රටේ ආර්ථිකයේ කඩාවැටීමට ප්‍රධාන හේතුවක් වන්නේ දුර්වල ආර්ථික කළමනාකරණය බව වෙරිටේ රිසර්ච් ආයතනය මෙවර අයවැය ක්‍රියාත්මක කර ඇති ආකාරය පිළිබඳ කරන ලද සමීක්ෂණයකින් හෙළි වී තිබේ.
මේ සම්බන්ධයෙන් දේශපාලනඥයන් මෙන් ම මෙවැනි රාජ්‍ය ප්‍රතිපත්ති සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය කිරිමේ නිරත වූ රාජ්‍ය නිලධාරීන් ද වගකිව යුතු බව නොරහසකි.
මෙයට එක් ප්‍රධාන හේතුවක් වන්නේ අයවැය ක්‍රියාත්මක කිරීමේ දී ඇති අඩු දෘශ්‍යතාව ලෙස ද හඳුනා ගෙන ඇත. මේ නිසාම රජයෙ අයවැය කෙරෙහි මහජන විශ්වාසය විශාල වශයෙන් බිඳ වැටී ඇත.
විනිවිද නෑ
2021 වර්ෂයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගන්නා ලද 2022 වර්ෂයට නියමිත දැනට ක්‍රියාත්මක ව ඇති අයවැය ලොව සියලු රටවල අයවැය අතරින් විනිවිදභාවය සම්බන්ධයෙන් 93 වැනි ස්ථානයේ පසුවෙයි. මේ බව තහවුරු වී ඇත්තේ විවෘත අයවැය සමීක්ෂණය (OBS) අනුවය. එමගින් ශ්‍රී ලංකාවේ අයවැයට ලැබී ඇත්තේ ලකුණු 30/100ක ප්‍රමාණයක් පමණි. 2019 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ අයවැයට 47/100 ලකුණු ප්‍රමාණයක් ලැබී තිබිණි.
අයවැය පොරොන්දු වලින් 25%ක ප්‍රගතිය සොයා බැලීමට ඒවායේ තොරතුරු ප්‍රමාණවත් නැත.
කිසිදු තොරතුරක් නැති පොරොන්දු 23%
සීමිත තොරතුරු සහිත පොරොන්දු 25%
තොරතුරු උදාසීන 14%
තොරතුරු සාධනීය ප්‍රමාණයක් ඇති 16%
තොරතුරු සහිත ව්‍යාපෘති 23%

වෙන්කළ මුදල් භාවිතා කළ හැටි රහසක්
වෙරිටේ රිසර්ච් අයවැයේ ප්‍රගතිය පිළිබඳ කරන ලද සොයා බැලීමකින් අනාවරනණ්‍ය වී ඇත්තේ විවිධ ව්‍යාපෘතීන් සඳහා වෙන්කරන ලද රුපියල් බිලියන 81.5ක මුදලක් ක්‍රියාත්මක කළ ආකාරය පිළිබඳ කිසිදු තොරතුරක් සොයාගත නොහැකි බවයි.
මෙහි දී ගිනුම් ගත නොකළ අරමුදල් විශාල ප්‍රමාණයක්, ආරක්ෂක අමාත්‍යාංශය (ජාතික ආරක්ෂාව), මහා මාර්ග අමාත්‍යාංශය (කිලෝ මීටර 100,000ක් සංවර්ධනය සහ ගාමීය පාලම් සංවර්ධනය) සහ තාක්ෂණ අමාත්‍යාංශය සම්න්ධ ව්‍යාපෘතිවලට වෙන්කළ මුදල් මෙලෙස භාවිතා කළ ආකාරය පිළිබඳ කිසිදු සඳහනක් නැත.
ආරක්ෂක අමාත්‍යාංශය සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 20,000ක් හෙවත් බිලියන 20කි, මාර්ග සංවර්ධනය සඳහා රුපියල් බිලියන 20ක් හෙවත් මිලියන 20,0000ක් වෙන් කර ඇති අතර තාක්ෂණික වැඩිදියුණු කිරීම් සඳහා යැයි පවසමින් තාක්ෂණ අමාත්‍යාංශයට වෙන් කළ මුදල රුපියල් මිලියන 8,000ක් හෙවත් බිලියන 08කි. මේ අනුව හෙළි නොවන පොරොන්දුවලට වෙන් කර ඇති මුදල්වලින් 58%ක් හෙවත් රුපියල් බිලියන 48ක් ම වෙන් කර ඇත්තේ මෙම අමාත්‍යාංශ තුනට වීම විශේෂත්වයකි.

අයවැය පොරොන්දු ඉටුකිරීම 6%කි
2021 වර්ෂයේ දී පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගන්නා ලද 2022 අයවැය පොරොන්දු අතරින් ඉටු කළ හා ඉටු නො කළ පොරොන්දු වර්ගීකරණය කළ විට ඉටු කරන ලද පොරොන්දු ලෙස වර්ගීකරණය කළ හැකිවී ඇත්තේ පොරොන්දු 6%ක් පමණි. 2022 වර්ෂයට නියමිත අයවැය ක්‍රියාත්මක කිරීමේ දී ඉටු කර ඇති පොරොන්දු ප්‍රමාණය 6% කි. කිසිදු වාර්තාවක් නොමැති අවම වශයෙන් ඉටු කළා ද යන්න පිළිබඳ දත්ත නොමැති ව්‍යාපෘති ප්‍රමාණය 48%%ක් වන අතර ඉටු කිරීම කඩ කර ඇති පොරොන්දු ප්‍රමාණය ද 6%ක් වෙයි. මේ අතර ඉටු කිරීම ඉතාමත් දුර්වල තත්වයක පවතින පොරොන්දු සංඛ්‍යාව 16%ක් වන අතර තරමක් සතුටුදායක මට්ටමින් ඉටු කර ඇති පොරොන්දු ප්‍රමාණය 13%ක් වෙයි. සතුටුදායක ලෙස ඉටු කළා යැයි පැවසිය හැකි ව්‍යාපෘති ප්‍රමාණය 10%කි.
සෞඛ්‍ය සේවා, ජල සැපයුම් සහ ළමා අධ්‍යාපනය සඳහා වෙන් වූ ප්‍රතිපාදන ආශ්‍රිත ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති පවා නො සලකා හැර තිබෙන බව මෙම සමීක්ෂණයේ දී අනාවරණය වී ඇත.

වෙරිටේ රිසර්ච්, එමගින් සිදු කළ පර්යේෂණ මත පදනම් වෙමින් වත්මන් රජයට මෙන්ම අනාගත රජයන්ට, ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය වැඩි දියුණු කරගැනීම සහ අහිමි වූ විශ්වාසය ගොඩ නගා ගැනීම සඳහා පහත නිර්දේශයන් ඉදිරිපත් කර සිටී,
- යථාර්ථවාදී පොරොන්දු/ ප්‍රතිපත්ති ලබා දීම
ඇගයීම සහ තේරීම් නිර්ණායක පිළිබඳ උපකාරක ලේඛන මගින් සවිමත් වූ මනාව සකස් කළ ප්‍රතිපත්ති සැකසීම.
- මහජනතාවගේ බදු මුදල් උපයෝජනය කරනු ලබන ආකාරය සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කිරිම සඳහා ක්‍රමවේදයක් සහතික කිරීම
කාලීන, පරිශීලක හිතෛෂී සහ ස්ථායී ආකාරයට අමාත්‍යාංශ වෙබ් අඩවි හරහා තොරතුරු ලබා දීම.
- අනවශ්‍ය නිල තන්ත්‍ර සීමා කිරීම
අමාත්‍යාංශ විෂය පථයෙන් ඛණ්ඩනය කිරීම සීමා කිරීම සහ අරමුදල් බෙදාහැරීමේ දී වග වීම සහතික කිරීම.
- ශක්තිමත් සංචරණ හා සංතුලන ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම්
දැනටමත් ක්‍රියාත්මක වන අධීක්‍ෂණය සඳහා වන විධිමත් යන්ත්‍රණයට තම කටයුතු බාධාවකින් තොරව සිදු කරගෙන යාමට ඉඩ සැලසීම. මෙයට පාර්ලිමේන්තු කමිටු සහ ජාතික විගණන කාර්යාලය ඇතුළත් වේ.