spot_img
spot_imgspot_img

රට යාමෙන්, රට බංකොලොත් වීම. නිවැරදි දේ තේරුම් ගන්න

පුවත්

විදෙස්

මහින්ද රූබසිංහ විසිනි

එක්සත් රාජධානිය වෙත උසස් අධ්‍යාපනයට පවසමින් සංක්‍රමණය වන ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව ඉතා ඉහළ අගයකට පත්ව ඇතැයි එරට සිදුකර ඇති දත්ත විශ්ලේෂණයක දී අනාවරණය වෙයි.

2022 සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ වසරක කාලයේ දී එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාල සඳහා විදේශ සිසුන් 593,000 ක් පැමිණ ඇති අතර ඔවුන්ගෙන් 80%ට ආසන්න ප්‍රමාණයක් පැමිණ ඇත්තේ යුරෝපා සංගමයට අයත් නොවන ආසියාතික රටවල්වලිනි. වැඩිම සංඛ්‍යාවක් චීනයෙන් සහ ඉන්දියාවෙන් පැමිණ ඇති බව එක්සත් රාජධානි සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. නයිජීරියාව, පකිස්තානය සහ බංග්ලාදේශය මේ ලැයිස්තුවේ ඉන් පසු සිටින රටවල් වන අතර ශ්‍රී ලංකා‍ව ද එහි ඉහළ ස්ථානයක් හිමිකරගෙන ඇත.

මෙම දත්ත විශ්ලේෂණය කරමින් විශ්වවිද්‍යාල ආශ්‍රිතව ක්‍රියාත්මක වන UKcisa blog පෙන්වාදෙන්නේ අදාල වර්ෂයේ දී ශ්‍රී ලංකාවෙන් 8,900ක පමණ පිරිසක් උසස් අධ්‍යාපනය හැදෑරීමට බව පවසමින් එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාල වෙත පැමිණ ඇති බවයි.

ශ්‍රී ලංකාවට වඩා වැඩි සිසුන් සංඛ්‍යාවක් එක්සත් රාජධානියට සංක්‍රමණය වූ රටවල ජනගහණය සහ ශ්‍රි ලංකාවේ ජනගහණය සැළකූ විට 8,900ක් යනු ඉතාමත් විශාල අගයකි.

මෙහි වඩාත් ම වැදගත් කරුණක් වන්නේ පශ්චාත් උපාධිය හැදෑරීමට බව පවසමින් එක්සත් රාජධානිය වෙත සංක්‍රමණය වන පුද්ගලයන් අතරින් වසර දෙකකට වීසා ලබා පැමිණෙද්දී තමන්ගේ යැපෙන්නන් වැඩිම ප්‍රමාණයක් රැගෙන එන්නන් අතර ශ්‍රී ලාංකිකයන්ට ඉහළ ස්ථානයක් හිමිව තිබීමය.

බ්‍රිතාන්‍යයේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ නයිජීරියාව, ඉන්දියාව, පකිස්තාන, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව යන රටවල් යැපෙන්නන් සමඟ එක්සත් රාජධානියට පැමිණීමේ පිළිවෙලින් ඉහළින්ම සිටින රටවල් බවයි.

ශ්‍රී ලංකාවේ උද්ගතව ඇති ආර්ථික අර්බුදය හේතුවෙන් මෙලෙස බොහෝ දෙනකු උසස් අධ්‍යාපනය සඳහා සිය පවුල් පිටින් විදේශගත වන්නේ අධ්‍යාපනය අතරතුර රැකියාවක් සිදුකරමින් මුදල් ඉපයීමටත් අධ්‍යාපනය සඳහා අවස්ථාව ලැබෙන වසර 02ක කාලයෙන් පසු තම යැපෙන්නන් සමඟ එක්සත් රාජධානියේ නතරවීමේ අපේක්ෂාවෙන් බව අමුතුවෙන් කිව යුතු නැත. මේ නිසාම වැඩි වයස් පුද්ගලයන් ද උසස් අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාවන් කෙසේ හෝ ලබාගෙන සිය දරු පවුල් පිටින් විදේශගත වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙයි.

ආර්ථික අර්බුදයත් සමඟ ශ්‍රී ලංකා රජය ද විවිධ රැකියාවල නිරත රාජ්‍ය සේවකයන්ට විදේශගත වීම සඳහා නිවාඩු අනුමත කිරීමේ ක්‍රමයක් අනුගමනය කරනු ලැබූවෙන් මෙය තවත් ප්‍රවර්ධනය විය. ඇතැම් පෞද්ගලික ආයතන ද තම කාර්යාල නඩත්තු වියදම් සහ ගෙවිය යුතු වැටුප් ලක්ෂ ගණනක් අඩුකර ගැනීමේ අරමුණෙන් තම සේවකයන්ට විදෙස් ගත වීමේ අවසරය ලබා දී තිබිණි.

මෙය බුද්ධි ගලනයක් ද නැතිනම් ආර්ථික අපහසුතා හේතුවෙන් යහපත් ජීවිතයක් සොයා සිදුවන සංක්‍රමණයක් ද යන්න වෙන ම අධ්‍යයනය කළ යුතු කරුණකි. බොහෝ විට‍ පෙනෙන්නට තිබෙන්නේ එය තම පැවැත්ම සහ සුඛ විහරණය වෙනුවෙන් සිදුකරන දෙයක් බවයි.

එක්සත් රාජධානියේ උසස් අධ්‍යාන අවස්ථා ලබාගත් පුද්ගලයන්ගේ ඊට පෙර අධ්‍යාපන සුදුසුකම් සැළකූ විට පෙනී යන්නේ තමන්ගේ මූලික උපාධියට කිසිසේත්ම අදාල නොවන සහ තම වෘත්තියට අදාල නොවන කිනම් හෝ විෂයයක් වැඩිදුර හැදෑරීම සඳහා ඔවුන් විදේශ ගත වී ඇති බවයි. ඒ අනුව ද මෙම පුද්ගලයන් තම පැවැත්ම වෙනුවෙන් විදේශගත වන බව පැහැදිළි කරුණකි.

ශ්‍රී ලංකාවෙන් පසුගිය දා එක්සත් රාජධානිය වෙත ගිය ඇතැම් වෛද්‍යවරු පවා තම විෂයයට අදාල නොවන විෂයයක් වැඩිදුර අධ්‍යාපනය සඳහා යැයි පවසමින් වීසා ලබාගෙන ගොස් ඇත. ඔවුන්ට එරට වෛද්‍යවරයකු ලෙස සේවය කිරීමට කිසිදු අවසරයක් නොමැති බැවින් වෙනත් සුළු රැකියාවල නිරතවීමට සිදුව ඇති බව ද එම අත්දැකීම ලැබූ අයම කියති.

කෙසේ හෝ පශ්චාත් උපාධියක් සම්පූර්ණ කරගත්ත ද එක්සත් රාජධානියේ ඊට සුදුසු ක්ෂේත්‍රයක රැකියාවක් ලබාගැනීම පහසු නැත. මේ නිසා ශ්‍රී ලංකාවෙන් විදේශගත වන වෛද්‍යවරුන්ට, ඉංජනේරුවන්ට, නීතිඥයන්ට සිදුව ඇත්තේ අඩු සුදුසුකම් යටතට වැටෙන රැකියාවල නිරත වී ජිවීතය ගැට ගසා ගැනීමයි. නමුත් එක්සත් රාජධානියේ රැකියාවක නිරතවීම ඔවුන්ට ආඩම්බරයට කරුණකි.

ශ්‍රී ලංකාවේ පිරිස් මේ ආකාරයෙන් විදේශගත වීමෙන් බුද්ධි ගලනයක් සිදුවීම කෙසේ වෙතත් මුදල් ගලනයක් නම් සිදුවන බව පැහැදිළි කරුණකි. 2022 සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ වර්ෂයේ දී ශ්‍රී ලාංකිකයන් 8,900ක් එක්සත් රාජධානියට ගොස් තිබුණ ද ඉන් පසු මේ දක්වා අතිවිශාල පිරිසක් උසස් අධ්‍යාපනයට බව පවසමින් එක්සත් රාජධානියට ගොස් ඇති බව නොරහසකි.  

මෙහි ඉතාමත් සරල සමීකරණයක් තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත ණය මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 2.9කි.

ඩොලරය රුපියල් 300.00 යැයි සැළකුවහොත් (වසරක පමණ කාලයක් එය මීට වඩා වැඩි අගයක තිබිණි) එක්සත් රාජධානියේ සංඛ්‍යාලේඛන අනුව ශ්‍රී ලංකාවෙන් පුද්ගලයන් 8900ක් සිිය දරු පවුල් සමඟ  එම රාජ්‍යයට ගොස් ඇත්නම් එක් අයකු ඒ සඳහා අවම වශයෙන් රුපියල් කෝටියක වියදමක් දරා ඇත්නම්. (මේ වනවිට උසස් අධ්‍යාපනය සඳහා එක්සත් රාජධානියට යාමට රුපියල් කෝටියක් ද ප්‍රමාණවත් නැත) ඔවුන් වැය කර ඇති මුදල රුපියල් කෝටි 8,900කි. ඒ 2022 සැප්තැම්බර් මාසය දක්වා පමණි. මේ වනවිට එය තවත් විශාල වශයෙන් ඉහළ ගොස් තිබිය යුතුය.

මේ සංඛ්‍යාලේඛන අප ඉදිරිපත් කළේ එක්සත් රාජධානිය සම්බන්ධයෙන් පමණි. නමුත්, කැනඩාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ෆින්ලන්තය වැනි රටවලට ද ශ්‍රී ලාංකිකයෝ අතිවිශාල පිරිසක් මේ ආකාරයට ම සංක්‍රමණය වෙති.

මෙලෙස උසස් අධ්‍යාපනයට බව පවසමින් සංක්‍රමණය වන පුද්ගලයෝ තම පවුල පිටින් විදේශගත වන්නේ ආපසු ඒමට නොවේ. ඔවුන් රටේ සල්ලි කෝටි ගණනක් විදේශයකට රැගෙන ගොස් තම ජීවිතය යහපත් කරගනී. ඒ ගැන අපට විවාදයක් නැත. ඔවුන්ට යහපත් දිවියක් ගත කිරීමට හැකිවේවා යන්න අපේ පැතුමයි. නමුත්, ඔවුන් එවැනි රටවල වාසය කිරීමට අවසර ලබාගත් පසු ශ්‍රී ලංකාවට මුදල් එවන්නේ ඉතාමත් සුළු වශයෙනි. අරාබි රටවල ගෘහ සේවයට යන කාන්තාවන්, කොරියාවේ සුළු රැකියාවල් සඳහා යන තරුණ තරුණියන් තම දෙමාපියන්ට, බිරිඳට, සැමියාට, දරුවන්ට මුදල් එවන අතර පසුව රටට පැමිණ නිවසක් තනා ජීවත් වීමට සිහින දකියි. ඔවුන් රටට විදේශ විනිමය එවයි.

අධික මුදලක් වැය කර විදේශ රටවල අධ්‍යාපනය බව කියමින් යන පිරිස් පසුව රටට විදේශ විනිමය එවන්නේ රැකියා සඳහා විදේශ ගතවන අයට සාපේක්ෂව ඉතා අඩු ප්‍රමාණයකි. ඔවුන්ට සිදුවන්නේ තමන්ගේ සිහිනයක් බවට පත්ව තිබූ රටවලට ගොස් අමාරුවෙන් දිවි ගැටගහ ගැනීමටය.

ලංකාවේ සිදුවිය යුතුව තිබුණේ මෙය ද ? නැත.

නවීන ලෝකයට, කාර්යක්ෂම රැකියා ලෝකයට අවශ්‍ය ගුණාත්මක උපාධි පාඨමාලා වැඩිකර දීමයි. ඉන් බිහිවන සුදුසුකම් ලත්තවුන් රැකියා වීසා යටතේ උසස් රැකියා අවස්ථාවන් සඳහා විදේශගත කිරීමයි. උසස් අධ්‍යාපනයට යැයි කියා වසරක් වැනි කාලයක දී විදෙස් ගත වූ පිරිස වියදම් කර ඇති මුදලින් විශ්වවිද්‍යාලයක් ම ආරම්භ කළ හැකි බව රජය තේරුම් ගත යුතුය.

එවැනි විශ්වවිද්‍යාලයක් ආරම්භ කළ යුත්තේ රාජ්‍යය ලෙස ද පුද්ගලික ලෙස ද යන්න වෙන ම විසඳාගත යුතු ප්‍රශ්නයකි.

බොහො සංවර්ධිත රටවල හෙදියන්ට, සෞඛ්‍ය සේවිකාවන්ට, සූපවේදීන්ට ඕනෑතරම් රැකියා අවස්ථා තිබේ. වෛද්‍ය ඉංජිනේරු වැනි පාඨමාලා වෙනුවෙන් වැය වන මුදලට වඩා අඩුවෙන් එවැනි උපාධි ලබා දීමේ හැකියාවක් තිබිය දී අප රජයයන් අවධානය යොමු නොකරන්නේ ද ඒ කෙරෙහිය.

ප්‍රශ්නය නම් මේ අර්බුදකාරී අවස්ථාවේ පවා දේශපාලකයන් මේ ප්‍රශ්න නොතේරුම් ගැනීමයි. ඇතැම් දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරඹීමට දැඩි විරෝධී ආකල්පයක සිටින අතර අධ්‍යාපනය වෙනුවෙන් රටින් පිටතට යන මුදල් ගැන ද ඔවුන් නෑසූ කන්ව සිටියි.

විදෙස් රටවල් තමන්ට අවශ්‍ය ශ්‍රම බලකාය වෙනුවෙන් ස්වදේශිකයන්ට ඉගැන්වූව ද විදෙස් සිසුන්ට ඉගැන්වීම යනු ඔවුන්ට ව්‍යාපාරයක් පමණි. රට වැටෙන විට විදෙස් සිසුන් ගෙන්වා ගෙන එකී රටවල් ගොඩයද්දි බංකොලොත් වී සිටින ශ්‍රී ලංකාව රටේ තියෙන මුදල් ද පිට රටවලට යවන්නේ කිසිම සැළැස්මක් හෝ දැක්මක් නොමැතිවීම හේතුවෙනි.  

ඉතා අඩු වියදමකින් ලෝකෙට ම වටින උගතුන් බිහිකර විදෙස්ගත කළ හැකිව තිබිය දී මේ සිදුවන දෙය අඛණ්ඩව සිදුවන්නේ නම් අනාගතය තවත් අර්බුදකාරීවීම නොඅනුමානයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!