spot_img
spot_imgspot_img

විදුලි බිල වැඩි කරන්නේ, සැළසුම් අවුල් කිරිමේ, පගාවේ, ගසා කෑමේ ප්‍රතිඵලයක් ලෙස ද ?

පුවත්

විදෙස්

ලංකා විදුලි බල මණ්ඩලයට අයවිය යුතු ‍රුපියල් කෝටි 684ක් 2021 දෙසැම්බර් 31 දක්වා අයකරගෙන නැතැයි ද ඉන් කෝටි  293ක් ම වසර පහකට වඩා වැඩි කාලයක් අයවිය යුතුව ඇති මුදල් බව ද ජාතික විගණන කාර්යාලය නිකුත්කළ වාර්තාවක දැක්වේ.

එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ 2021 වර්ෂය අවසාන දිනය වනවිට රුපියල් බිලියන 44කට වැඩි මුදලක් (රුපියල් කෝටි 4,408ක්) ලංකා විදුලි බල මණ්ඩලයට විවිධ පාර්ශවයන්ට ණය වී තිබූ බවයි.

2021 වර්ෂයේ දී විදුලි බල මණ්ඩලය විසින් ගිගාවොට් පැය 267.17ක් අතිරේක විදුලිය ලෙස මිල දී  ගෙන ඇති අතර ඒකකයක සාමාන්‍ය විකුණුම් මිලට වඩා රුපියල් 8.89ක් හා රුපියල් 72.48ක් පුද්ගලික බලශක්ති නිෂ්පාදකයන්ගේ බලාගාර තුනකින් සහ මෙගාවොට් 24ක අතිරේක බලාගාරයකින් අධික පිරිවැයක් දරා මෙලෙස විදුලිය මිල දී ගෙන ඇතැයි ද විගණන වාර්තාවේ දක්වා ඇත.

ඒකකයක විකුණුම් මිල සාමාන්‍ය අගය රුපියල් 16.37ක් ලෙස පවතිද්දී විදුලි බල අමාත්‍යාංශය ඒකකයක් සඳහා රුපියල් 21.7ක්, රුපියල් 24.97ක්, රුපියල් 25.26ක් සහ රුපියල් 88.85ක් වශයෙන් ගෙවමින් විදුලි ඒකක මිල දී ගෙන ඇත.

මෙම විගණන වාර්තාවේ වැඩිදුරටත් සදහන් වන්නේ දීර්ඝකාලීන විදුලි ජනන පුළුල් කිරිමේ 2018-2037 සැළැස්ම අනුව පසුගිය වසර 04ක කාලයේ දී මෙගාවොට් 2,032ක නව ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එකතුවිය යුතුව තිබූ බවයි. නමුත් රටේ විදුලි අර්බුදයක් නිර්මාණය වන බව කල් ඇතිවම දැනගෙන සිටිය දී එම වසර 04ක කාලයේ දී ජාතික විදුලිබල පද්ධතියට අලුතෙන් එකතුකර ඇත්තේ මෙගාවොට් 661.6ක ධාරිතාවක් පමණි.

හදිසි විදුලිබලාගාර භාවිතා කිරීම වෙනුවට උපරිම ඉල්ලුම සපුරාලීමට හැකි පරිදි අවම පිරිවැය සහිතව දීර්ඝකාලීන විදුලි ජනන පුළුල් කිරීමේ සැළැස්මක් අවශ්‍යව තිබුණ ද එය නිසි පරිදි ක්‍රියාත්මක නොකර බලශක්ති මිල දී ගැනීමට අධික පිරිවැයක් දැරීම හේතුවෙන් විදුලි නිෂ්පාදනය දැඩි අර්බුදයකට ගොස් ඇතැයි ද විගණන වාර්ත‍ාව අනුව පැහැදිළි වෙයි.

අඩු පිරිවැයකින් විදුලිය නිෂ්පාදන කිරිමේ සැළසුම් ක්‍රියාත්මක නොකර වැඩි මුදලට විදුලිය මිලදී ගත්තේ කාගේ වුවමනාවට ද ? කාගේ මෙහෙයවීමට ද යන්න නැවත සොයා බැලිය යුතු කරුණකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!