වාලච්චේන ප්‍රදේශයේ ගසක ගැටගසා සිටි ගුවන් හමුදා කෝප්‍රල්වරයා එසේ කරගෙන ඇත්තේ තමන් විසින්ම යැයි අනාවරණය වූ බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
ඔහු මේ සම්බන්ධයෙන් වාලච්චේන පොලිසියට පාපොච්ඡාරණක් කර ඇතැයි ද පොලිස් විමර්ශන අවසන් වූ පසු ගුවන් හමුදාව විසින් අභ්‍යන්තර පරීක්සණයක් පවත්වා ඔහුට නිසි විනය ක්‍රියාමාර්ග ගන්නා බව ද එම නිවේදනයේ දැක්වේ.
අන්තර්ජලායේ සූදු ක්‍රීඩාවට ඔහු දැඩිව ඇබ්බැහි වී සිටි බැවින් තම සහෝදර සෙබළුන්ට අධිකව ණය වී ඇති බවත් ඒ හේතුවෙන් මෙවැනි දෙයකට පෙළඹී ඇති බවත් ගුවන් හමුදාව කියයි.
ඔහු මඩකලපුව ගුවන් හමුදා කඳවුරට අනුයුක්තව සේවය කර ඇත. එහි දී ණය බර දරාගත නොහැකිව සිය දිවි නසා ගැනීමට තීරණය කර සිටි බවත් නමුත් එසේ කළහොත් සිය බිරිඳට ලැබෙන වරප්‍රසාද අහිමිවන බැවින් දිවි නසා නොගෙන වෙනත් ආකාරයකින් ගැටලුවලින් මිදීමට තීරණය කර මෙවැන්නක් කරගත් බවත් ඔහු පාපොච්ඡාරණය කර ඇතැයි ගුවන් හමුදාව සඳහන් කරයි.
ඔහු කිසියම් අයකුගේ උදව්වෙන් මෙය සිදුකර ඇති බවත්, වාලච්චේන රිදීතැන්න ප්‍රදේශයේ ගසක ගැටගසා එම ස්ථානයේ දෙමළ භාෂාවෙන් ලියූ පුවරුවක් ද සවිකර තිබූ බවත් කියයි. එම පුවරුවේ සඳහන්ව තිබුණේ “කෲර දේශපාලකයන්ට උදව්කරන ගැත්තන් මේ විදියට තමයි මරණයට පත්කරන්නේ” යනුවෙන් වූ වැකියකි.
පසුව ඔහු රෝහල්ගත කළ අතර ඔහුගේ ඡායාරූපය අන්තර්ජාලය ඔස්සේ සෑම තැනම ප්‍රචාරය විය.
කෙසේ වෙතත් ඔහු මුලින් කියා සිටියේ තමන් නිවාඩු ගොස් ආපසු පැමිණෙමින් සිටිය දී වෑන් රථයකින් පැහැරගෙන ගොස් අත් පා ගැට ගසා ගසක බැඳ පහර දී මරා දමන්නට උත්සාහ ගත් බවයි.
ඔහු ලබාදුන් කරුණු අනුව සොයා බැලීමෙම් දී එම කරුණු සත්‍ය නොවන බව පැහැදිළි වී ප්‍රශ්න කිරීමේ දී ඔහු එය තමන් විසින්ම සැළසුම් කර සිදුකරවාගත් දෙයක් බවට පාපොච්ඡාරණය කර ඇතැයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.
