රජයේ ආයන විසින් උත්සව සඳහා කරනු ලබන වියදම් නතර කිරීමට ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
එම චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ නොවැම්බර් 25 වැනි දින දී ය.
පසුගිය අප්‍රේල් 26 වැනි දා ද මෙවැනිම චක්‍රලේඛයක් නිකුත් කරමින් රාජ්‍ය ආයතන විසින් පවත්වන උත්සව, විවෘතකිරීම්, සම්මන්ත්රණ ඇතුළු ප්‍රමුඛතා නෙවන වියදම් අත්හිටුවීමට රජය නියෝග කර තිබිණි.
ජුනි මස 13 වැනි දා අමාත්‍ය මණ්ඩල තීරණය මිගන් ද පවතින සීමාකාරී මූල්‍ය අවකාශය තුළ රාජ්‍ය ආයතන විසින් තම විෂය පථයට අදාළ උත්සව සහ බාහිර උත්සව සඳහා අරමුදල් වැය නොකළ යුතු යැයි තීරණය කරනු ලැබීය.
ඉන් පසු ජනාධිපති ලේකම්වරයා විසින් පසුගිය අගෝස්තු 15 වැනි දා චක්‍රලේඛයක් මගින් ඒ අනුව දැඩිව කටයුතු කරන ලෙස නැවත සියලු රාජ්‍ය ආයතන වෙත දැනුම් දී ඇත.
නමුත්, ඇතැම් ආයතන මෙම නියමයන්ට පටහැනිව කටයුතු කරන බව වාර්තාවීම හේතුවෙන් මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය නැවත චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
ඒ අනුව සියලුම අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා, සමාගම්, ව්‍යවස්ථාපිත මණ්ඩල, රාජ්‍ය ව්‍යවසායන්, පළාත් සභා, පළාත් පාලන අයතන සහ රාජ්‍ය බැංකු විසින් සිදුකරනු ලබන විවෘත කිරීම්, රාජකාරී බාර ගැනීමට හා විශ්‍රාම ගැනීමට අදාළ උත්සව, සුහද හමුවීම්, ප්‍රිය සම්භාෂණ ඇතුළු සියලුම ආකාරයේ උත්සව පැවැත්වීම වෙනුවෙන් රජයේ හෝ ස්වකීය ආයතනවල ඉපැයීම් භාවිත කරමින් කරන වියදම් නැවැත්වීමට කටයුතු කළ යුතු බව මුදල් අමාත්‍යංශ ලේකම්වරයා නැවත අවධාරණය කර තිබේ.