spot_img
spot_imgspot_img

මත් වී, ලයිසන් නැතිව ගිය යතුරුපැදිකරු නිසා සිසුවකුට දිවි අහිමි වෙයි

පුවත්

විදෙස්

“තමුන් කර තියෙන්නේ කවදාවත් සමාව දෙන්න බැරි වැරැද්දක්. රෑට ඇති තරම් මත්වෙලා රියදුරු බලපත්‍රයක්වත් නැතිව අනුන්ගේ යතුරුපැදියක් ඉල්ලගෙන ගිහින් වටිනා ජීවිතයක් නැති කරලා. මේක සමාව ඉල්ලන්න පුළුවන් විදියේ වරදක් නෙවෙයි.” යැයි ගාල්ල නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා ඊයෙ (08) කරාපිටිය ශික්ෂණ රෝහලේ දී තරුණයකුට තරයේ අවවාද කරමින් කියා සිටියේය.

ඔහු එලෙස කීවේ ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ අහංගම විතානගේ කවිඳු රෂ්මික රණසිංහ නමැති 15 හැවිරිදි දරුවාගේ මරණ පරීක්ෂණය පැවැත්වූ අවස්ථාවේ දී, අනතුර සිදුකළ යතුරුපැදිය පදවාගෙන ගිය බව කියන  උමගිලිය කංකානම්ගේ නලින්ද පුෂ්පකුමාර (29) නමැති ගාල්ල කනම්පිටියේ පදිංචි තරුණයකුටය.

පසුගිය ජුනි මස 17 වැනි සෙනසුරාදා උදේ 6.30ට පමණ සිය පියා සමඟ අහංගම නගරයේ දී පදික මාරුවක ගමන් කරමින් සිටි කවිඳු රෂ්මික නමැති පාසල් සිසුවා යතුරුපැදියේ ගැටීමෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු සිහිය නොලබාම දැඩි සත්කාර ඒකකයේ දී ඊයේ (08) මියගියේය.

මෙම මරණ පරීක්ෂණයේ දී සාක්ෂි දුන් යතුරුපැදිකරු වන උමගිලිය කංකානම්ගේ නලින්ද පුෂ්පකුමාර වැඩිදුරටත් මෙසේ ද කීවේය.

“මම මේ වැරැද්ද පිළිගන්නවා. මගේ බිරිඳ සහ දරුවා මිදිගම ඥාති නිවසකට ගොස් සිටියා. මේ අනතුරු සිදුවූ දිනට පෙරදින රාත්‍රී මමත් ඒ නිවසට ගියා. මම එදා රාත්‍රී මත්වෙලා හිටියේ. පසුව දා මගේ වැඩකට යද්දී තමයි මේ අනතුර සිදුවුණේ. මට යතුරුපැදි පැදවීමේ බලපත්‍රයක් නැහැ. යතුරුපැදියත් වෙනත් අයකුගෙන් ඉල්ලා ගත්තු එකක්. මේ මියගිය දරුවා පාර මාරුවෙද්දී මම දැක්කා. ඒත් මට යතුරුපැදිය නවතාගැනීමට නොහැකිවුණා. ඒ දරුවා මගේ යතුරුපැදියේ වැදුණා. මම වැටිලා පාර දිගේ ඇදිලා ගියා. ඒ වැදුණු පුතාවත්, තාත්තාවත් වටේ හිටපු අය රෝහලට ගෙනිච්චා. මගේ කකුලෙත් තුවාලයක් තිබුණා. පොලිසිය මාව ඒ ආසන්න රෝහලකට ගෙනිහින් තුවාලයට මැහුම් දාලා මාව අත්අඩංගුවට අරගෙන උසාවි දැම්මා. මාව රිමාන්ඩ් කරලත් තිබුණා. දැන් ඇප මත නිදහස්ව සිටිනවා.”

මෙම මරණය සම්බන්ධයෙන් සාක්ෂි දුන් මියගිය දරුවාගේ පියා අහංගම විතානගේ සම්පත් රණසිංහ (43) මෙසේ කීවේය.

“මට පුතුන් දෙදෙනෙක් ඉන්නවා. මියගොස් සිටින්නේ මගේ වැඩිමල් දරුවා. ඔහු උපකාරක පන්තියකට ගෙනියන්න මම ජුනි 17 වැනි සෙනසුරාදා උදේ අහංගම නගරයට ආවා. අපි යතුරුපැදිය වෙළෙඳ සැළක් ඉදිරිපිට නවත්වලා බසයෙන් ගාල්ලට යන්න සාරිපුත්‍ර විද්‍යාලය ඉදිරිපිට පදික මාරුවෙන් පාරේ එහාපැත්තට ගමන් කළා. පාර මාරුවෙන අවස්ථාවේ පාරේ කිසිම වාහනයක් තිබුණේ නෑ. පුතා මට වඩා අඩියක් දෙකක් පිටුපසින් ආවේ. එක පාරටම ලොකු ශබ්දයක් ඇහුණා. මම පිටුපස බලනවිට පුතා පාරේ වැටී සිටියා. යතුරුපැදියක් පෙරැළී පෙරැළී ඇදිලා ගියා. පුතාට සිහිය තිබුණේ නෑ. පාරේ හිටපු අය පුතාවත් මාවත් ත්‍රී රෝද රථයකින් ගොන්නගහහේන රෝහලට ගෙන ගියා. එතැනින් කරාපිටිය රෝහලට යැව්වා. පුතාගේ හිසෙහි සැත්කමකුත් කළා. නමුත් පුතාට සිහිය ආවේ නෑ. දැඩි සත්කාර ඒකකයේ දිගටම හිටියේ. අද උදේ පුතා මියගියා.”

මෙම මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අධිකරණ වෛද්‍ය නිලධාරී සී.ටී.මහානාම මහතාගේ වාර්තාව සහ ඉදිරිපත් වූ සාක්ෂි සැළකිල්ලට ගත් හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා මෙම මරණය සිදුව ඇත්තේ රිය අනතුරකින් හිස්කබලට සහ මෙ‍ාළයට සිදු වූ තුවාල හේතුවෙන් යැයි තීරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!