ගාල්ල අධිවේගී පිවිසුම් මාර්ගයේ පිහිටා ඇති ආරාධනා ඉන්ධන පිරවුම්හළේ අද (01) සවස කලබලකාරී තත්වයක් ඇතිවිය.
ඒ පොලිස් නිලධාරී, නිලධාරිනියන් රැසක් හදිසියේ ම එම ස්ථානයට පැමිණ වෙන ම පෝළිමකින් ඉන්ධන ලබාගැනීමට උත්සාහ කිරීමත් සමගිනි.
නාවික හමුදාවේ මැදිහත්වීමෙන් අද දහවල් ඉන්ධන ලබාදීම ආරම්භ කෙරුණු අතර එහි දී වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය සේවකයන්ට ප්‍රමුඛත්වය හිමිවිය. සෞඛ්‍ය සේවයේ රථ 10කට ඉන්ධන ලබාදීමෙන් අනතුරුව මීට පෙර ටෝකන් දී තිබූ එක් රථයකට වශයෙන් ආරාධනා ඉන්ධන පිරවුම්හළෙන් ඉන්ධනනිකුත් කළ අතර ටෝකන් නොමැති සාමාන්‍ය ජනතාව ද විශාල පිරිසක් පිරවුම්හළේ පෝළිමේ රැඳී සිටියහ.
මේ අතර 4.45ට පමණ පොලිස් ජිප් රථ දෙකක්, කාරයක්, ට්‍රැෆික් යතුරුපැදි 06ක් සහ පොලිස් නිලධාරී නිලධාරිනියන් භාවිතා කරන පුද්ගලික යුතුරුපැදි රැසක් එම ස්ථානයට පැමිණ නාවික හමුදා නිලධාරින්ට කියා සිටියේ තමන්ට ඉන්ධන අවශ්‍ය බවයි.
නමුත් නාවික හමුදාව එය ලබා දීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ පෝළිමේ සිටි ජනතාව ද පොලිසියට ඉන්ධන නිකුත් කිරිමට දැඩි විරෝධයක් දැක්වූහ. පොලිසිය දිගින් දිගටම කියා සිටියේ තම රාජකාරී පවත්වාගෙන යාම සඳහා ඉන්ධන ලබාගත යුතු බවයි.
කෙසේ වෙතත් මේ වනවිට ආරාධනා ඉන්ධන පිරවුම්හළේ ඉන්ධන ලබා දීම තාවකාලිකව නවතා ඇති අතර විශාල පිරිසක් එම ස්ථානයේ ඉන්ධන අපේක්ෂාවෙන් රැඳී සිටියි.
“අපි රාජකාරියට එන්න ඕනේ. නමුත් අපිට තෙල් ගන්න කිසිම ක්‍රමවේදයක් නෑ, පොලිසිය පෝළිමකට ගියපු ගමන් හැමෝම කෑ ගහනවා අපි හොර පාරේ තෙල් ගන්නවා කියලා. සෞඛ්‍ය සේවය විතරක් නෙවෙයි පොලිසියත් අත්‍යාවශ්‍ය සේවයක්.” පොලිස් නිලධාරීන් පවසයි.
පොලිසියට නැගෙන චෝදනාවක් වන්නේ ඔවුන් තම පුද්ගලික රථවලට ඉන්ධන ලබාගන්නා බවයි. මේ සම්බන්ධයෙන් අප කළ විමසුමක දී ගාල්ලේ උසස් පොලිස් නිලධාරියකු මෙසේ කීවේය.
“අපේ රටේ පොලිස් නිලධාරීන්ගෙන් නිල රථ දෙන්නේ ස්ථානාධිපතිට වඩා ඉහළ නිලධාරීන්ට. ඇත්තටම ස්ථානාධිපතිවරුන්ටත් නිල රථයක් නෑ. එක පොලිසියට නිල වශයෙන් දීල තියෙන්නේ එක යතුරුපැදියක් විතරයි. ඒවායේ පොලිස් කියලා ගහල තියෙනවා. අනිත් ඒවා ට්‍රැෆික් බයික්. පොලිසියේ සියලුම නිලධාරීන් රාජකාරියට එන්නේ තමන්ගේ පුද්ගලික යතුරුපැදි සහ ත්‍රී රෝද රථ වලින්. සෞඛ්‍ය සේවයේ අයට වගේම අපිටත් ඉන්ධන අවශ්‍යයි. නමුත් ඉන්ධන ගන්න ගියාම කෑ ගහනවා. කලබල කරනවා. පොලිසියට නිවාඩු දෙන්න බැහැ. පොලිසිය රාජකාරී නොකළොත් මේ රටේ සිදුවන දේ හිතාගන්න බැරි වේවි. පොලිස් නිලධාරියෙක් පැය 12ක් විතර රාජකාරී කරලා පැය ගණන් පෝළිමේ ඉන්න බැහැ. අපිටත් තෙල් ගන්න වැඩපිළිවෙලක් ඕනෑ”