සමාගම්වල නම් ලැයිස්තුවක් සහ සුඛෝපභෝගී වාහන ආනයනය සඳහා බදු නිදහස් කිරීම්වලට යටත්වන පුද්ගලයන් සහ සමාගම් පිළිබඳ තොරතුරු අර්ධ-වාර්ෂිකව ප්‍රකාශයට පත් කිරීමයි.

එමෙන් ම 2022 දක්වා රජය සතු ප්‍රධාන ව්‍යවසායන් 52ක වාර්ෂික වාර්තා ප්‍රකාශයට පත් කිරීම ද තවත් එකඟ වූ කරුණකි. නමුත්, වෙරිටේ රිසර්ච් විසින් මෑතක දී, කරන ලද අධ්‍යනයකින් හෙළි වූයේ රජය සතු ව්‍යවසායන් 52න් 11ක් පමණක් 2022 දක්වා ඔවුන්ගේ වාර්ෂික වාර්තා ප්‍රකාශයට පත්කර ඇති බවයි.

තුන්වැන්න වන්නේ ආනයන සීමා ඉවත් කිරීමේ සැළැස්මක් ප්‍රකාශයට පත් කිරීම යි. එයද, ඉටුකර නැත.

ජුනි මස අවසානය වන විට, ඉටු කළ යුතුව තිබූ කැපවීම්වලින් 14%ක ප්‍රගති තත්ත්වය මීටරය විසින් “නොදනී” ලෙස වර්ගීකරණය කර ඇත. මෙයින් අදහස් කරන්නේ තක්සේරුව සිදු කිරීම සඳහා අවශ්‍ය තොරතුරු නොතිබූ බවයි. මැයි මාසය අවසන් වන විට නොදනී කාණ්ඩයේ පැවති කැපවීම්වල ප්‍රතිශතය 6%ක් විය. ජූනි මාසය අවසන් වන විට එම ප්‍රමාණය දෙගුණයකටත් වඩා ඉහළ ගොස් ඇත.

වෙරිටේ රිසර්ච් ආයතනයට අනුව, IMF වැඩසටහනේ කාලීන ප්‍රගතියෙන් රටට ලැබෙන වාසි දෙකකි. පළමුවැන්න නම්, කැපවීම් ඉටුකිරීම හරහා (සියල්ලගෙන්ම නොවුනද) රටට ලැබෙන ප්‍රතිලාභයන්ය. දෙවැන්න නම්, කැපවීම් ඉටුකිරීමට ශ්‍රී ලංකාවේ ඇති කැපවීම සහ වගවීම පෙන්වා දීමෙන්, රටේ පාලනය කෙරෙහි විශ්වාසය වැඩිදියුණු කිරීම මගින් අතීත ණය බර ප්‍රතිව්‍යුහගත කිරීම සහ අනාගත ආර්ථික ප්‍රකෘතිය කරා යන ගමන කඩිනම් කිරීම සඳහා වන සාකච්ඡාවලට උපකාරයක් වීමයි.

IMF එකඟතාවන් අනුව එම කැපකිරීම් කොතරම් දුරට සාර්ථක කරගත්තේ ද යන්න පිළිබඳ පළමු සමාලෝචනය 2023 සැප්තැම්බර් මාසයේ දී සිදුකිරීමට නියමිතය. ඒ වනවිට IMF කැපවීම්වල අපෙක්ෂිත ඉලක්ක සම්පූර්ණකර ගැනීමට ශ්‍රී ලංකාව අපොහොසත් වූවහොත් ශ්‍රී ලංකාව කෙරෙහි ජාත්‍යන්තර තබා ඇති විශ්වාසය තවදුරටත් බිඳ වැටෙනු ඇත. එවිටට සිදුවන්නේ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත IMF අරමුදල් ප්‍රමාණය අඩුවීම හෝ ඒ සඳහා වැඩි කාලයක් ගතවීම වැනි දඩුවමකට ශ්‍රී ලංකාවට යටත්වීමට සිදුවීමයි.

සමස්ත කැපවීම්වලින් 71%ක් ශ්‍රී ලංකාව විසින් 2023 සැප්තැම්බර් 23 වැනි දින වනවිට සම්පූර්ණ කර තිබිය යුතු වෙයි. නමුත් මේ දක්වාම සම්පූර්ණ කර ඇත්තේ කැපවීම්වලින් 33%ක් පමණි. මෙය කිසිසේත්ම ප්‍රමාණවත් නැති බව ආර්ථික විශේෂඥයයන්ගේ මතයයි.

ශ්‍රී ලංකාව IMF සමඟ එකඟතාවකට එළඹ තිබීමත් IMF නිරන්තරව ම ශ්‍රී ලංකාවේ කැපවීම් කෙරෙහි සමාලෝචනය කරමින් සිටීමත් නිසා ජාත්‍යන්තරය ශ්‍රී ලංකාව කෙරෙහි මේ දක්වා විශ්වාසයක් තබා ඇති නමුත්, එම කැපවීම් ඉටුකර ගැනීමට තවදුරටත් ශ්‍රී ලංකාව අපොහොසත් වුවහොත් යළි අර්බුදකාරී තත්වයක් ඇති වීම වැළැක්විය නොහැකි වනු ඇත.

IMF මීටරය යනු 2023 ශ්‍රී ලංකාව අන්තර්ජාතික මූල්‍ය අරමුදල වෙත යැවූ අභිප්‍රාය ලිපිය ප්‍රකාරව, එම අරමුදලේ අනුමැතිය හිමිවූ ණය වැඩසටහනේ, හඳුනාගත් කැපවීම් 100ක ප්‍රගතිය මනින ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම වේදිකාවයි.

ශ්‍රී ලංකා රජයට, ජනතාවට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට, වැඩසටහනේ අන්තර්ගත කැපවීම්වල ප්‍රගතිය මනා ලෙස අවබෝධ කර ගැනීමට සහ නිරීක්ෂණය කිරීම සඳහා සහය ලබාදීමක් වශයෙන් මෙම වේදිකාව නිර්මාණය කර ඇත.

වැඩි විස්තර දැනගැනීමට manthri.lk/en/imf_tracker  වෙත පිවිසෙන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!