spot_img
spot_imgspot_img

ජනතා මුදලින් හිටපු ජනාධිපතිවරු නඩත්තු කරන හැටි

පුවත්

විදෙස්

හිටපු ජනාධිපතිවරු නඩත්තු කිරීම සහ රැකබලා ගැනීම මහජන මුදලින් සිදුවිය යුතු ද යන්න පිළිබඳ දැන් දැඩි සංවාදයක් හට ගනිමින් තිබේ.

ඉල්ලා අස්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (02) ශ්‍රී ලංකාවට යළි පැමිණීමත් සමඟ මේ කතාබහ වඩාත් වර්ධනය වී ඇත.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 36 වැනි වගන්තියේ දැක්වෙන්නේ ජනාධිපති ධූරයට යම්කිසි  පුද්ගලයකු පත් වූ පසු පර්ලිම්න්තුවෙන් නිශ්චය කරන වැටුපක් හිමිවන බවයි. එමෙන් ම විශ්‍රාම ගිය පසු විශ්‍රාම වැටුපක් ද හිමිවන්නේ යැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කර ඇත.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පනතක් තිබේ. 1986 අංක 4 දරන ජනාධිපතිවරුන්ගේ හිමිකම් පිළිබඳ පනත අනුව විශ්‍රාමික ජනාධිපතිවරයකුට ලැබෙන වරප්‍රසාද සහ දීමනා තීරණය කර තිබේ. එහි දැක්වෙන්නේ විශ්‍රාමික ජනාධිපතිවරයකුට නිල නිවසක් හෝ ඊට සරිලන දීමනාවක් ලබාදිය යුතු බවයි. ඊට අමතරව ලේකම්වරයකු, කාර්ය මන්ඩලයක් සහ ප්‍රවාහන දීමනා, නිල රථ පිළිබඳව ද එහි සඳහන් වෙයි.

මෙම දීමනා සහ වරප්‍රසාද ලබා දීමට තීරණය කර ඇත්තේ ඔවුන්ට විශ්‍රාම ලැබීමෙන් පසු ව ද තම ගෞරවය ආරක්ෂා කරමින් කරදරයකින් තොරව ජීවත්වීම සඳහා ය.

නමුත් මෙම පනත උල්ලංඝනය කරමින් හිටපු ජනාධිපතිවරු කටයුතු කළ අවස්ථා ද වාර්තා වේ.

2021 වර්ෂයේ අයවැය වාර්තාවේ සඳහන් වූ ආකාරයට හිටපු ජනාධිපතිවරුන් සහ ජනාධිති වැන්දඹුවක් වන හේමා ප්‍රේමදාස සඳහා රජය වෙන්කර ඇති මුදල මෙසේ දැක්වෙයි.

හිටපු ජනාධිපති ‍රණසිංහ ප්‍රේමදාස‍ගේ විශ්‍රාම ප්‍රතිලාභ රුපියල් මිලියන 02ක් වූ අතර තවත් රුපියල් මිලියන 02ක් ගොඩනැගිලි  සහ ප්‍රාග්ධන වියදම් ලෙස වෙන්කර තිබිණි.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට හිමි වාර්ෂික විශ්‍රාම ප්‍රතිලාභය රුපියල් මිලියන 4.1කි. ගොඩනැගිලි සහ වාහන පිරිවැය සඳහා මිලියන 03කි.

හිටපු ජනාධිපති ‍මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සි‍රිසේන දෙදෙනාගේ ම විශ්‍රාම වැටුප් ප්‍රතිලාභය රුපියල් මිලියන 8.1 බැගින් වෙයි. එමෙන් ම ඔවුන් දෙදෙනාගේ වැටුප, ගොඩනැගිලි සහ වාහන සඳහා වන ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් මිලියන 16ක් වෙන්කර ඇත.

ජේ.ආර්.ජයවර්ධන

මහ මැතිවරණයකින් ජයග්‍රහණය කරමින් රටේ අගමැතිවරයා වූ ජේ.ආර්.ජයවර්ධන ව්‍යවස්ථාව වෙනස් කර තමන් ම මෙරට පළමු විධායක ජනාධිපතිවරයා වූයේය. එහෙත් ඔහු විශ්‍රාම ගිය පසු වරප්‍රසාද ලබාගත්තේ නැත.

ඔහු සිය ජනාධිපතිධූර කාලයේ දී ද භාවිතා කර ඇත්තේ වාහන දෙකක් පමණි. තම නිවස රජයට පරිත්‍යාග කර ජයවර්ධන කේන්ද්‍රය ආරම්භ කළ ජේ.ආර්.ජයවර්ධන වෝඩ් පෙදෙසේ පිහිටි නිවසක මියයනතුරු ජීවත් වූයේය. ඔහු ජනාධිපති මන්දිරයේ වාසය නොකළ අතර රාජකාරී කටයුතු සඳහා පමණක් එය භාවිතා කර තිබේ. වෝඩ් පෙදෙසේ පිහිටි නිවස ද මහාභාරකාරයාට පරිත්‍යාග කර තිබුණු බව පැවසේ. නිල නිවසක් නොගන්නේ නම් ඊට අදාල දීමනාව හිමිවන බැවින් එම දීමනාව ගත්තා ද යන්න පැහැදිළි නැත.

ජේ.ආර්.ජයවර්ධනට විශ්‍රාම වැටුපක් හිමිව තිබූ අතර ඔහු එය ජයවර්ධන අරමුදලට බැරකළ බවත් විශ්‍රාම යාමෙන් පසු පුද්ගලික කාර්ය මණ්ඩලයක් භාවිතා කර නැති බවත් පුද්ගලික ලේකම්වරයකු පමණක් සිටි බවත් පැවසේ.

රණසිංහ ප්‍රේමදාස

විශ්‍රාම ගිය ජනාධිපතිවරයකු මියගිය හොත් ඔහුගේ වැන්දඹු බිරිඳ ජීවත්ව සිටින තුරු සියලු වරප්‍රසාද ඇයට හිමිවෙයි.

ජේ.ආර්.ජයවර්ධනගෙන් පසු මෙරට ජනාධිපතිධූරයට පත් වූ රණසිංහ ප්‍රේමදාස 1993 මැයි 01 වැනි දා  ඝාතනයට ලක්වීමෙන් පසු ඔහුගේ වැන්දඹු බිරිඳට විශ්‍රාමික ජනාධිපතිවරයකුට හිමි සියලු වරප්‍රසාද ලැබිණි. හේමා ප්‍රේමදාසට තවමත් ඒ සියලු වරප්‍රසාද හිමිව ඇත.

ඩී.බී.විජේතුංග

ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ඝාතනයෙන් පසු ඔහුගේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පත් වූ ඩී.බී.විජේතුංගට ද සියලු වරප්‍රසාද හිමිවිය. නමුත් ඔහුට හිමි වූ පුද්ගලික කාර්ය මණ්ඩලය සහ පැජට් පාරෙන් ලැබුණු නිල නිවස ද භාවිතා කළේ නැත. එම නිවසේ පදිංචි නොවූ ඩී.බී.විජේතුංග පිළිමතලාවේ පිහිටි තම නිවසේ ජීවත් වූයේය.

විජේතුංග ජනාධිපතිවරයා අගමැතිවරයාව පැජට් පාරේ පිහිටි නිල නිවස හිටපු ජනාධිපතිවරයා විසින් ම නැවත රජයට බාරදුන් අතර එහි කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයකු ලෙස පදිංචිව සිටියේය. ඉන් පසු මෛත්‍රීපාල සිරිසේන එම නිල නිවස ලබාගත් අතර විශ්‍රාම ගැනීමෙන් පසු ද එම නිල නිවස ඔහු විසින් අධිකරණ නියෝගයක් ලැබෙන තුරුම භාවිතා කළේය.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග

2005 වර්ෂයේ විශ්‍රාම යාමට ආසන්නේය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මාදිවෙල සහ නිදහස් චතුරශ්‍රය ආසන්න‍යේ ඉඩම් නම් කර තමන්ට හිමි දීමනා ලෙස ලබා ගැනීමට කටයුතු කළෙළ් ඉහත පනත උල්ලංඝනය කරමිනි.

එයට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කළ අතර එවකට අගවිනිසුරු සරත් එන්. ද සිල්වා ඇතුළු ත්‍රිපුද්ගල වනිසුරු මඩුල්ලක් විසින් 2005 වර්ෂයේ දී ම තීන්දුවක් ලබාදෙමින් කියා සිටියේ 1986 ජනාධිපති හිමිකම් පනතේ දක්වා ඇති විශ්‍රාමික වරප්‍රසාද කරුණු ඉක්මවා ගිය බලතල හිමිකරගෙන ඇති බැවින් එම වරප්‍රසාද ලබාදුන් අමාත්‍ය මණ්ඩල තීරණය අහෝසි කරන ලෙසයි.

මහින්ද රාජපක්ෂ

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ද තමන් විශ්‍රාම යාමට පෙර තමන්ට අවශ්‍ය දෑ පිළිබඳ පූර්ව නිගමනයට එළැඹ එම වරප්‍රසාද හිමිකරගෙන තිබිණි. විශ්‍රාම යාමෙන් පසු හිටපු ජනාධිපතිවරයකුට හිමිවන වරප්‍රසාද ලබාගත් මහින්ද රාජපක්ෂ පසුව මන්ත්‍රීවරයකු බවට පත්වී එම වරප්‍රසාද සහ නැවත අගමැති වී අගමැති වරප්‍රසාද පවා ලබා ගැනීම ගැටලුවකි.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දැනට සිටින නිල නිවස අලුත්වැඩියා කිරීමට රුපියල් කෝටි 40ක මුදලක් යෙදවීමට කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි ද වාර්තා වේ.

මෛත්‍රීපාල සිරිසේන

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වූ පසු ජනාධිපති නිල නිවසට නොයන ව පවසා වෙනත් නිල නිවසක පදිංචි වූයේය. එම නිල නිවස කෝටි ගණනක් මුදල් යොදවා අලුත්වැඩියා කළ අතර ජනාධිපතිවරයකුගේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සඳහා සුදුසු ආකාරයෙන් එය සකස් කෙරිණි. ඔහු විශ්‍රාම ලැබීමට ඉතාමත් ආසන්නයේ දී කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ලෙස එවකට මුදල් ඇමති මංගල සමරවීර මගින් අමාත්‍ය මණ්ඩල යෝජනාවක් ඉදිරිපත් කරමින් එම නිවස තමන් විශ්‍රාම ගිය පසු නිල නිවස ලෙස භාවිතයට ගැනීම සඳහා අනුමත කරගත්තේය.

එපමණක් නොව පාස්කු ප්‍රහාරය එල්ල කළ පුද්ගලයන්ගෙන් සහ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන්ගෙන් තමන්ට දැඩි ජීවිත තර්ජනයක් ඇති බව පවසා විශේෂ කාර්ය බලකායේ අමතර ආරක්ෂාවක් ද ලබාගත්තේය.

නමුත් අවසානයේ හිටපු ජනාධිති මෛත්‍රීපාල සිරිසේනට නඩු තින්දුවකින් එම නිල නිවස අහිමිවිය.

ගෝඨාභය රාජපක්ෂ

ඉල්ලා අස්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට මෙම සියලු වරප්‍රසාද හිමිවන්නේ ද යන්න ගැටලුව මේ වනවිට සමාජයේ කතාබහට ලක්වෙමින් පවතී.

කෙසේ වෙතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 36 වැනි වගන්තිය සහ ජනාධිපති වරප්‍රසාද පිළිබඳ පනත අනුව ජනාධිපති ධූරයට පත්වූ විට වරප්‍රසාද හිමිවන බවට සඳහන් වුව ද විශ්‍රාම ලැබීම, මියයාම, ඉල්ලා අස්වීම, බලයෙන් පහකිරීම යන කරුණු විස්තරාත්මකව සඳහන් වන්නේ නැත. ඒ අනුව බැලූ බැල්මට පෙනෙන්නේ හිටපු ජනාධිපතිවරයා ඉල්ලා අස්වුව ද එම වරප්‍රසාද සියල්ල ඔහුට ද හිමිවන බවයි.

ඇමෙරිකාවේ ආදර්ශය

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ කිසිදු අත්දැකීමක් නැතත් ඇමෙරකාවේ එවැනි අවස්ථාවක් වාර්තා වෙයි. රිචඩ් නික්සන් ජනාධිපතිවරයා තම දෙවැනි ධූර කාලය අතරතුර ඉල්ලා අස්වූයේ ය. එසේ වුව ද ඔහුට විශ්‍රාමික ජනාධිපතිවරයකුට හිමි වන වරප්‍රසාද සියල්ල ලැබිණි.

1 COMMENT

Leave a Reply to සමන්ත Cancel reply

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!