අරගලයේ නිරත තරුණයන්ගේ ප්‍රධාන ඉල්ලීමක් වූ මෙරට පාලන ක්‍රමය වෙනස් කරන්න යන්න සැළකිල්ලට ගනිමින් අරගලකරුවන්ටත් රට පාලනයට දායක විය හැකි නව පාලනයක් ගෙන එන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (29) විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේය.
21 වැනි සංශෝධනයෙන් පාර්ලිමේන්තුවේ බලය වැඩි කරන බවත්, දෙවනුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවත් රනිල් වික්‍රමසිංහ එහි දී කිවේය. 1931 සිට 1947 දක්වා මෙරට ජාතික මන්ත්‍රණ සභාවේ පැවැති කාරක සභා ක්‍රමය උදාහරණනයට ගනිමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙරට තරුණයන්ට, විද්වතුන්ට සහ දේශපාලනය ගැන උනන්දුවක් දක්වන අයට සෘජුව රාජ්‍ය පාලනයට එක්විය හැකි ක්‍රමවේදයක් සකස්කරන බවයි.
එම කතාව සම්පූර්ණයෙන් ම පහතින්
අද රටේ ප්‍රධාන ප්‍රශ්න ආර්ථික ක්ෂේත්‍රය පමණක් සීමා වෙලා නෑ. දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රධාන ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් යළි 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරවීම. ඒ ගැන අපි දැන් පක්ෂ නායකයන් හැටියට 21 වැනි සංශෝධනය සකස් කරගන යනවා.
දෙවැනුව තිබෙන ප්‍රශ්නය තමයි ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ක්‍රියාකිරීම. ඒකට ක්‍රමවේදයක් ක්‍රිියාත්මක කිරීමට පක්ෂ නායකයන්ට සාකච්ඡා කරලා තීරණය කරන්න පුළුවන්.
20 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පාර්ලිමේන්තුව දුර්වල කළ නිසාත් වැඩි බලය විධායකය ගත්තු නිසාත් පාර්ලිමේන්තු ක්‍රියාදාමය අඩපණ වෙලා තියෙනවා. අද තියෙන චෝදනාවක් තමයි, මේ අර්බුදය නවත්වන්න පාර්ලිමේන්තුව ක්‍රියා නොකිරීම. 21 වැනි සංශෝධනයෙන් පාර්ලිමේන්තුවේ බලය වැඩි වෙනවා. ඒකෙන් පමණක් සෑහීමකට පත්වෙන්න බැහැ. දැන් තියෙන වෙස්ට් මිනිස්ටර් කැබිනට් ක්‍රමය නිසා සියල්ල පාර්ලිමේන්තුව කැබිනට් මණ්ඩලය පාලනය කළත් පාර්ලිමේන්තුවට බහුතර බලයක් තිබුණු නිසා පාර්ලිමේන්තුවේ වැඩකටයුතු අතපසු කරා කියලත් චෝදනා තියෙනවා.
අතීතයේ සිදු වූ දේවල් හැමතිස්සේම විභාග කරන්න වුවමනා නෑ.
නමුත් මේ රටේ ආණ්ඩු පාලනයට පාර්ලිමේන්තුවත් එකතු කරන්න ඕනෑ. ඒ වගේ ම විනිවිද භාවයක් තියෙන්න ඕනෑ. සියලු පක්ෂවල මන්ත්‍රීවරු කොමිටුවලට පත්වෙලා ඒ අනුව ක්‍රියාත්මක වෙන්න ඕනෑ ක්‍රමයක් ඇපි ඇතිකළ යුතුයි.
1931 සිට 1947 දක්වා රාජ්‍ය මන්ත්‍රණ සභාවක් තිබුණා. කාරක සභා 07ක් තිබුණා. ඒ කාලේ ඒ කාරක සභා 07 සභාපතිවරු තමයි ඇමතිවරු කියා හැඳින්වුණෙන්. ආණ්ඩුකාර තුමා පත්කළ නිලධාරීන් තුන්දෙනෙක් එක්ක ඇමතිමණ්ඩලලයක් නිර්මාණය වුණා. මේ කාරක සභාවෙන් තමයි අයවැය හැදුවේ, මුදල් පාලනයට ගිනුම් කාරකසභාවක් තිබුණා. මේ සියලුම හොඳ දේවල් අරගෙන අපි දැන් අලුත් ක්‍රමයක් ඇති කරන්න වුවමනාවක් තියෙනවා. මේ වෙලාවේ පාර්ලමේන්තුවට රටේ පාලනයට සම්බන්ධ වෙන්න පුළුවන්. තරුණයන්ට පාලනයට දායක වෙන්න පුළුවන් ක්‍රමයක් ඇතිවිය යුතුයි.
මුදල් බලය පාර්ලිමේන්තුවට දෙන්න නම් දැන්තියෙන නිති ශක්තිමත් කරන්න ඕනෑ. අලුත් මුදල් නීති මාලාවක් සම්මත කරගන්න අවශ්‍යයි. එක්සත් රාජධානිය, නවසීලන්තය, ඉන්දියාව වගේ රටවල් මේ සඳහා ආදර්ශයට ගත යුතුයි. රජයේ මූල්‍ය කටයුතුවලට මූල්‍ය කාරක සභාව, ගිනුම් කාරක සභාව, රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ කාරක සභාව කියන තුනේ බලතල තවත් ශක්තිමත් කරන්න දිනේෂ් ගුණවර්ධන සභානායකතුමා යෝජනා කිහිපයක් ම ගෙනවිත් තියෙනවා. මිට අමතරව මුදල් පිළිබඳ අලුත් කාරක සභා දෙකක් ඇතිකරන්න ඕනෑ.
දැන් රටේ ආදායම් අඩුවෙලා. ඉදිරි දශකයේ දී දළ දේශීය නිෂ්පාදනය 20%ක් විතර වැඩි කරන්න ඕනෑ. ආදායම් වැඩි කරන්න ඕනෑ. ඒ සඳහා ක්‍රම සහ විධි කාරක සභාවක් පත්කළ යුතුයි. රජයේ ආදායම් වැඩි කිරීම් ක්‍රියාමාර්ග වැඩි කිරීම එමගින් කරන්න ඕනෑ.
ඒ වගේ ම බැංකු සහ මූල්‍ය ආයතනවල මූල්‍ය තත්වය ඉතාමත් දුර්වල වෙලා ඒවා ගැන වාර්තා කරන්නත් වෙනත් කමිටුවක් අවශ්‍යයි. බැංකු සහ මූල්‍ය සේවා ගැන කාරක සභාවක් පත්කළ යුතුයි.
ස්ථාවර නියෝග 111 යටතේ අධීක්ෂණ කමිටු පත්කරන්න පුළුවන් වුනත් එවැනි කමිටු පත්කරලා තිබුණේ නැහැ. ඒ නිසා අධීක්ෂණ කමිටු 10ක් පත්කරනවා. ප්‍රතිපපත්ති ගැන පාර්ලිමේන්තුවට දැනුම්වත් කිරීම ඒවාට කරන්න පුළුවන්.
කාරක සභාවලත් අධීක්ෂණ කාරක සභාවටත් පසුපෙළ මන්ත්‍රීවරු සභාපතිලා හැටියට පත්කරනවා. ඇමතිවරු නෙවෙයි. ඇමතිවරුන්ගෙන් ස්වාධීනව වැඩ කරන්න පුළුවන් පිරිසක් එයට පත්කළ යුතුයි.
අපි තවත් විශේෂ කාරණයක් ගැන හිතන්න ඕනෑ.
තරුණයන් කියන්නේ දැන් ක්‍රමය මාරු කරන්න කියලා. ඒ නිසා අපි කාරක සභා 15ට ම තරුණ නියෝජිතයන් පත්කරනවා. ඒ අය ගන්නේ තරුණ සංවිධානවලින් සහ තරුණ පාර්ලිමේන්තුවෙන්. විශේෂඥයන්ට සහ අනිත් පුද්ගලයන්ට මේ කටයුතුවලට සහභාගී වෙන්න පුළුවන්. තරුණයන්ට පුළුවන් තමන්ගේ විසඳුම් ඉදිරිපත් කරන්න. තරුණ නායන්වත් මේවාට ඉදිරිපත් කරන්න පුළුවන්.
ඒ වගේ ම අපි ජාතික සභාවක් යෝජනා කරනවා. කතානායක, අගමැතිතුමා, විපක්ෂ නායකතුමා ඇතුළු ප්‍රධාන දේශපාලන පක්ෂ නායකයන්ගෙන් යුතු ජාතික සභාවක්. ජාතික සභාව වැදගත් වෙන්නේ රටේ ප්‍රතිපත්ති ගැන කතාකරන්න කැබිනට් තිරණ ගැන කතා කරන්න. පාර්ලිමේන්තුවේ ප්‍රතිසංවිධාන ගැන කතා කරන දේශපාල මණ්ඩලයක් ඒ. මේ මණ්ඩලයට අයිතිය තිබෙනවා කැබිනට් මණ්ඩලයත්, කාරක සභා සභාපතිවරු සහ ඒවායේ නියෝජිතයන් කැඳවා විමසීම් කරන්න. සොයාබලන්න.
මේ අලුත් ක්‍රමයට ජනාධිපති පාර්ලිමේන්තුවට වගකියන්න ඕනෑ. ඇමතිවරු, කාරක සභා සභාපතිවරු ජාතික සභාවට, පාර්ලිමේන්තුවට වග කියන්න ඕනෑ.
කාරක සභා අධීක්ෂණ කාරක සභා 15ක් පාර්ලිමේන්තුවට වගකියන්න ඕනෑ. සම්පූර්ණ බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට, ඇමතිමණ්ඩලය තුළින් ආණ්ඩුව පාලනය කරන එකත් ජනාධිපතිගේ වැඩ පරික්ෂාකරන එකත් ජාතික සභාව තුළින් සිදුවිය යුතුයි. දේශපාලන ගැන බලතලත් අනික් කාරක සභා විසින් අධීක්ෂණය කරන්න පුළුවන්. මේ කාරණය සම්බන්ධයෙන් සැකසූ කෙටුම්පත් තිබෙනවා. මේ වගේ යෝජනා තවත් අය ඉදිරිපපත් කරලා තිබෙනවා. අපි මේ ගැන එකඝතාවයකට පැමිණිය යුතුයි.