spot_img
spot_imgspot_img

කුඩා පුතු නොදැන කළ දෙයින්, තාත්තයි පුතයි අවසන් ගමන් යයි

පුවත්

විදෙස්

දුම්රිය හරස් මාර්ගයක යතුරුපැදිය නවතාගෙන සිටිය දී යතුරුපැදියේ ඉදිරියෙන් සිටි අවුරුදු 04ක කුඩා දරුවා ඇක්සලේටරය කරකැවීම හේතුවෙන් හේතුවෙන් යතුරුපැදිය දුම්රියේ වැදී සිදුවූ අනතුරකින් එම දරුවා සහ පියා දෙදෙනා ම මියයාමේ සිද්ධියක් වාර්තා වෙයි.

මාතර, වේරගම්පිට පදිංචිව සිටි ඉසිත එරංජන අරුණෝද් හේවා කණ්ඩම්බි නමැති එම දරුවා ඊයේ (13) සවස කරාපිටිය ශික්ෂණ රෝහලේ දී මියගිය බව ගාල්ල නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ පවසයි.

මෙම අනතුර සිදුවූයේ 2022 ඔක්තෝබර් මස 27 වැනි දා ය. ඊයේ මියගිය දරුවාගේ පියා ලසන්ත සුදත් හේවා කණ්ඩම්බි (50) අනතුර සිදු වූ ස්ථානයේ දී ම මියගියේය. ඔහු පොලිස් සේවයේ යෙදී සිට විශ්‍රාම ලබා ව්‍යාපාර කටයුතු කරගෙන ගිය අයෙකි. අනතුර හේතුවෙන් බරතල තුවාල ලබා සිහිනැතිව රෝහල්ගත කෙරුණු දරුවා ඊයේ මියගියේ කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ දී ය.

මරණය සම්බන්ධයෙන් හදිසි මරණ පරික්ෂණයේ දී සාක්ෂි දුන් මව විතාරණ ගමගේ දිස්නා ශිරෝමාලා ‍(45) මෙසේ කීවාය.

“මයිගොස් සිටින්නේ මගේ බාලම පුතා. ඊට වැඩිමල් දුවක් සහ ‍තවත් පුතෙක් ඉන්නවා. අනතුරු සිදුවූ දිනයේ ලොකුපුතා පාසලට ඇරලවීමට මහත්තයා ස්පූටි වර්ගයේ යතුරුපැදියකින් ගියා. ඒ වෙලාවේ පොඩි පුතාත් එයා සමඟ ගියා. ලොකු පුතා පඹුරණ සාරිපුත්‍ර විද්‍යාලයට ඇරලවලා එද්දී කොප්පරවත්ත පළමුවන පටුමගේ තියෙන දුම්රිය හරස්පාර අසළ ඉදිරියෙන් ම යතුරුපැදිය නවත්තලා. කොච්චියක් යන නිසා. කොච්චිය එතන පසුකර යමින් සිටිද්දී බයික් එකේ ඉස්සරහ හිටපු පුතා එකපාරටම ඇක්සර්ලේටරය කරකවලා. බයික් එක විසිවෙලා ගිහින් කෝච්චියේ වැදිලා. මට එහා ගෙදර නංගී දුවගෙන ඇවිත් කිව්වා අයියට පොඩි කරදරයක් වෙලා මාතර හොස්පිට්ල් එකට ගෙනිච්චා අපි යමු කියලා. මාතර රෝහලට ගියාම මට පුතාව පෙන්නුවා. පුතාට සිහිය තිබුණේ නැහැ. පුතාව ඒ වෙලාවෙම කරාපිටිය රෝහලට ගෙනිච්චා. මහත්තයාව පෙන්නුවේ නෑ. එයා ඇතුළේ ඉන්නවා කිව්වා. මම ගෙදර එනකොට කිට්ටුව අයත්, නෑදෑයොත් ගෙදරට එනවා. එ් වෙලාවේ තමයි දැනගත්තේ මහත්තයා මැරිලා කියලා. මහත්තයාගේ මරණයේ වැඩ ඉවර වෙලා මම දිගටම කරාපිටිය රෝහලට පුතාව බලන්න ගියා. පුතාගේ හිසේ ශල්‍යකර්මයක් කරලා තිබුණා. දිගටම සිහිය ආවේ නෑ. අමාරු තත්වයක හිටියේ. ඊයේ හවස ගෙදරට කට්ටිය එනකොට තමයි දැනගත්තේ මගේ පුතත් නැතිවෙලා කියලා. මට මේ මරණය ගැන සැකයක් නෑ. අනතුර හේතුවෙන් මරණය සිදුවන්න ඇතැයි සිතනවා.”

මරණය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරන ලද්දේ අධිකරණ වෛද්‍ය නිලධාරී එච්.ඩී.වීරරත්න විසිනි.

ඉදිරිපත් වූ සාක්ෂි සහ අධිකරණ වෛද්‍ය වාර්තාව සළකා බැලූ ගාල්ල නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මෙම මරණය ධාවනය වෙමින් පැවති දුම්රියක ගැටීමෙන් හිස් කබලට සහ මොළයට සිදු වූ තුවාල හේතුවෙන් ඇති වූ සංකූලතා නිසා සිදුව ඇති බව තීරණය කළේය.

මරණ පරීක්ෂකවරයා මෙහි දී අවධාරණය කළේ කුඩා දරුවන් යතුරුපැදිවල ඉදිරියෙන් තබාගෙන ගමන් බිමින් යාම නීතියෙන් තහනම් කර ඇති දෙයක් බවයි. එසේ වුව ද එලෙස දරුවන් රැගෙන යාම ඉතාමත් බහුලව සිදුවන බවත් ඉන් සිදුවිය හැකි අනතුරු සම්බන්ධයෙන් මෙය ඉතා කණගාටුදායක උදාහරණයක් බවත් ඔහු කීවේය. දෙමාපියන්ගේ නොසැළකිල්ල නිසා දරුවාගේත් පියාගේත් ජීවිත අකාලයේ අහිමිවී ඇති බවත් මෙවැනි අනතුරු වළක්වා ගැනීමට නීතිගරුක වීම වගේම සැළකිලිමත්වීම ඉතාමත් වැදගත් බවත් හදිසි මරණ පරීක්ෂකවරයා වි‍ශේෂ ප්‍රකාශයක් කරමින් කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!