ලෝකයේ ආහාර නැතිවෙන රටවල් ලෙස ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය ජාත්‍යන්තර වශයෙන් නම් කර ඇතැයි ද දැනටමත් කොළඹ නගරයේ ආහාර නොමැති තත්වයක් ඇතිවෙමින් පවතින්නේ යැයි ද අගමැති රනිල් වික්‍රමසිංහ අද (19) පාර්ලිමේන්තුවේ දී හෙළිදරව් කළේය.
අගමැතිවරයා වැඩි දුරටත් කියා සිටියේ දැනටමත් මේ නිසා විශාල අසහනයක් ඇතිවෙමින් පවතින බවයි.
“මේ වනවිට දෛනික ආහාර සොයා ගැනීමටත් ජනතාවට මුදල් නොමැති තත්වයට පත්වෙලා. මේක අපේ රටේ විතරක් නෙවෙයි ලෝකයේ රටවල් කිහිපයක ම ඇති වී තිබෙන ගැටලුවක්. අනෙක් රටවල් රැසක් මේකට සූදානම් වෙනවා. ඇමෙරිකාව පවා මේ ගැන අවධානය යොමුකරලා තියෙනවා. ජාත්‍යන්තර වශයෙන් දැනුම් දී තිබෙනවා අපේ ශ්‍රී ලංකාවටත්, ඇෆ්ගනිස්ථානයටත් ආහාර නැතිවේවි කියලා. මේ ප්‍රශ්නයට අපි මුහුණ දිය යුතුයි. අපිට කරන්න වෙන්නේ ආහාර සඳහා සහනාධාර දීමට. ඒ සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කළ යුතුයි. දිස්ත්‍රික් මට්ටමින් මෙය කළ යුතුයි. සෑම ඉමක්ම වගා කරන්න ඕනෑ. ඒ ගැන අපි ලබන සතියේ ම විශේෂ සාකච්ඡාවක් කරනවා. අපි මේ සඳහා අලුතෙන් අයවැයක් ගෙනවිත් මේ සහනාධාර වැඩපිළිවෙල සකසන්න වෙනවා. ජීවත් වීම ඉතාමත් අමාරුයි. දැන් ආහාර සොයන්න මාසයකට 40,000ක් විතරය යනවා. මේවාට විසඳුම් සොයන්න ඕනෑ” යැයි අගමැතිවරයා වැඩිදුරටත් කීවේය.
ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා අදහස් දක්වමින් කියා සිටියේ තමන් තරම් මේ අගමැතිවරයා විවේචනය කළ වෙනත් අයකු නැති බවයි. දැන් මේ ආහාර ගැටලුව විසඳා ගැනීම සඳහා සියලු දෙනා ම අත්වැල් බැඳ ගතයුතුයැයි ද හෙතෙම කීවේය.
කොළඹ තට්ටු නිවාස සංකීර්ණවල සිටින ජනතාවට දැනටමත් ආහාර බෙදා දීමට සිදුවන තත්වයට අර්බුදය වැඩි වී ඇතැයි ද හෙතෙම කීවේය.
අතුරළියේ රතන හිමි කියා සිටියේ ඉදිරි දිනවල දී පාන් ගෙඩියටත් මිනී මරාගන්නා තත්වයට මේ රට පත්විය හැකි බවයි.