ගාල්ලේ මාළු ඉවරයි. ගත්තේ කුණු කොල්ලෙට ද ?

0
207

ගාල්ල ධීවර වරායේ බෝට්ටුවලින් ගෙනවිත් තිබූ මාළු අස්වැන්න සියල්ල පෙරේදා (27) වනවිට විකුණා අවසන්කර ඇතැයි ද මේ වනවිට ගාල්ල වරායේ ඉදිරිව ඇත්තේ මුහුදු ගොස් යළි පැමිණෙන බෝට්ටුවල මත්ස්‍ය අස්වැන්න පමණක් බව ද වරාය කළමනාකරු නෙරංජන් දිසානායක මහතා පවසයි.

ඒ මහතාගෙන් අප කළ විමසීමක දී කියා සිටියේ සාමාන්‍ය පරිදි විකුණාගත නොහැකිව තිබූ මත්ස්‍ය අස්වැන්නෙන් ටොන් 10ක් කිලෝ ග්‍රෑම් 10,000ක් ධීවර සංස්ථාවෙන් මිල දී ගත් බවයි. එමෙන් ම ගාල්ල ධීවර වරාය පරිශ්‍රයේ පිහිටුවා ඇති සැමන් කර්මාන්තශාලාවෙන් මාළු කිලෝ ග්‍රෑම් 68,750ක් මිල දී ගත් බව ද හෙතෙම පැවසීය.

දිසානායක මහතා වැඩිදුරටත් මෙසේ ද කීවේය.

“ මේ වනවිට ධීවර වරායේ මාළු අස්වැන්න ඉතිරිව නැහැ. කිලෝ 344,750ක් අද උදෑසන වනවිට විකිණී අවසන් වුණා. ඊයේ (28) දිනයේ ගාල්ල වරායට පැමිණි ධීවර යාත්‍රාවලින් රැගෙන ආ මත්ස්‍ය අස්වැන්න මේ වනවිට ඇතැම් ගැනුම් කරුවන් විසින් මිලදී ගනිමින් තිබෙනවා. දැන් ගැටලුවක් නැහැ. කොරෝනා පැතිරයනු ඇතැයි හටගත් බිය නිසා ධීවර වරාය පරිශ්‍රයේ සල්ලර මාළු වෙළෙඳාම නැවතී තිබෙනවා. තොග වෙළෙඳාම විතරයි සිදුවන්නේ.”

මේ පිළිබඳ අදහස් දැක්වූ බහුදින යාත්‍රා හිමිකරුවකු වන ගාල්ල නාගරික මන්ත්‍රී ජිලිත් නිශාන්ත මහතා මෙසේ කීවේය.

“ අපේ බෝට්ටුවල තිබුණු මාළු විකුණාගැනීමේ ප්‍රශ්නයක් තිබුණා. මේ මාළු බෝට්ටුවලම කුණු වෙන නිසා අන්තිමේ දී අපි තීරණය කළා මුහුදට ගිහින් නැවත හළලා එන්න. පස්සේ මුදලාලි ලා ඇවිත් බෝට්ටුවේ ම තියෙන මාළු රුපියල් 60,000කට ඉල්ලුවා. රුපියල් ලක්ෂ 12ක් විතර වටින මාළු මේ ගානට ඉල්ලන්නේ. එහෙම හරි නොදුන්නෙත් රුපියල් 60,000ත් නැති වෙන නිසා ඒ් ගානට දීල දැම්මා. අපේ ධීවරයන් හැමෝටම සිදු වුණේ ඒ වගේ දේවල්.”

වරාය කළමණාකරු පවසන්නේ පෙරේදා (27) රාත්‍රී බහුදින ධීවර යාත්‍රා හයක් යළි ධීවර කර්මාන්තය සඳහා ගාල්ල ධීවර වරායෙන් පිටත්ව ගිය බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here