spot_img
spot_imgspot_img

“සියදිවි නසාගන්න” මාධ්‍යය උදව් කරන හැටි මෙන්න

පුවත්

විදෙස්

සියදිවි නසාගැනීම් යනු වර්තමාන ශ්‍රී ලාංකික ජන සමාජයේ ගැඹුරින් අධ්‍යයනය කළ යුතු නමුත් තවමත් සැළකිය යුතු මට්ටමකින් අධ්‍යයනය කර නැති ක්‍රියාවලියකි.

මනෝ වෛද්‍යවරුන් සහ සමාජ විද්‍යාඥයන් පවසන්නේ සියදිවි නසා ගැනීම් සම්පූර්ණයෙන් ම නතර කළ නොහැකි වුව ද එය පාලනය කළ හැකි දෙයක් බවයි.  ශ්‍රී ලංකාවේ සිවිල් සංවිධාන, සෞඛ්‍ය සංවිධාන මේ සඳහා පෙරමුණ ගෙන කටයුතු කරමින් සිටිති.

ශ්‍රී ලංකාවේ සියදිවි නසාගැනීම් පාලනය කිරීමට නම් මෙරට ජනමාධ්‍යයට ද අතිශය භාරදූර වූ කර්තව්‍යයක් පැවරී තිබේ.

නමුත් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය තම වගකීම නොසළකා හරිමින් කටයුතු කරන බව පැහැදිළිව ම පෙනෙන්නට තිබේ.

වසර ගණනාවකට පෙර මෙරට ඉතාමත් අද්විතීය පරිසර පද්ධතියකින් පහළට පැන සියදිවි නසාගත් යුවළක්, එක්තරා සංවිධානයක් විසින් අනුස්මරණය කිරීමේ සිද්ධියකට මෙරට මාධ්‍ය විශාල ප්‍රචාරයක් ලබාදුන්නේය. වසර ගණනක් එම ස්ථානයේ දී කිසිවෙකු සියදිවි නසාගෙන නොතිබුණු නමුත්, එම අනුස්මරණයෙන් මාස තුනක කාලයක දී තරුණ තරුණියන් කිහිප දෙනකු ම එම ස්ථානයේ දී සියදිවි නසා ගැනීමට කටයුතු කර තිබිණි.

මාතර දිස්ත්‍රික්කයේ එක්තරා සුවිශේෂී ස්ථානයක දී පුද්ගලයකු සියදිවි නසාගැනීමේ සිද්ධියක් මාධ්‍ය ආයතන කිහිපයක් විසින් ම උත්කර්ශයට නගා වාර්තා කෙරිණි. ගත වූයේ දින කිහිපයකි, මාතර එම ස්ථානය ශ්‍රී ලංකාව පුරා සියදිවි නසා ගන්නා ස්ථානයක් බවට ප්‍රසිද්ධියට පත්විය. පුදුමය වූයේ මාධ්‍ය දිගින් දිගටම එය ප්‍රචාරය කිරීමයි. අවසානයේ පිට ප්‍රදේශවලින් පැමිණෙන පුද්ගලයන් පවා මාතර දී සියදිවි නසා ගන්නා බව පෙනෙන්නට තිබිණි.

එක්තරා පාසල් ශිෂ්‍යාවක් සියදිවි නසා ගැනීමේ සිද්ධියක් වාර්තා කළ මෙරට ජනප්‍රිය රූපවාහිනී නාලිකාවක් තම ප්‍රධාන පුවත් ප්‍රකාශයේ දී වෙනත් ශිෂ්‍යාවක යොදා ගනිමින් සියදිවි නසාගත් ශිෂ්‍යාව එය සිදුකළ ආකාරය රඟ දක්වා පෙන්වීමට කටයුතු කර තිබිණි. එම වාර්තාවට සමාජයෙන් දැඩි දෝෂාරෝපණයක් එල්ලවිය.

ඊයේ (07) ශ්‍රී ලංකාවේ ප්‍රධාන පුවත්පතක වෙබ් අඩවියක් සිය ප්‍රධාන පුවත ලෙස සඳහන් කර තිබුණේ එක්තරා පුද්ගලයකු තම සුරතලා‍ට ලිපියක් ලියා තබා සියදිවි නසාගත් බවයි.

මාස කිහිපයකට පෙර පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයකු ලිපියක් ලියා තබා සියදිවි නසාගෙන තිබුණ ද මෙරට සියලු ජනමාධ්‍ය එම ලිපිය ගැන කිසිවක් සඳහන් නොකර (දැන දැනම) එම සිද්ධිය අතුරුදන්වීමක් බව සඳහන් කරමින් දින ගණනාවක් ප්‍රවෘත්ති වාර්තා කළේය. ඉන් අනතුරුව දේහය සොයාගත් පසු පෙර කී ලිපිය ගැන සඳහන් කරමින් සියදිවි නසා ගැනීමේ සිද්ධිය හොඳට අළෙවි කර මුදල් උපයාගෙන තිබිණි. ඉන් අනතුරුව සිදුවූයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සියදිවි නසාගැනීම් රැල්ලක් නිර්මාණය වීමයි.

සියදිවි නසාගැනීම් හෝ ඒ හා ආශ්‍රිත ප්‍රවෘත්ති වාර්තාකරණයේ දී තවමත් අප ජනමාධ්‍ය පිළිපැදිය යුතු සම්මතයන් නොසළකා හරිමින් කටයුතු කරන බව අප කරනු ලබන විමර්ශනවල දී ප්‍රත්‍යක්ෂ වෙයි.

තවමත් ශ්‍රී ලංකාව සියදිවි නසාගැනීම් අතින් සිටින්නේ ඉතාමත් ඉහළ මට්ටමකය. එය අප දැඩිසේ කණගාටුවට හා ලැජ්ජාවට ලක්විය යුතු කරුණකි.

ලංකාදීප පුවත්පතේ හිටපු ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘවරයකු වූ ඩබ්ලිව්.ජී. ගුණරත්න එවකට ප්‍රාදේශීය වශයෙන් සිදුවන සියදිවි නසාගැනීම් වාර්තා කිරීම දැඩි ලෙස සීමා කර තිබුණු බව මෙම ලේඛකයාගේ අත්දැකීම වෙයි. යමකු සියදිවි නසා ගැනීමේ දී තම දරුවන්, බිරිඳ, සැමියා හෝ ඝාතනය කිරීමක් කර තිබේනම් එම සිද්ධිය පමණක් වාර්තා කිරීම ඔහුගේ ක්‍රමය විය. ඔහු නිතර ම කීවේ සියදිවි නසා ගැනීම් වාර්තාකරණයෙන් සියදිවි නසාගැනීම් වර්ධනය වන බවයි. එය ලෝක මාධ්‍ය වාර්තාකරණයේ දී සහ මනෝ විද්‍යා ක්ෂේත්‍රයේ පිළිගත් සත්‍යයකි.

දුම්රියට පැන සියදිවි නසා ගැනීම් ශ්‍රී ලංකාවේ බහුලව වාර්තා වෙයි. ඩබ්ලිව්.ජී.ගුණරත්න ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘවරයාව සිටිය දී එවැනි සිදුවීම් වාර්තා කළේ නැත. නමුත්, වර්තමානයේ ප්‍රාදේශීය මාධ්‍යකරුවන් පුරුදු වී සිටින්නේ යම් පුද්ගලයකු දුම්රියට පැන සියදිවි නසාගත් බව දැන දැන ම “දුම්රියේ වැදී මියගිය” හෝ “දුරකථනය නිසා දුම්රියේ ශබ්දය නොඇසී මියගිය” යනුවෙන් සඳහන් කරමින් වාර්තා කර තම වාර්තාවට ලැබෙන සොච්චම් මුදල ලබා ගැනීමටය.  නමුත් එයින් සිදුවන්නේ ද සියදිවි නසා ගැනීම් උත්කර්ශයට නැගීමකි.

පසුගිය දා තම දරු දෙදෙනා ද සමඟ සියදිවි නසාගත් පියකුගේ ඡායාරූප පවා ඇතැම් මාධ්‍ය ආයතන විසින් අමුඅමුවේ ම පළකර තිබිණි.

පුවත්පත්, රූපවාහිනී, වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය අවකාශයන් තුළ මෙවැනි සියදිවි නසාගැනීම් වාර්තාකිරීමෙන් එහි අන්තර්ගතය තවත් අයකුගේ ජීවිතයක් අකාලයේ අවසන්වීමට උත්තේජකයක් විය හැකි බව ඒවා වාර්තාකරන්නන් සිතන්නේ නැත.

කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් පවසන්නේ, සංකීර්ණ මනෝ විද්‍යාත්මක, ජීව විද්‍යාත්මක හා සමාජයීය සාධක රාශියක සංකලනයක් හේතුවෙන් සියදිවි නසාගැනීම් සිදුවන බවයි. එය ලෝකයේ ප්‍රධාන පෙලේ මහජන සෞඛ්‍ය මෙන්ම මනෝ සමාජයීය ගැලුවක් බව ද විශේෂඥ වෛද්‍යවරයා කීවේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව සියදිවි නසාගැනීම් හේතුවෙන් ලෝකය පුරා ලක්ෂ 10ක පමණ පිරිසකට වසරක දී ජීවිතය අහිමි වෙයි. ලෝකයේ සෑම රටකම පාහේ මිනිසුන් මියයන ප්‍රධාන හේතු 10 අතරින් සියදිවි නසා ගැනීම් ද එකකි.

විශේෂඥ වෛද්‍ය රූමි රූබන් මෙසේ ද පවසයි

“සියදිවි නසාගැනීම් හේතුවෙන් ප්‍රබල මනෝ විද්‍යාත්මක හා සමාජයීය ගැටලුවලට එම පවුලේ අය මුහුණ දෙනවා. සමස්තයක් ලෙස මුළු සමාජයම මේ ගැටලුවෙන් පීඩා විඳිනවා. දැනට ලෝකයේ පිළිගැනීම අනුව එක් සියදිවි නසාගැනීමක් තවත් 06 දෙනකුට අවම වශයෙන් සෘජුව ම බලපානවා. එය සේවා ස්ථානයක දී, පාසලක දී වැනි පොදු තැනක දී සිදුවනවා නම් මේ පීඩනය සිය ගණනකට දරා ගැනීමට සිදුවෙනවා.”

විශේෂඥ වෛද්‍ය රූබන් පවසන්නේ ද අපගේ එදිනෙදා ජීවිතයේ බොහෝ සංසිද්ධිවලට විශාල වශයෙන් බලපෑම් කරන සම්ප්‍රදායික මාධ්‍ය මෙන් ම සමාජ මාධ්‍යය ද අද වනවිට ප්‍රජාවේ විවිධ ආකල්ප, විශ්වාස හා හැසිරීම් රටා කෙරෙහි විශාල බලපෑමක් කරන බැවින් සියදිවි නසාගැනීම් අඩු කරගැනීමට නම් මාධ්‍ය නිසි පරිදි භාවිතට ගතයුතු බවයි. සියදිවි නසාගැනීම් වාර්තාකරණයේ දී මාධ්‍ය ආචාරධර්ම සහ නිසි මාර්ගෝපදේශ අවශ්‍ය බව ද හෙතෙම පෙන්වා දෙයි.

වෛද්‍ය රූබන් පවසන කාරණය ලෝකයේ මාධ්‍ය හැසිරීම සහ සියදිවි නසා ගැනීම් ප්‍රවණතාව සංසන්දනය කිරීමේ දී මනාව තහවරු වෙයි.

මේ වනවිට ලෝකයේ සිදුවන සියදිවි නසාගැනීම් ඉහළ යාමට මාධ්‍ය වාර්තාකරණය සිදුකරන ආකාරය සෘජුව ම බලපාන බව සාක්ෂි, දත්ත මගින් හෙළි වී තිබේ. බොහෝ විට මෙම මාධ්‍ය බලපෑම තරුණ අය කෙරෙහි වඩාත් ප්‍රබලව බලපායි.

සියදිවි නසාගැනීමක් යනු අතිශය අවදානමක් දිනාගත හැකි සිද්ධියක් බැවින් බො‍හෝ මාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතන මෙන්ම සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෝ ද එයවාර්තා කිරීමට පෙ‍ළඹෙති. ඇතැම් මාධ්‍ය අප පෙර කී පරිදි එය උත්කර්ෂයට නගමින් සත්‍ය සිද්ධිය හෝ සැබෑ තත්වය සඟවා ආකර්ශනීය ලෙස වාර්තා කිරීමට කටයුතු කරයි.

යොදාගන්නා උදෘත මගින්  මෙන්ම අන්තර්ගතය පෙළගස්වන ආකාරය තුළින් සියදිවි නසාගැනීමට වටිනාකමක් දීමට උත්සාහ ගනී. “සුරතලාට ලියුමක් ලියා”, “පෙම් සබඳතාව බිඳ වැටී” “සුන්දර තරුණිය” “ණය බර දරාගත නොහැකිව”, “අස්වැන්න විකුණාගත නොහැකිව”, “වෛද්‍ය සිසුවා” වැනි වචන යොදා ගැනීමෙන් මෙවැනි අවදානමක් ඇති අය කෙරෙහි පෙළඹවීමක් ඇතිවන බව සෞඛ්‍ය සහ සමාජ විද්‍යා අංශවල පිළිගැනීමයි.

නමුත් ‍ශ්‍රී ලංකාවේ මාධ්‍ය දිගින් දිගටම එම වරද සිදුකරමින් සිටීයි.

“ශ්‍රී ලංකාවේ සිදුවන සියදිවි නසාගැනීම් අතරින් අඩක් පමණම සිදුවන්නේ මානසික දුර්වලතා සහ ගැටලු හේතුවෙන්. විශේෂයෙන් ම භින්නෝන්මාදය හා විශාදය නිසා වුවත් මෙරට කිසිම මාධ්‍යයක් සියදිවි නසාගැනීම් වාර්තා කරද්දී මේ කරුණු ඇතුළත් කරන්නේ නැහැ. සියදිවි නසා ගැනීම් වාර්තාකරනවා නම් එහි සැබෑ විද්‍යාත්මක ගැටලුව සඳහන් කරලා, එය වළක්වාගත හැකි ක්‍රමය, ප්‍රතිකාර ගත යුතු ආකාරය, සියදිවි නසා ගැනීමේ අවදානමක් ඇති පුද්ගලයන් එයින් වළක්වාගන්නේ කෙසේද යන උපකාරක තොරතුරු ඇතුළත් කිරීම අත්‍යාවශ්‍යයි”  විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් පවසයි.

සියදිවි නසාගැනීම් වාර්තාකරණයේ දී, 

කළ යුතු දේනොකළ යුතු දේ
සියදිවි නසාගැනීම් වාර්තාකරන්නේ නම් සෞඛ්‍ය අංශ සමඟ සාකච්ඡා කර සිද්ධියට අදාල නිසි සෞඛ්‍ය තොරතරු ලබාගන්න. මනෝ වෛද්‍යවරයකුගෙන් විමසන්නසියදිවි නසාගත් පුද්ගලයාගේ ඡායාරූප, වීඩියෝ සහ ඔවුන් ලියා තැබූ දේ පළකිරීම
සාර්ථක වූ දෙයක් නොව, අවසන් වූ දෙයක් ලෙස සැළකීමසියදිවි නසා ගැනීමට යොදාගත් උපක්‍රම සඳහන් කිරීම
පුවතේ අන්තර්ගතයට අත්‍යාවශ්‍යම කරුණු පමණක් පළකිරීමසරල හේතු ගෙනහැර දැක්වීම
සියදිවි නසාගැනීම වළක්වාගැනීමට තිබූ විකල්පයන් මතුකර දැක්වීමසංවේදී ආකාරයෙන් වාර්තා කිරීම හෝ උත්කර්ෂයට නැංවෙන ලෙස වාර්තා කිරීම
සියදිවි නසාගැනීම වැළැක්වීමට කටයුතු කරන පාර්ශව, ඊට සහය දක්වන පාර්ශවවල තොරුතුරු වාර්තාව සමඟ පළකිරීමආගමික, සංස්කෘතික, පූජනීය, හානිකර ආකල්ප සහ විශ්වාස මතුකිරීම
සියදිවි නසා ගැනීමේ අවදානම සහ ඒ පිළිබඳ හානිකර වූ තොරතුරු පළකිරීමදෝෂාරෝපණ කිරීම් පළකිරීම

ශ්‍රී ලංකාවේ මෑත කාලීන සියදිවි නසාගැනීමේ සිද්ධි මෙරට ප්‍රධාන ජාතික පුවත්පත් කිහිපයක පළකර ඇති ආකාරය පිළිබඳ Ethics Eye විසින් සොයා බැලීමක් කර තිබිණි.

ඒ සඳහා 2023 මාර්තු 13-17 දක්වා සිංහල භාෂාවෙන් පළවන පුවත්පත් සමීක්ෂණයට ලක්කර ඇත. එම සමීක්ෂණයට ‘අද’, ‘ලංකාදීප’, ‘දිනමිණ’, ‘මව්බිම’, ‘අරුණ’ යන පුවත්පත් පදනම් කරගෙන ඇත. එම සමීක්ෂණයේ දී පෙනී ගොස් ඇත්තේ එම සතිය ඇතුළත විවිධ සිංහල පුවත්පත් විසින් සියදිවි නසාගැනීමේ සිද්ධි 11ක් වාර්තා කර ඇති බවයි. එම සිද්ධීන්වලට අමතරව මාර්තු 17 වැනි දා සියදිවි නසාගැනීම් වාර්තාකරණය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් පිළිබඳව ද එම මාධ්‍ය වාර්තා කර තිබිණි.

* මාර්තු 13 – හැඳල පල්ලියවත්ත දිවි තොර කරගැනීමේ සිදුවීම.

* මාර්තු 14 – යාපනය සිසුවෙකු තමිල්නාඩුවේ දිවි තොර කරගත් සිදුවීම.

* මාර්තු 14 – හතේ කණුව දේවාලය, මින්නේරිය දිවි තොර කර ගැනීමේ සිදුවීම.

* මාර්තු 14 – වවුනියාවේ දිවි තොර කර ගැනීමේ සිදුවීම.

* මාර්තු 14 – උතුරු බටගම කඳාන දිවි තොර කර ගැනීමේ සිදුවීම.

* මාර්තු 14 – පේරාදෙණිය දිවි තොර කර ගැනීම පිළිබඳව.

* මාර්තු 15 – යාපනය සිසුවා දිවි තොර කරගැනීමේ සිදුවීම.

* මාර්තු 15 – තණමල්විල දිවි තොර කරගැනීමේ සිදුවීම

* මාර්තු 16 – යාපනය ස්වර්ණාභරණ අලෙවි හලක දිවි තොර කරගැනීමේ සිදුවීම.

* මාර්තු 17 – මීගමුව දිවි තොර කර ගැනීමේ සිදුවීම.

* මාර්තු 17- කඩුවෙල දිවි තොර කරගැනීමේ සිදුවීම.

* මීට අමතරව මාර්තු 17 දින, දිවි තොර කර ගැනීම් වාර්තාකරණය පිළිබඳව මාධ්‍යවේදීන් සඳහා පැවත්වුනු වැඩමුළුවක් පිළිබඳව වාර්තා වී තිබිණි.

Ethics Eye සියදිවි නසාගැනීම් වාර්තාකරණය සම්බන්ධයෙන් සිදුකරන ලද සමීක්ෂණයේ දී පෙනී ගොස් ඇත්තේ ‘අද’ පුවත්පත මාධ්‍ය ආචාරධර්ම උල්ලංඝනය කිරීම් කිසිවක් සිදුකර නොමැති බවයි.  

යම් පුවත්පතක් එක්වරක් හෝ මාධ්‍ය ආචාරධර්ම උල්ලංඝනය කර ඇත්නම් එම පුවත්පත මෙහි සඳහන් කර ඇත.

ඒ අනුව සියදිවි නසා ගැනීම් පුවත්පතක මුල් පිටුවේ පළකිරීම ‘ලංකාදීප’, ‘දිනමිණ’, ‘මව්බිම’, ‘අරුණ’ යන පුවත්පත් හතර විසින්ම සිදුකර තිබිණි.

සියදිවි නසාගන්නා ආකාරය තම සිරස්තලයේ ම පළකිරීමේ වරද ‘ලංකාදීප’, ‘දිනමිණ’, ‘මව්බිම’, ‘අරුණ’ යන පුවත්පත් හතර විසින්ම සිදුකර තිබූ අතර එම කරුණු අන්තර්ගතයේ ද ඇතුළත් කර තිබිණි. එමෙන් ම මේ කිසිදු පුවත්පතක් සියදිවි නසාගැනීම් වර්තාකරණයේ දී මාධ්‍ය ආචාරධර්මවල සඳහන් උපකාරක ක්‍රම සඳහන් කර නැත.

මෙම සමීක්ෂණයෙන් පෙනී යන්නේ ශ්‍රී ලංකාවේ පුවත්පත් මාධ්‍ය අතරින් අතිශය බහුතරයක් මාධ්‍ය ආයතන ශ්‍රී ලංක‍ාවේ සියදිවි නසාගැනීම් වැඩි වීමට රුකුලක් වන බවයි.

සියදිවි නසාගැනීම් සම්බන්ධයෙන් ඇති උපකාරක අවස්ථා

ජාතික මානසික සෞඛ්‍ය ආයතනය-1926

හදිසි උපකාරක අංක 1333

ශ්‍රී ලංකා සුමිත්‍රයෝ 0707308308

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!