spot_img
spot_imgspot_img

දූෂණය මැඩලන්න නීති ප්‍රතිසංස්කරණ යෝජනාවලියක් එයි

පුවත්

විදෙස්

රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයට අදාළ කරුණු පිළිබඳව අධ්‍යනය සහ පර්යේෂණ කටයුතු සහ ප්‍රතිපත්ති සම්පාදනයට අදාළව දේශපාලන අවබෝධතා ගොඩනැගීම සඳහා සහය වන දිවයිනේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් වන One-Text Initiative ආයතනය විසින් ශ්‍රී ලංකාවේ දූෂණය මැඩලීම සඳහා නීති ප්‍රතිසංස්කරණ යෝජනාවලියක් ඉදිරිපත් කර තිබේ. දූෂණය සහ නාස්තිය ඉතා සාාර්ථක ලෙස පාලනය කර ඇති සිංගප්පූරුව සහ හොංකොං යන රටවල් වල පවතින දූෂණ විරෝධී නීති ගැඹුරින් හදාරා ඒවායින් ශ්‍රී ලංකාවට අදාළ කර ගත හැකි දේ මේ යෝජනාවලට අයත් වේ. මෙම නව නීති ප්‍රතිසංස්කරණ යෝජනා ශ්‍රී ලංකා රාජ්‍යය දූෂණයට එරෙහිව සටන් කිරීමේදී උපායමාර්ගික ප්‍රවේශයක් ලෙස අදාළ කර ගැනීමට උපකාරී වනු ඇති බවට One-Text Initiative ආයතනය විස්වාසය පළකරන අතර එම යෝජනා ඉදිරි කාලයේ දී අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ වෙත භාරදීම සඳහා කටයුතු කරන බව වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.

One-Text Initiative ආයතනය විසින් ඉදිරිපත් කරන එම නීති ප්‍රතිසංස්කරණ යෝජනාවන්හි සාරාංශය පහත පරිදි වේ.

1. දූෂණයක්, අක්‍රමිකතාවක් හෝ නාස්තියක් සිදු වන්නේ සෑමවිටම දේශපාලන, රාජ්‍ය හා පෞද්ගලික යන තිවිධ අංශයේම සහයෝගයෙන් වන නිසා දූෂණ වැරදිවල වගකීම ඉහත සදහන් අංශ තුනටම ආරෝපණය කිරීමට හැකි වන නෛතික අර්ථ නිරූපණයක් දූෂණය සදහා ලබා දීම.

2. උක්ත අංශ තුනට අයත් ඕනෑම පුද්ගලයෙකුට එරෙහිව දූෂණ චෝදනාවක් එල්ල වූ විට, චෝදනා ඉදිරිපත් කිරීමට අමතර උපකාරයක් ලෙස ‘දූෂණයක්’ සිදුව ඇති බවට නෛතික පූර්ව නිගමනයක් නීතිය මගින්ම ගොඩනගාලීම සහ ඒකී පුර්ව නිගමනය බිඳ හෙලා තම නිදොස්බව තහවුරු කර ගැනීම චූදිතයකු සතු වගකීම විය යුතු බවට නෛතික ප්‍රතිපාදන ඇතුළත් කිරීම.

3. ව්‍යාපාර සහ රාජ්‍ය නිලධාරීන් අතර සබඳකම්වලදී, හැම්පර් (තෑගි පැකේජ/තෑගි වවුචර්) ලබා දීම/ පිළිගැනීම අධෛර්යමත් කිරීම සහ එවැන්නක් ලබා දීම හෝ පිළි ගැනීම දූෂණ චෝදනාවන්ගෙන් මිදීමට නිදහසට කරුණක් නොවන බවට වන නෛතික ප්‍රතිපාදන ඇතුළත් කිරීම.

4. යම් දූෂණ වරදක් ඔප්පු වීමේදී නියමකරනු ලබන දඩ සහ/හෝ සිරදඬුවම්වලට අමතරව එම වරද කරනු ලැබූ පුද්ගලයා ලබා ගත්තේ යයි අධිකරණයෙන් ඔප්පු වන අල්ලස් ප්‍රමාණයට සමාන මුදලක් වන්දියක් ලෙස ගෙවීමට අල්ලස් ලබන්නාට නියෝග කිරීමට අධිකරණයට බලය ලබා දීම.

5. යම් පුද්ගලයකු විසින් යම් ආයතනයක් තුළ දූෂණ වරදක් කර ඇති බව අනාවරණය වූ විට, ඒම ආයතනයට අදාල අල්ලස් මුදල සිවිල් නඩුකරයක් හරහා අලාභයක් ලෙස අයකර ගැනීමට හැකියාව ලබාදීමට අවශ්‍ය ප්‍රතිපාදන ඇතුළත් කිරීම.

6. ශ්‍රී ලංකාවෙන් පිටත සිදු කරන ලද දූෂණ වැරදි සඳහා ශ්‍රී ලාංකික පුරවැසියන් දඩුවම් ලැබීමට බැඳී සිටින බවටත් එම වැරදි ශ්‍රී ලංකාව තුළ සිදු කරන ලද වැරදි සේ සලකා නෛතික කටයුතු සිදු කළ යුතු බවටත් වන ප්‍රතිපාදන ඇතුළත් කිරීම.

මෙම යෝජනා රජය විසින් ඉදිරියේ ගෙන එනු ලබන නව දූෂණ මර්ධන නීති සඳහා ඇතුළත් කරනු ලැබුවහොත් ශ්‍රී ලංකාවේ දූෂණ ප්‍රවාහයන්  ඉතා කෙටිකලක් තුළ සීමා කිරීමට හැකියාව ලැබෙනු ඇති බවට One-Text Initiative ආයතනය විස්වාසය පළකර සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!