ගාල්ලේ, හියාර රක්ෂිතයේ තිබී හමු වූ කෙතල ශාකයක් මෙතෙක් ලෝකයේ වාර්තා නොවූ නව විශේෂයක් බව පර්යේෂණයකින් තහවරු කර තිබේ.
මෙම පර්යේෂණය සිදුකළ ඉන්ද්‍රඛීල මාදොල, මහාචාර්ය දීප්ති යකන්දාවල සහ මහාචාර්ය කපිල යකන්දාවල ඒ පිළිබඳ ජාත්‍යන්තර Phytotaxa නමැති උද්භිද විද්‍යා සඟරාවේ ප්‍රකාශයට පත්කර තිබේ.
මේ සොයාගැනීමත් සමඟ ශ්‍රී ලංකාවෙන් හමුවන කෙතල විශේෂ සංඛ්‍යාව 14ක් දක්වා ඉහළ යන අතර ඉන් විශේෂ 13ක් ම ශ්‍රී ලංකාවට ආවේණික වෙයි. පර්යේෂකයන් පවසන්නේ මෙම නව කෙතල විශේෂය Lagenandra limbusleviterapertae ලෙස නම්කරන ලද බවයි. මේ දක්වාම ගාල්ල හියාරේ ජලාශය ආශ්‍රිත වනාන්තර ප්‍රදේශයෙන් හැර ලොව වෙනත් කිසිම ස්ථානයකින් මෙම නව විශේෂය වාර්තා වී නැති බැවින් එම විශේෂය සිංහල භාෂාවෙන් “හියාරේ කෙතල” යනුවෙන් නම්කිරීමට ද පර්යේෂකයෝ කටයුතු කළහ.
මීට පෙර මෙම ශාකය හියාරෙන් හමු වී තිබුණ ද එකල එය හඳුනාගෙන තිබුණේ කෙතල වර්ගයක් නොව කෙකටිය වර්ගයක් ලෙසයි. එම අවස්ථාවේ Aponogeton crispus නමැති කෙකටිය විශේෂය ලෙස හඳුනාගෙන තිබූ මෙම ශාකය 1987 වර්ෂයේ දී කෙකටිය විශේෂයක් නොව Lagenadra koenigii නමැති කෙතල විශේෂය ලෙස හඳුන්වා තිබිණි.
ඉන්ද්‍රඛීල මාදොල ඇතුළු පර්යේෂකයන් 2018 වර්ෂයේ දී මෙම ශාකය හියාරේ රක්ෂිතයේ තිබෙනු දැක එහි නිදර්ශකයක් සියුම්ව පරීක්ෂා කිරීමේ දී එතෙක් සිතාසිටි පරිදි එම විශේෂය Lagenadra koenigii විය නොහැකි බව තහවුරු කර ගැණිනි. ඒ අනුව ඉන්ද්‍රඛීල මාදොල, මහාචාර්ය දීප්ති යකන්දාවල සහ මහාචාර්ය කපිල යකන්දාවල දෙදෙනාගේ උපදෙස් සහ මඟ පෙන්වීමත් සහිතව වෙනත් කෙතල විශේෂ සමඟ සන්සන්දනය කරමින් පර්යේෂණ කළේය.
එහි දී ඔවුන් තහවරු කරගත්තේ හියාරේ රක්ෂිතයේ ඇති මෙම ශාක විශේෂය මෙතෙක් ලෝකයේ කිසිම ස්ථානයකින් හමුවූ බවට විද්‍යාත්මකව සනාථ කළ දත්ත නොමැති බවයි. ඒ අනුව ඔවුහු එම ශාකය නව ශාක විශේෂයක් බව තහවුරු කළහ.
මෙම කෙතල විශේෂයේ හටගන්නා පුෂ්පයේ බඳ කොටස අනෙක් කෙතල විශේෂවලට වඩා වෙනස් අකාරයෙන් තරමක් කුඩාවට විවෘතවන බව නිරීක්ෂණය කර තිබිණි. මෙම නව කෙතල විශේෂයට උද්භිද විද්‍යාත්මකව Lagenandra limbusleviterapertae නම තැබීමට හේතු වී ඇත්තේ ද එම ලක්ෂණයයි.
ලතින් භාෂාවෙන් limbus යනු බඳ යන්නයි. leviterapertae යනුවෙන් අදහස් කරන්නේ කුඩාවට විවෘතවීම යන්නයි. ඒ අනුව පුෂ්පයේ බඳ කුඩාවට විවෘතවන බැවින් Lagenadra limbusleviterapertae විශේෂ නාමය තැබීමට පර්යේෂකයෝ තීරණය කළහ.
මෙම පර්යේෂණය සිදුකර ඇත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මූල්‍ය දායකත්වයෙනි. පේරාදෙණියේ පිහිටි ජාතික ශාකාගාරය ඇතුළු ශාකාගාර රැසක සහය මේ සඳහා ලැබී තිබේ. හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය කොන්චි ගාන්ධි, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයේ සභාපති මධුර ද සිල්වා ඇතුළු කණ්ඩායම පර්යේෂණය සාර්ථක කරගැනීමට සහාය ලබාදුන් බව ඉන්ද්‍රඛීල ඇතුළු පර්යේෂකයෝ කියති.