spot_img
spot_imgspot_img

ශ්‍රී ලංකා ක්‍රිකට් වළපල්ලට යන හැටි

පුවත්

විදෙස්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ පසුගිය විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලිය සම්බන්ධයෙන් විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධනගේ සභාපතිත්වයෙන් යුතු කමිටුව මගින් සැකසූ වාර්තාව අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් තීරණනයක් ගැනීම ලබන පෙබරවාරි මස 01 වැනි දා දක්වා කල්තබන්න යැයි අභියාචනාධිකරණය විසින් දැනුම් දී තිබේ.

මෙම දැනුම් දීම සිදුකර ඇත්තේ එම වාර්තාව බල රහිත කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා සහ ලේකම් මොහාන් ද සිල්වා විසින් අභියාචනාධිකරණයට රීට් පෙත්සමක් ගොනු කිරිමෙන් අනතුරුවය.

මේ අතර ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ තවත් කරුණු රැසක් අනාවරණය වෙමින් තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලුණු සුපිරි පිතිකරුවන් දෙදෙනකු තම ක්‍රිකට් කළමනාකරු ලෙස පත්කරගත් එක්තරා විදේශිකයකු පසුව මෙරට ක්‍රිකට් ක්‍රීඩකයන් රැසකගේ කළමනාකරු වීමත්, ඔහු යටතේ ගිවිසුම් ගතවන ක්‍රීඩකයන්ට කිසිදු ගැටලුවකින් තොරව කණ්ඩායමේ තැනක් හිමිවීමත් පිළිබඳ දැඩි සැකයක් ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ පැතිර ගියේය. බෝන් අගේන් ආගමික කල්ලියේ ක්‍රියාකාරීත්වයත් මේ සමඟ කරලියට පැමිණියේය.

ඊට අමතරව මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ මූල්‍ය ආධිපත්‍යය සියතට ගත් පුද්ගලයන් පිළිබඳව ද මේ වනවිට කරුණු රැසක් හෙළිදරව් වෙමින් තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය පදනම් කරගත් ක්‍රීඩා විකාශන සමාගමක් වූ ඉනොවේටිව් ප්‍රඩක්ෂන් සමාගම ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන ක්‍රිකට් තරඟ සඳහා වන රූපවාහිනී සහ ගුවන්විදුලි විකාශන අයිතිය ටෙන්ඩර් ඉදිරිපත් කිරීමක් මගින් හිමිකර ගැනීමට සමත්විය. ඒ වසර 04ක කාලයක් සදහාය.

මෙය වසර හතරෙන් හතරට සිදුවන ටෙන්ඩර් ක්‍රියාවලියකින් ලබාදෙන අයිතියකි. ඒ අනුව 2023 අප්‍රේල් 01 වැනි දා සිට 2027 මාර්තු මස 31 වැනි දා දක්වා ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පවත්වන තරඟ සඳහා විකාශන අයිතිය ලබාදීමේ ටෙන්ඩර් පසුගිය දා කැදවනු ලැබිණි. මෙම ටෙන්ඩර් කැඳවීම නියමිත පටිපාටියට සිදුවන බව කියයි. ඇමෙරිකානු ඩොලර් කෝටි ගණනක් ශ්‍රී ලංකාවට හිමිවන මෙම ටෙන්ඩරය සඳහා ජාත්‍යන්තර විකාශන සමාගම් ඉහළ මිල ගණන් ඉදිරිපත් කරනු ඇතැයි ද ක්‍රිකට් පරිපාලකයෝ කියති.

එසේ වුව ද මෙම ටෙන්ඩර් කැඳවීමේ ක්‍රියාවලියේ දී ඒ සඳහා ඇතුළත් කර ඇති කොන්දේසි සහ නිර්ණායක පරීක්ෂා කර බැලීමේ දී පෙනී යන්නේ දැනට විකාශන අයිතිය හිමිකරගත් සමාගමට ම ඉදිරි ටෙන්ඩරයත් ලබාදිය හැකි වාසි සහගත වගන්ති ඊට ඇතුළත් කර ඇති බවයි.

අදාළ වගන්තියෙන් කියැවෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ වත්මන් නිෂ්පාදන සේවා සහකරු අතර (එම ගිවිසුම 2023 මාර්තු 31 වැනිදා අවසන් කෙරේ) එකඟ වූ නියමයන් සහ කොන්දේසි අනුව, මේ ටෙන්ඩරයේ සාර්ථකම ලංසුව ගැළපීමේ අයිතිය වත්මන් නිෂ්පාදන සේවා සහකරුට ඇති බවය.

එය ඉංග්‍රීසි භාෂාවෙන් මෙසේ සඳහන් කර ඇත.

‘It is to be noted that SLC’s current Production Services Partner (i.e. for the term ending 31 March 2023) has the right to Match the Successful bid of this Tender, in accordance with the terms and conditions agreed between SLC and SLC’s current Production Services Partner.‘

2023 වර්ෂයේ දී තරඟ විකාශන අයිතිය සම්බන්ධයෙන් ‍වසර 04 ක කාලයක් සඳහා ටෙන්ඩර් කැඳවන විටම එක්සත් අරාබි එමීර රාජ්‍යය පදනම් කරගත් සමාගමට ගැලපීමේ අයිතිය ලබා දෙනවානම් තවත් සමාගම් මේ ටෙන්ඩරයට ඉදිරිපත් වීම හෝ එවැනි සමාගම්වලින් මිල ගණන් කැඳවීමේ ‍අවශ්‍යතාව කුමක්ද යන ගැටලුව අපට මතුවෙයි.

එමෙන්ම මේ වගන්තිය අනුව දැනට ටෙන්ඩරය හිමිකරගෙන සිටින සමාගම ඉදිරිපත් කරන මිල කවර ප්‍රමාණයක් වුව ද ඔවුන්ට ඉදිරි වර්ෂ 04 සඳහා ද විකාශන අයිතිය ලබාදීමට සිදුවනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ටෙන්ඩර් කැඳවීම් සිදුවිය යුත්තේ රජයේ ප්‍රසම්පාදන නියමු උපදෙස් සංග්‍රහයට අනුව රජයේ ටෙන්ඩර් ක්‍රියාවලියට අනුකූලවය. එසේ නම් මේ ටෙන්ඩර් ක්‍රියාවලිය විනිවිදභාවයකින් සිදුකරන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් සහතික විය යුතුය. ටෙන්ඩර් ඉදිරිපත් කරන බවට සක්සුදක් සේ දන්නා සමාගමකට වාසි සහගත ලෙස වගන්ති ඇතුළත් කරමින් ටෙන්ඩර් කැඳවීමේ හැකියාවක් රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ නැත. එසේ නම් මේ පිළිබඳව ද පැහැදිලි පරීක්ෂණයක් පැවැත්විය යුතු වෙයි.

මෙම සමාගම “ලංකා ප්‍රිමියර් ලීග්” තරඟාවලියේ පස් අවුරුදු හිමිකුරුවා දවෙයි. ඒ බව 2021 පෙබරවාරි 09 වැනි දා ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් නිකුත් කර තිබූ මාධ්‍ය වාර්තාවක ද සඳහන් කර තිබිණි. එම මාධ්‍ය වාර්තාව අනුව ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ අවුරුදු 05ක අයිතිය එම සමාගම විසින් ලබාගෙන ඇත්තේ ඩොලර් මිලියන 4.3ක් වැනි මුදලකටය.

මේ සමාගම පිළිබඳ සොයා බැලීමේ දී පෙනී යන්නේ අදාල සමාගමේ නිර්මාතෘවරයා මීට පෙර ටෙන් ස්පෝර්ට්ස් රූපවාහිනී ක්‍රීඩා විකාශන සමාගමේ හිටපු යටිතල පහසුකම් නිලධාරියෙකි. ඔහු මෙරට ක්‍රිකට් ක්ෂේත්‍රයේ සිටින බොහෝ පුද්ගලයන් සමඟ සම්බන්ධතා ඇති තැනැත්තෙකි.

මෙම සමාගම සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් බලධාරීන් අතර හොඳ සම්බන්ධතාවක් ගොඩනැගුවේ මෙරට සිටි ප්‍රකට ක්‍රිකට් විචාරකයෙකි. එම සමාගම ලංකා ප්‍රිමියර් ලීග් තරඟගාවලියේ හිමිකාරීත්වය ලබාගැනීමෙන් පසු අදාල විචාරකයා ද එම තරඟ විස්තර විචාරයට එක්ව සිටියේය.

එල්පීඑල් අයිතිය වෙනුවෙන් සිදුකර ඇති ගිවිසුම් ගතවීම අනුව එම සමාගම ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ගෙවිය යුතු මුදල වර්ෂයකට ඇමෙරිකානු ඩොලර් මිලියන 02කි. විකාශන අයිතියට අමතරව එල්පීඒ තරඟාවලියේ කණ්ඩායම් හිමිකාරීත්වය ද අළෙවි කිරීමේ අයිතිය එම සමාගම සතුය. කණ්ඩායම් කළමනාකාරීත්වය වසරෙන් වසරට වෙනස් කිරීමේ අයිතිය ද ඔවුන් සතුය.

ඉදිරි වසර 04ක කාලයේ දී ශ්‍රී ලංකාව සත්කාරකත්වය දරන ජාත්‍යන්තර තරග සංචාර සංඛ්‍යාව 14ක් බවට වාර්තා වෙයි.  

ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ මේ වනවිට දක්නට ලැබෙන සිදුවීම්වල පෙළගැස්ම දෙස බැලීමේ දී මේ සියලු ‍ටෙන්ඩර් කැඳවීම් තරඟ අයිතිය ලබාදීම්, ක්‍රීඩකයන් කණ්ඩායමට එක්වීම්, එල්පීඑල් කණ්ඩායම්වල සිදුවන වෙනස්වීම් ආදී සියල්ල දැවැන්ත ව්‍යාපාරික හස්තයකින් ක්‍රියාත්මක වන බවට ඇති සැකය බරපතලය. ඒ සඳහා බෝන් අගේන් ආගමික නිකායේ ඇති බලපෑම පිළිබඳව ඇති චෝදනාව ද කිසිවෙකු පැහැදිළිව ප්‍රතික්ෂේප කර නැත.

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය ඩුබායි නගරයේ පැවැත්වීමට කටයුතු කිරීම, ඉන්දීය සංචාරය නිමා වූ සැණින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ට ඩුබායි නගරයේ පැවැත්වෙන විස්සයි20 ලීග් තරඟාවලියට සහභාගි වීමට අවස්ථාව සැලසීම වැනි සිදුවීම්වලදී ක්‍රිකට් ආයතනයට චෝදනා එල්ල විය, මේ ක්‍රියාදාමය පසුපස විකාශන අයිතිය හිමි අයිපීජී සමාගම හෝ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අදිසි හස්තයක් ක්‍රියාත්මක වන්නේදැයි බරපතල සැකයක් මතුව තිබේ.

ආසියානු කුසලාන තරඟාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවෙන් ගිලිහී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගිය බව දැනගැනීමට ලැබුණේ මාධ්‍ය මගින් යැයි ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ වරක් කීවේය. එයින් පෙනී යන්නේ මෙරට ක්‍රිකට් ගැන ගන්නා තීන්දු තීරණ ක්‍රීඩා ඇමතිවරයා පවා නොදන්නා බවයි.

ක්‍රීඩා අමාත්‍යවරයා මෙලෙස කීවේය.

“ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා මට කිවුවේ ඉන්දියාවත්, පාකිස්තානයත්, බංග්ලාදේශයත් අපේ රටට එන්න අදිමදි කරනවා කියලා. මම ඒ තානාපති කාර්යාලා තුනටම ලියලා ඇහුවම එයාලා මට දුරකතනයෙන් ක්ෂණිකව ප්‍රතිචාර දක්වලා කියනවා මේ ලිපිය දැක්කම එයාලා පුදුම වුණා කියලා. මේ මොහොතේ අපි ලංකාවට එන්න සැදී පැහැදී හිටියේ කියලා. හැබැයි පහසුකම් ටික සැපයීම අපහසුයි කියලා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් කිවුවා කියලයි එයාලා මට කිවුවේ.”

එසේ නම් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනය එලෙස කටයුතු කළේ ඇයි ද යන්න පිළිබඳ බරපතල සැකයක් ඇතිවේ.

ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්ට ඉන්දීය සංචාරය නිමා වූ වහාම ඩුබායි බලා පිටත්වීමට ක්‍රිකට් ආයතනය අවස්ථාව සලසා දුන්නේය.  

ඉන්දියාවට එරෙහිව පසුගියදා අන්ත පරාජයක් අත් වූ තුන්වැනි එක්දින තරගයෙන් අවසන් වූ වම එදින ම රාත්‍රී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිප දෙනකු ම විස්සයි20 ලීග් තරගවලට ක්‍රීඩා කිරීමට ඉන්දියාවේ සිට විදෙස් රටවල් බලා පිටත්ව ගොස් තිබිණි. ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණියේ කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන්ගෙන් භාගයකටත් වඩා අඩු පිරිසකි.

විශේෂයෙන් සිව් දින නැෂනල් සුපර් ලීග් තරඟාවලිය ආසන්නව තිබිය දී එය මඟ හරිමින් විදෙස් විස්සයි20 ලීග් තරග සඳහා සහභාගි වීමට එම ක්‍රීඩකයන්ට විරුද්ධතාවක් නොමැති බවට වන සහතිකය ශ්‍රී ලකා ක්‍රිකට් වෙතින් ලබාදුන්නේ කෙසේ ද යන්න ප්‍රශ්න කළ යුතුය.

මාර්තු මුල් සතියේදී නවසීලන්තයේ ටෙස්ට් සහ එක්දින සංචාරයකට සහභාගි වීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීම සඳහා මේ සිවුදින තරඟාවලිය අතිශය වැදගත් ය. නමුත් ටෙස්ට් සංචිතයට ඇතුළත් වනු ඇතැයි සිතිය හැකි බොහෝ ක්‍රීඩකයන් විදෙස් තරඟවලට සහභාගී වීම හේතුවෙන් ජාතික ක්‍රිකට් තරඟාවලිය මඟහැරී යයි.

නවසීලන්ත ටෙස්ට් තරඟමාලාවට අවශ්‍ය පරිදි සිය දස්කම් මුවහත් කරගැනීමට නැෂනල් සුපර් ලීග් තරගාවලියෙන් ලැබෙන අතර, එය පසුගිය කාලය තුළ විස්සයි20 හා එක්දින තරගවලට අවශ්‍ය මානසිකත්වයට හැඩ ගැසී සිටි ක්‍රීඩකයන්ට රතු පන්දුවට හුරු වීමට ද ලැබෙන මනා අවස්ථාවක් වූවද, තරඟාවලියේ ආරම්භක අවස්ථාවට මඟ හැරීමට අදාළ ක්‍රීඩකයන්ට ක්‍රිකට් ආයතනය උදව්කිරීම ගැටලු සහගතය.

එම ක්‍රීඩකයන්ගෙන් බහුතරය මේ වනවිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවර පැවැත්වෙන ඉන්ටර්නැෂනල් ලීග් විස්සයි 20 (ILT20) තරඟාවලියට එක්වී සිටියි, තවත් ක්‍රීඩකයෝ පිරිසක් දකුණු අප්‍රිකාවේ පළමුවරට පැවැත්වෙන ‘SA20‘ තරඟාවලියට එක්වී සිටිති.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් නැවත ඔසවා තැබීමට නම් ශ්‍රී ලංකා ක්‍රිකට් විනිවිද භාවයෙන් ක්‍රීඩා කළ යුතුය. විදේශීය කළමනාකරුවන්ට, විදේශීය සමාගම්වලට ක්‍රිකට් පාලනය කිරීමට ඉඩ නොදිය යුතුය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!