spot_img
spot_imgspot_img

සියලු දෙනා ත්‍රස්තවාදීන් කළ හැකි ආණ්ඩුවේ අලුත් පනත මෙන්න

පුවත්

විදෙස්

1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත ඉවත්කිරීම සඳහා යැයි පවසමින් ආණ්ඩුව විසින් 2023 මාර්තු මස 17 වැනි දා ගැසට් මදින් ප්‍රකාශයට පත්කරන ලද පනත රටේ ජනතාව ත්‍රස්තවාදීන් බවට පත්කරන දැඩි මර්ධනකාරී පනතක් බව නීතිවේදීහු පෙන්වා දෙති.

ආණ්ඩුව සූදානම් වන්නේ මෙම මර්ධනකාරී පනත අප්‍රේල් මාසය ඇතුළත පාර්ලිමේන්තුවේ දී නීතියක් ලෙස සම්මත කරගැනීමටය.

මෙම පනත සම්මත වුවහොත් එය රටේ මානව හිමිකම් ක්‍රියාකාරිකයන්ට, වෘත්තී සමිති ක්‍රියාකාරිකයන්ට, ජනමත නායකයන්ට, සුළු ජාතිකයන්ට මෙන්ම ජනමාධ්‍යවේදීන්ට දැඩි තර්ජනයක් එල්ල විය හැකි බවයි.

මෙම පනත සම්මත වුවහොත් ජනතාව ඉතාමත් කෲර සහ දැඩි ලෙස පාලනය කිරීමේ හැකියාව ආණ්ඩුව සතුවන බව නීතිවේදීහු පෙන්වා දෙති.

ත්‍රස්තවාදය යනු කුමක්ද ? නිශ්චිත අර්ථකථනයක් නැත

මෙම පනත හැඳින්වෙන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ලෙස වුව ද එම පනත මගින් ත්‍රස්තවාදී වරදක් යන්නට පුළුල් අර්ථකථනයක් ලබා දී තිබේ. එයින් පෙනී යන්නේ පනත තුළ ත්‍රස්තවාදය යන්නට නිශ්චිත අර්ථනිරූපනයක් නැති බවයි. එයින් සිදුවන්නේ පනත භාවිතා කරන අයට ත්‍රස්තවාදය යන්නට විවිධ අර්ථ නිරූපණ ලබා දී ජනතාව මර්ධනය කිරීමට හැකියාව ලැබීමයි.

ත්‍රස්තවාදී ක්‍රියා මොනවා ද ?

මෙම පනතේ 3(2) වගන්තියේ ත්‍රස්තවාදී ක්‍රියා සඳහන් කර ඇත.

  1. මිනී මැරීම
  2. බරපතල තුවාල සිදුකිරීම
  3. ප්‍රාණ ඇපයට ගැනීම
  4. පැහැර ගැනීම හෝ අපහරණය කිරීම
  5. යම් මහජන භාවිත ස්ථානයකට, රාජ්‍ය හෝ ආණ්ඩුවේ පහසුකමකට, යම් පොදු හෝ පෞද්ගලික ප්‍රවාහන පද්ධතියකට හෝ යම් යටිතල පහසුකමකට හෝ පරිසයරයට බරපතල හානි සිදුකිරීම
  6. අත්‍යාවශ්‍ය සේවාවකට හෝ සැපයීම්වලට හෝ යම් අත්‍යාවශ්‍ය සේවා හෝ සැපයීම් සමඟ සම්බන්ධ යම් තීරණාත්මක යටිතල පහසුකමකට හෝ ප්‍රවාහන පහසුකමකට බරපතල බාධා ඇති කිරීම හෝ අලාභහානි කිරීම හෝ ඒ සඳහා මැදිහත් වීම.
  7. රාජ්‍ය හෝ පෞද්ගලික දේපළ සම්බන්ධයෙන් කොල්ලකෑම හෝ සොරකම් කිරීමේ වරද
  8. මහජනතාවගේ හෝ එහි යම් කොටසක සෞඛ්‍යය සහ ආරක්ෂාවට බරපතල අවදානමක් ඇතිකිරීම
  9. ශ්‍රී ලංකාවට පවරා දී ඇති යම් ඉලෙක්ට්‍රොනික හෝ ස්වයංක්‍රීය පරිගණක පද්ධතියකට හෝ ජාලයකට හෝ සයිබර් අවකාශ්‍යකට හෝ එවැනි බලවර්තනයකට හෝ එවැනි බලවර්තනයක ලියාපදිංචි වී සිටින වෙබ්අඩවිවලට බරපතල බාධා ඇතිකිරීම හෝ අලාභ හානි සිදුකිරීම හෝ එවැන්නකට මැදිහත්වීම.
  10. යම් ආගමික හෝ සංස්කෘතික දේපළක් විනාශ කිරීම හෝ එවැනි දේපළකට බරපතල හානි සිදුකිරීම
  11. සංඥා සම්ප්‍රේෂණයක් සහ වෙනත් යම් සංඛ්‍යාත පදනම් වූ සම්ප්‍රේෂණ පද්ධතියක් ඇතුළුව යම් ඉලෙක්ට්‍රොනික, ඇනලොග්, ඩිජිටල් හෝ වෙනත් රැහැන් සහිත හෝ රැහැන් රහිත සම්ප්‍රේෂණ පද්ධතියකට බරපතල බාධා ඇති කිරීම හෝ අලාභහානි සිදුකිරීම හෝ ඒ සඳහා මැදිහත් වීම
  12. (අ) ඡේද‍යේ සිට (ඔ) ඡේදය දක්වා වන ඡේදවල දක්වා ඇති යම් ක්‍රියාවක් හෝ නීති විරෝධී නොකර හැරීමක් ‍සිදුකිරීම සඳහා වන අයුතු ජන රාශියක සාමාජිකයකු වීම
  13. නීත්‍යානුකූල අධිකාරයක් නොමැතිව, තුවක්කු, පීඩාකාරී ආයුධ, වෙඩි බෙහෙත්, පුපුරණ ද්‍රව්‍ය හෝ පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා භාවිත කරන හෝ භාවිත කිරීමට අරමුණු කරන යම් ද්‍රව්‍යයක් හෝ දෙයක් හෝ ගිනිගන්නා ද්‍රව්‍ය හෝ මළ බැ‍ඳෙන ද්‍රව්‍ය හෝ යම් ජීව විද්‍යාත්මක. රසායනික, විද්‍යුත්, ඉලෙක්ට්‍රොනික හෝ න්‍යෂ්ටික අවියක්, වෙනත් න්‍යෂ්ටික පුපුරණ උපකරණයක්, න්‍යෂ්ටික ද්‍රව්‍යයක් හෝ විකිරණශීලී ද්‍රව්‍යයක් විකිරණ විමෝචන උපකරණයක් ආනයනය කිරීම, අපනයනය කිරීම, නිෂ්පාදනය කිරීම, රැස් කිරීම, ලබා ගැනීම, සැපයීම, වෙළෙඳාම් කිරීම, සන්තකයේ තබා ගැනීම හෝ භාවිතා කිරීම

මාධ්‍ය නිදහසට තර්ජනයක් ?

යෝජිත පනතේ 10 වැනි වගන්තිය යටතේ ත්‍රස්තවාදය දිරිගැන්වීම සඳහා ක්‍රියාකිරීම යනුවෙන් සඳහන් කර ඇත.

එහි දී,

  1. මුද්‍රිත මාධ්‍යය
  2. අන්තර්ජාලය
  3. ‍ඉලෙක්ට්‍රොනික මාධ්‍යය
  4. වෙනත් ආකාරයක ප්‍රසිද්ධ දැන්වීමක්

මගින්, “ජනතාවගෙන් ඇතැමෙක් විසින් හෝ සියලුම ජනතාව විසින් ත්‍රස්තවාදය පිළිබඳ වරද සිදුකිරීමට, ඒ සඳහා සූදානම් වීමට හෝ පෙළඹවීමට ඔවුන් සෘජුව හෝ වක්‍රව දිරිගන්වන්නක් හෝ පොළඹවන්නක් ලෙස තේරුම් ගැනීමට ඉඩ ඇති යම් ප්‍රකාශයක් පළකරන්නා වූ හෝ පළකිරීමට කටයුතු සළස්වන්නා වූ හෝ එවැනි වචනයක් හෝ වචන කතා කරන්නා වූ හෝ සංඥා හෝ දෘෂ්‍ය නිරූපණය සිදු කරන්නා වූ” තැනැත්කෙු ත්‍රස්තවාදී වරදක් සිදුකරන්නකු බවය.

නීතිවේදීන් පෙන්වා දෙන්නේ මෙම වගන්තිය මගින් ඕනෑම මාධ්‍යයක් මගින් සිදුකරන ප්‍රකාශයක් “ත්‍රස්තවාදයට පෙළඹවීමක්” ලෙස අර්ථ නිරූපණය කිරීමට මේ පනත මගින් හැකියාව ලැබෙන බවයි. එය මාධ්‍ය නිදහසට බරපතල හානියකි.

නිදහසේ සැරිසැරීමේ අයිතිය අහිමිකළ හැකියි

මෙම යෝජිත පනතේ 16 වැනි වගන්තිය අනුව ශ්‍රී ලාංකික ජනතාවට නිදහසේ සැරිසැරීමේ අයිතිය ද අහිමි කර ඇත. එමගින් යම් මාර්ගයක ගමන් කිරීම තහනම් කිරීමට පොලිස් නිලධාරියකුට හැකියාව ලැබේ. එම නියෝගය පිළිගන්නේ නැතිනම් ත්‍රස්තවාදියකු ලෙස අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබෙන බව නීතිවේදීන් පෙන්වා දෙයි.

එහි මෙසේ දැක්වේ,

  1. මේ පනත ප්‍රකාරව සිදුකරන ලද නීත්‍යානුකූල විධානනයක් හෝ නියෝගයක් කඩකරන හෝ උල්ලංඝනය කරමින් ක්‍රියාකරන හෝ විධානයට අනුකූළව ක්‍රියාකිරීම සිතාමතාම  පැහැර හරින හෝ නොසළකා හරින ලද හෝ මේ පනත යටතේ විමර්ශනයක් සිදු කරන පොලිස් නිලධරයකුට තොරතුරු ලබාදීම පැහැර හරින හෝ එවැනි නිලධාරියකු අසන ප්‍රශ්නයකට පිළිතුරු ලෙස අසත්‍ය හෝ නොමඟ යවන සුලු තොරතුරු ලබාදෙන තැනැත්‍තකු වසර දෙකක කාලයක් සඳහා බන්ධනාගාර ගත කළ හැකියි.

ජනාධිපතිට ලැබෙන අසීමාන්තික බලයක්

සංවිධාන තහනම් කිරීමේ බලය

ත්‍රස්තවාදී වරදක් සිදුකරන බවට චෝදනා එල්ලකරමින් පනතේ 82 වැනි වගන්තිය අනුව ඕනෑම සංවිධානයක් තහනම් කිරීමේ බලය ද ජනාධිපතිවරයාට හිමිකරදෙනු ලැබ ඇත. එහි පවතින විශේෂත්වය වන්නේ පොලිස්පතිවරයා ලබාදෙන නිර්දේශයක් මත පවා ජනාධිපතිවරයාට ඕනෑම සංවිධානයක් තහනම් කිරීමේ බලය ලැබීමයි.

පුද්ගල නිදහස සීමා කිරීමේ බලය

මෙම පනතේ 83 වැනි වගන්තිය මගින් ජනාධිපතිවරයාට මහාධිකරණයට ගොස් පුද්ගලයකුට එරෙහිව නියෝගයක් ලබාගැනීමේ බලයක් ලබා දී තිබේ. යම් පුද්ගලයකු ත්‍රස්තවාදයට සම්බන්ධ වරදක් සිදුකර ඇති බවට චෝදනා ලැබුවහොත් අධිකරණයෙන් අවසර ලබාගෙන, ජනාධිපතිවරයාට අදාල පුද්ගලයාට සීමා පැනවීමේ අවස්ථාවක් ලබා දී ඇත. දැනට ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ එවැනි බලයක් ජනාධිපතිවරයාට නොමැති අතර එම බලය ඇත්තේ පොලිසියට හෝ නීතිපතිවරයාට පමණි.

  1. නිවාස අඩස්සියේ තැබීම (පදිංචි ස්ථානයෙන් බැහැරව එහා මෙහා යාම සීමා කිරීම)
  2. විදේශගත වීම සීමා කිරීම
  3. ශ්‍රී ලංකාව ඇතුළත ගමන් කිරීම සීමා කිරීම
  4. පදිංචි ස්ථානය සහ සේවයේ නියුක්ත ස්ථානය අතර සාමාන්‍ය ගමන් මාර්ගයෙන් බැහැරව ගමන් කිරීම සීමා කිරීම
  5. නියමයෙහි නිශ්චිතව දක්වනු ලබන තැනැත්තන් සමඟ සන්නිවේදනය කිරීම හෝ ආශ්‍රය කිරීම හෝ එම දෙකම හෝ සීමා කිරීම
  6. පනත යටතේ වරදක් කිරීමට පහසුකම් සැළසෙන ආකාරයේ ක්‍රියාකාරකම්වල නිරතවීම සීමා කිරීම

පනත යටතේ දඬුවම් යෝජනා කිරීම

මරණය සිදුකිරීම යන වරදට, සාමාන්‍ය අපරාධ නීතිය යටතේ පවතින ආකාරයෙන් ම මරණ දඬුවම නියම කර ඇත.

තුන්වැනි වගන්තියේ දක්වා ඇති අනෙකුත් වැරදි වෙනුවෙන්  වසර 20 නොඉක්මවන කාලයක් බරපතල වැඩ සහිත සිරදඬුවම් සහ රුපියල් ලක්ෂ 10ක දඩයක්

නව පනත් කෙටුම්පත මෙතැනින්

වසර 44ක කාලයක් ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත එල්ටීටීඊ සංවිධානයේ සීමා ඉක්ම වූ ක්‍රියාවන් හෝ පාස්කු ඉරිදා ප්‍රහාරය වැළැක්වීමට හෝ දැක්වූ දායකත්වය කුමක්ද යන්න නැවත සොයා බැලිය යුතුය.

එවැනි විනාශකාරී ත්‍රස්තවාදී ක්‍රියා වැළැක්වීම වෙනුවට එම පනත ක්‍රියාත්මක වන්නේ විසම්මුතිය යටත් කිරීමට, දේශපාලන විරුද්ධවාදීන් සිරගත කිරීමට හා සුළුතර ප්‍රජාවන් බියගැන්වීමට හා ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් ගෙන යන අරගල නිහඬ කිරීමටය. එබැවින් ත්‍රස්තවාදය වැළැක්වීමේම පනත අහෝසි කළ යුතු යැයි සමාජයෙන් විශාල හඬක් නැගිනි. දැන් එයට ආණ්ඩුව සංශෝධිත පනතක් ගෙනවිත් තිබේ.

අධිකරණ , බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසන්නේ මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසු එහි ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි වගන්ති ඇත්නම් ඒ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට සති දෙකක කාලයක් ලබාදීමට ආණ්ඩුව සූදානම් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!