spot_img
spot_imgspot_img

ලයිට් කැපිල්ල, උසාවියෙන් නතර කරන්න බැරි වෙයි

පුවත්

විදෙස්

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලයේ දී විදුලිය විසන්ධි කිරීම වැළැක්වීමේ නියෝගයක් ලංකා විදුලි බල මණ්ඩලය ඇතුළු වගඋත්තරකරුවන් වෙත නිකුත් කරන්න යැයි කරන ලද ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) ප්‍රතික්ෂේප කළේය.

ගාමිණී අමරසේකර, කුමුදුනී වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන ත්‍රිපුද්ගලල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එය ප්‍රතික්ෂේප කෙරිණි.

පැමිණිල්ල සලකාබැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී පැමිණිලිකාර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය කියා සිටියේ උසස් පෙළ විභාගය පැවැත්වෙන ජනවාරි මස 23 වනදා සිට පෙබරවාරි මස 17 වනදා දක්වා විදුලිය කප්පාදු කිරීමක් නොකරන බවට ලංකා විදුලිබල මණ්ඩලය ලබාදුන් ප්‍රතිඥාව එම මණ්ඩලයේ සභාපතිවරයා විසින් උල්ලංඝනය කර ඇති බවයි. 

ඒ, තුළින් ඔහු මානව හිමිකම් කොමිසමේ අධිකාරි බලයට අගෞරව කොට අපහාසයක් සිදු කර ඇති බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

මෙහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ගාමිණී අමරසේකර විවෘත අධිකරණයේ කරුණු දක්වමින් විදුලිබල මණ්ඩලයේ සභාපති වෙනුවෙන් පෙනී සිටි නියෝජිතයින් විදුලි කප්පාදුවක් නොකරන බවට මානව හිමිකම් කොමිසම හමුවේ එකඟත්වය පළකර ඇත්තේ එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ඉදිරියේ දී ලබාගැනීමේ අනුමැතියට යටත්ව බව සඳහන් කළේය.

එසේ තිබියදී සභාපතිවරයාට පමණක් දඬුවම් පමුණුවන්නේ කෙසේ දැයි ප්‍රශ්න කළ විනිසුරුවරයා මේ පිළිබඳව මූලින්ම අධිකරණය කරුණු පැහැදිලි කරගත යුතු බවත් සඳහන් කළේය. මීට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය සඳහන් කළේ මෙම අවස්ථාවේදී කිරීමට තිබෙන්නේ වග උත්තරකරුවන්ට දඬුවම් කිරීම නොවන බවත් වග උත්තරකරුවන් අධිකරණය හමුවට කැඳවා දඬුවම් නොකිරීමට හේතු විමසීම බවත්ය.

එම අවස්ථාවේදී විනිසුරු ගාමිණී අමරසේකර කීවේ එවැනි පියවරකට යාමට පෙර මෙම පැමිණිල්ල පවත්වාගෙන යාම සඳහා ප්‍රමාණවත් කරුණු තිබේ දැයි නිගමනය කිරීමට අධිකරණයට සිදුවන බවය.

එමනේම වගඋත්තරකරුවන්ට එරෙහිව අපහාස චෝදනා එල්ල කරන අතරවාරයේ ඔවුන්ගෙන් සහනයක් අපේක්ෂා කරන්නේ කෙසේ දැයි විනිසුරුවරයා ප්‍රශ්න කළේය.

මෙය මානව හිමිකම් කොමිසමට අපහාස කිරීම පිළිබඳ නඩුවක් බව අමතක නොකරන ලෙසත් විනිසුරු අමරසේකර මහතා ජනාධිපති නීතිඥවරයාට සිහිපත් කළේය.

මානව හිමිකම් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඊට පිළිතුරු දෙමින් සඳහන් කළේ විදුලි කප්පාදුව නිසා උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන් දැඩි අසාධාරණයකට මුහුණ දී සිටීම හේතුවෙන් අතුරු සහනයක් අපේක්ෂා කරන බවයි. 

බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් සහ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කනිෂ්කා ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මානව හිමිකම් කොමිසමට විධානයන් නිකුත් කිරීමට බලයක් නොමැති බව සඳහන් කළාය.

මානව හිමිකම් ප්‍රවර්ධනය හා නීති සම්පාදනය සම්බන්ධයෙන් රජය වෙත උපදෙස් දීමට සහ මානව හිමිකම් කඩවීම් පිළිබඳව විමර්ශන පවත්වා අදාළ ආයතනවලට නිර්දේශ ඉදිරිපත් කිරීමට පමණක් එම කොමිසමට බලය පැවරී තිබෙන බවත් ඇය පැවසුවා.

කිසියම් පාර්ශ්වයක් එම නිර්දේශ උල්ලංඝනය කළ අවස්ථාවක ඒ පිළිබඳව ජනාධිපතිවරයා වෙත කරුණු වාර්තා කිරීමට කොමිසම කටයුතු කළ යුතු බව මානව හිමිකම් කොමිෂන් සභා පනතේ සඳහන් කර තිබෙන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය කියා සිටියාය.

ලංකා විදුලිබල මණ්ඩලය සහ එහි සභාපති ඇතුළු පිරිසක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් විදුලි බලය සැපයීම හෝ කප්පාදු කිරීම සම්බන්ධයෙන් තීරණ ගැනීමට සභාපතිවරයාට බලයක් නොමැති බව සඳහන් කළේය. එම බලතල පැවරී තිබෙන්නේ මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරියාට පමණක් බවත් ඔහු පෙන්වා දුන්නේය.

තම කොමිසමට අපහාස කළ බවට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත සහතිකයක් යොමු කිරීමට ප්‍රථම ඒ සම්බන්ධයෙන් නිදහසට කරුණු දැක්වීම සඳහා මානව හිමිකම් කොමිසම විසින් තම සේවාදායකයාට අවස්ථාව ලබා නුදුන් බව චෝදනා කළ ජනාධිපති නීතිඥවරයා එය ස්වභාවික යුක්ති ධර්මය නමැති නීතිමය මූලධර්මය උල්ලංඝනය කිරීමක් බවත් පෙන්වා දුන්නේය.

මානව හිමිකම් කොමිසම විසින් නිකුත් කළ බව කියන විධානය නිකුත් කළේ කවදා ද? කෙසේ ද? එම විධානය වග උත්තරකරුවන්ට භාර දුන්නේද? යනාදී වැදගත් කාරණා පිළිබඳ සාක්ෂි කිසිවක් පැමිණිල්ල තුළින් අධිකරණය හමුවේ ගොනු කිරීමට එම කොමිසම කටයුතු කර නොමැති බවත් ඔහු කියා සිටියේය.

මෙවැනි වාතාවරණයක් හමුවේ කොමිසමට අපහාස කළ බවට වග උත්තරකරුවන් වෙත අධිකරණය නොතීසි නිකුත් කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කළ පැමිණිලි කරමින් කියා සිටියේ මේ පැමිණිල්ල පදනම් විරහිත බවයි.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු දක්වමින් ජනවාරි මස 25 වනදා සිට පෙබරවාරි මස 17 වනදා දක්වා කාලසීමාව තුළ විදුලි කප්පාදුව සඳහා තම සේවාදායකයා විසින් ලංකා විදුලිබල මණ්ඩලයට කිසිදු අනුමැතියක් ලබාදී නොමැති බව සඳහන් කළේය.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම කරුණට අදාළව තම සේවාදායක ආයතනයේ නියෝජිතයින් ඉදිරිපත් කළ කරුණු කෙරෙහි මානව හිමිකම් කොමිසම නිසි අවධානය යොමු නොකළ බවයි.

මෙම පැමිණිල්ල හරහා නොමඟ යවන සුළු තොරතුරු මානව හිමිකම් කොමිසම විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත් එබැවින් ද්වේශ සහගතව ඉදිරිපත් කර තිබෙන මෙම පැමිණිල්ල වහාම ප්‍රතික්ෂේප කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!