spot_img
spot_imgspot_img

රෝයල් වුවමනාවට, රනිල් වික්‍රමසිංහ ගත් ඒකාධිපති තීරණයෙන් ගුරු වෘත්තියම අර්බුදයක ?

පුවත්

විදෙස්

කොළඹ රාජකීය විද්‍යාලයේ ක්‍රිකට් තරඟය නැරඹීමට ගිය එහි ආදි ශිෂ්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම පාසලේ විදුහල්පතිවරයාගේ සහ ගුරුවරුන් කිහිප දෙනකුගේ ඉල්ලීම මත ගුරු මාරු මණ්ඩලය අහෝසි කිරීමෙන් රටේ අධ්‍යාපන ප්‍රතිපත්තියට පයින් ගසා ඇතැයි ගුරු සංගම් නියෝජිතයෝ චෝදනා කරති.

2022 වර්ෂයේ අගෝස්තු මස සිට මාස හයක පමණ කාලයක් රැස්වී ගුරුවරුන්ගේ මාරු ඉල්ලීම සළකා බලා වසර 10කට වැඩි කාලයක් එකම පාසලක සේවය කරමින් සිටි ගුරුවරු 12,050ක් සඳහා මාරුවීම් සැකසූ බවත් ඉන් පසු අභියාචනා ද සළකා බලමින් එය නැවත සමාලෝචනය කර අධ්‍යාපන අමාත්‍යවරයා සහ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට සියලු ලිපිලේඛන භාර දී ගුරු මාරු කටයුතු අවසන් කළ බවත් ගුරු සංගම් නියෝජිතයෝ කියති.

මෙම ගුරුමාරුවීම් ක්‍රමය අනුව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අධ්‍යාපනය ලැබූ කොළඹ රාජකීය විද්‍යාලයේ ගුරුවරු 50ක පමණ පිරිසක් වෙනත් පාසල්වලට මාරුවී යාම අනිවාර්ය වී තිබිණි. ඔවුන් වසර 10කට වැඩි සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම එයට හේතුවයි. නමුත් රටෙ පාලනය කරන්නේ තම පාසල යැයි සිතා සිටින එම පාසලේ විදුහල්පතිවරයා සහ ඇතැම් ගුරුවරුන් දිගින් දිගටම අත්තනෝමතික සහ නීති විරෝධී ලෙස ගුරු මාරු මණ්ඩලයට බලපෑඹ් කර තිබිණි.

ගුරුවරුන්ගේ මාරුවීම් ක්‍රියාත්මක කරන බවට අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා දැනුම්දීමෙන් අනතුරුව පසුගිය සිකුරාදා රාජකීය ශාන්ත තෝමස් ක්‍රිකට් තරඟයට ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවේ විදුහල්පතිවරයාත්, ගුරුවරු පිරිසකුත් මෙම මාරුවීම් අවලංගු කරන ලෙස ඉල්ලීමක් කර තිබිණි. ඉන් මොහොතකට පසු ජනාධිපති මාධ්‍ය ඒකකය සියලු මාධ්‍යවෙත නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ගුරු මාරු මණ්ඩලය අහෝසිකර ගුරුවරුන්ගේ මාරුවීම් ද අවලංගු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කළ බවයි.

එම නිවේදනය rata.lk අප වෙත ලැබුණු පසු ගුරු මාරු මණ්ඩලයේ නියෝජිතයන්ට අප කතා කළ විට ඔවුන් එවැනි දෙයක් ගැන දැන සිටියේ නැත. ඒ පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් සහ අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් විමසූ විට ද කියා සිටියේ එවැනි තීරණයක් ගැන නොදන්නා බවයි.

ජනාධිපති මාධ්‍ය ඒකකනේ නිකුත් කර තිබූ එම නිවේදනය මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයවීමෙන් පසු ගුරු සංගම් නියෝජිතයන්ට සහ මාරු මණ්ඩල සාමාජිකයන්ට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලෙකම්වරයා ඊයේ (20) සාකච්ඡා අවස්ථාවක් ලබා දී තිබිණි.

එම සාකච්ඡාවට ගිය විට දැනුම් දී ඇත්තේ ජනාධිපතිවරයා විසින් එවැනි තීරණයක් ගෙන ඇති බවයි. නමුත් එම තීරණය ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත හෝ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා හෝ සමඟ සාකච්ඡා කර නැත.

ඊයේ (20) උදෑසන අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරු මාරුවීම් අධ්‍යක්ෂවරයා ජනාධිපති ලේකම්කාර්යාලයට කැඳවා ඔහු සතුව තිබූ ගුරු මාරු මණ්ඩල නිර්දේශ සියල්ල ජනාධිපති ලේකම් භාරයට ගෙන ඇත. මෙම මාරුවීම් සම්බන්ධයෙන් ගුරුවරුන්ගෙන් චෝදනා ඇති බවත්, ඒ නිසා එය නැවත අධ්‍යයනය කිරීමට අවශ්‍ය බවත් පවසමින් එම ලේඛන ජනාධිපති ලේකම් කාර්යාලය භාරයට ගෙන තිබේ. නමුත් ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් හෝ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් හෝ විමසීමක් කර නැත.

ගුරු සංගම් නියෝජිතවරු ඊයේ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් හමු වූ අවස්ථාවේ දී ලේකම්වරයා කියා ඇත්තේ තමන්ට කිසිවක් කළ නොහැකි බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමස්ත ලංකා එක්සත් ලංකා ගුරු සංගමයෙ සභාපති යල්වල පඤ්ඤාසේකර හිමියෝ මෙසේ කීහ.

“ගුරු මාරු සඳහා නිර්දේශ කළේ අවුරුදු 10ක් එකම පාසලක ඉන්න ගුරුවරු පමණයි. මේ ගුරුවරුන්ට ඉල්ලුම් කරන්න කියලා මාරුවීම් මාස හයක් තිස්සේ සළකා බලා නිර්දේශ කර නැවත අභියාචනා 8,500ක් පවා අපි සළකා බැලුවා. ජනාධිපතිතුමාට කවුරු හරි කෙනෙක් කිව්වනම් තමන්ට මේ මාරුවීම්වලින් අසාධාරණයක් වෙනවා කියලා අපිට පුළුවන් ඒ ගැන නැවත සළකා බලන්න. නැතිව 12,050කගේ ගුරු මාරුවීම් එක්කෙනෙකුගේ දෙන්නෙකුගේ ඉල්ලීම්වලට අනුව නවත්වන්න බැහැ. මේ ගුරුමාරු නිර්දේශ සැළසුම් කළ ආකාරයට ක්‍රියාත්ක නොකරනවානම් අපි හෙට (22) ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් කරනවා. ගුරු මාරු ක්‍රියාත්මක කරන්නේ නැත්නම් අපි ඊට පස්සේ දැඩි ක්‍රියාමාර්ග ගන්නවා“

ගුරුමාරු ප්‍රතිපත්තිය සකස් කරන ලද්දේ 2017 වර්ෂයේ දී ය. එවකට අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස සිටියේ අකිල විරාජ් කාරියවසම්ය. රනිල් වික්‍රමසිංහ එවකට අගමැතිවරයාය. ගුරු සංගම් නියෝජිතයන් පවසන්නේ එම වර්ෂයේ දී ද රාජකීය විද්‍යාලයේ ගුරුවරුන් මාරු කිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධයක් සහ බලපෑමක් එල්ල වූ බවයි. නමුත් ගුරු මාරු ප්‍රතිපත්තිය නිසි පරිදි ක්‍රියාත්ක කරන්න හැකි වූ බව ද ඔවුන් පවසයි.

2020 සිට 2022 වර්ෂය දක්වාම වසර 03ක් රටේ පැවති අර්බුද හේතුවෙන් ගුරු මාරු ප්‍රතිපත්තිය නිසි පිරිදි ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබී නැත.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලිං මෙසේ කීවේය.

“විදුහල්පතිවරු කිහිප දෙනකුගේ අනීතික ඉල්ලීම් නිසා තමයි ජනාධිපතිවරයා මේ විදියට ඒකාධිපති තීරණයක් අරගනෙ තියෙන්නේ මේ විදියට වැඩ කරනවානම් අධ්‍යාපන ඇමතිවරු අධ්‍යාපන අමාත්‍යාංශයට ලේකම්වරු අවශ්‍ය නැහැනේ. ජනාධිපතිවරයාගේ මේ අත්තනෝමතික තීරණය සියලුම ගුරු සංගම් දැඩිව හෙළා දකිනවා. මේ ප්‍රශ්නය ගැන සාකච්ඡා කරන්න අපිට එන්න කියලා අමාත්‍යාංශ ලේකම් ජනාධිපතිවරයාගේ තීරණය අපිට කියනවා. ඒක අපිට අදාල නෑ. ඒක අනීතික වැඩක්. ජනාධිපතිවරයාගේ ඒකාධිපති තීරණවලට විරුද්ධව ගුරුවරු දිගටම සටන් කරන්න සූදානම්. මාස හයක් තිස්සේ කාලය සහ මුදල් වැය කරලා කරපු මාරුවීම් ක්‍රියාපලිය මේ විදියට නවතා දාන්න දෙන්න බෑ. රාජකීය විද්‍යාලයේ මැච් බලන්න ගිහිල්ලා රටේ ගුරුවරු සහ පාසල්පද්ධතිය ගැන තීරණ ගන්න ජනාධිපතිවරයා කටයුතු කරනවානම් අපි ඊට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නවා. අපි මේකට හැප්පෙන්න ලෑස්තියි.“

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අද (21) පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ  සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විෂය නිර්දේශ උඝන්වන ගුරුවරුන්ගේ මාරුවීම් මදක් ප්‍රමාද කර අනෙක් ගුරුවරුන්ගේ මාරුවීම් ඒ ආකාරයෙන් ම ක්‍රියාත්මක කරන බවයි. එම ගුරුවරුන් හදිසියේ මාරුකිරීමෙන් විභාගයට පෙනී සිටින සිසුන්ට අගියක් වන බව ද ගුරුවරුන්ගේ අදහස යැයි අධ්‍යාපන අමාත්‍යවරයා කීවේය. අනෙකුත් ගුරුමාරුවීම් සම්බන්ධයෙන් අප්‍රේල් 17 වැනි දාට පසු තීරණයක් ගන්නා බව ද අධ්‍යාපන අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී කීවේය.

නමුත්, මෙම ගුරු මාරුවීම් සඳහා නිර්දේශ ක්‍රියාත්මක කර ඇත්තේ වසර 10කට වැඩි කාලයක් එකම පාසලක උගන්වන ගුරුවරුන් සඳහා බවත් එම මාරුවීමම් ඔවුන් විවසින්ම තම කැමැත්ත මත අයදුම් කරන ලද පාසල් සඳහා ක්‍රියාත්මක වන බවත් වෘත්තීය සමිති පවසයි. එමෙන් ම අකමැති ගුරුවරුන්ගේ අභියාචනා සියල්ල සළකා බැලූ බව ද  ගුරු මාරු මණ්ඩල සාමාජිකයෝ කියති. පසුගිය පෙබරවාරි මාසයේ දී උසස් පෙළ විභාග අවසන් වූ බව ද අධ්‍යාපන අමාත්‍යවරයාට අමතක තිබේ.

රාජකීය විද්‍යාලයේ විදුහල්පතිවරයා සහ එම පාසලේ ගුරුවරුන් කිහිප දෙනෙකුට ගුරු වෘත්තීය සමිති මගින් එල්ලවන චෝදනාව සම්බන්ධයෙන් විමසීමට අපි එම විද්‍යාලයේ ස්ථාවර දුරකථන අංකයට ඇමතුම් ගත්ත ද එයට පිළිතුරු දෙන අය පවසන්නේ විදුහල්පතිවරයා සම්බන්ධ කරගැනීමට නොහැකි බවයි. විදුහල්පතිවරයාගේ ජංගම දුරකථන අංකය ඉල්ලූ විට එය ලබාදිය නොහැකි බව ද පවසයි.

(මෙම ප්‍රවෘත්තිය පළකිරීම හේතුවෙන් කොළඹ රාජකීය විද්‍යාලයට, එහි විදුහල්පතිවරයාට හෝ මාරුවීම් ලබා ඇති ගුරුවරුන් හෝ අගතියක් සිදුවන්නේ යැයි ඔවුන් අදහස් කරන්නේ නම් ඔවුන්ගේ කරුණු දැක්වීම් ද මේ හා සමාන ඉඩක් ලබාදෙමින් පළකිරීමට අපි rata.lk වෙබ් අඩවිය බැඳී සිටින බව ද සඳහන් කරන්නෙමු.)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!