ජපානය ශ්‍රී ලංකාවට උදව් නොකරන්නේ යැයි දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් සමඟ පැවති සාකච්ඡාවක දී කියා ඇතැයි යන පුවත ශ්‍රී ලංකාවේ සිටින ජපාන නියෝජ්‍ය මහ කොමසාරිස් කට්සුකි විසින් තරයේ ප්‍රතික්ෂේප කර ඇත.
අද (01) පුවත්පත්, වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූයේ ජපාන තානාපතිවරයා දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් පිරිසක් හමුවූ අවස්ථාවේ දී ශ්‍රී ලංකාවට මේ මොහොතේ උදව් නොකරන බව කියා ඇතැයි යනුවෙනි. ශ්‍රී ලංකාවට ලැබෙන විදේශ ආධාර නිසි පරිදි ප්‍රයෝජනයට නොගන්නා බැවින් එවැනි තීරණයකට ජපානය එළැඹ ඇතැයි ද, නමුත් ඉදිරියේ දී අවශ්‍ය උපකාර කිරීම සළකා බලන බව ජපාන තානාපතිවරයා කියා ඇතැයි ද එම පුවත් මගින් වාර්තා කෙරිණි.
මේ පිළිබඳ අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක විසින් ජපාන තානාපති කාර්යාලයෙන් කරන ලද විමසීමකට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකාවේ ජපාන නියෝජ්‍ය මහකොමසාරිස් කට්සුකි එම මාධ්‍ය වාර්තාවලට පදනමක් නැතැයි ද සඳහන් කර ඇත.
එමෙන් ම තානාපතිවරයා හෝ ජපාන රජය කිසිම අවස්ථාවක එවැනි ප්‍රකාශයක් නොකරන බවත් මේ සම්බන්ධයෙන් වැඩිපුර තොරතුරු අවශ්‍යනම් තවදුරටත් විමසන ලෙස ද ඊමේල් පණිවිඩයක් මගින් අග්‍රාමාත්‍ය ලේකම්වරයාට දැනුම් දී තිබේ.