කරාපිටිය රෝහල කොරෝනාවලට අත වනනවා ද ?

0
314

හැම කෙනෙක් ම කතා කරන එකම ටෙලිෆෝනය, පැමිණෙන සැක සහිත සියලු දෙනා අසුන් ගන්නා පුටු දෙක, රෝහල් කාර්ය මණ්ඩලය රෝගීන් ගැවසෙන තැන දී ම ආහාර ගැනීම, පීසීආර් පරීක්ෂණවලට යොමුකරන අය පරීක්ෂණයට නොසිට පලා යාම, කරාපිපටිය රෝහල කොරෝනාවලට අතවැනීමක් විය නොහැකි ද ?

(ඔබ මෙම සටහන උපුටා දක්වන්නේ නම්, ඒ සෑම අවස්ථාවක දීම වෙබ් අඩවියේ මෙම ලිපියේ සබැඳිය හෙවත් link සහිතව උපුටා දක්වන මෙන් කාරුණිකව ඉල්ලමි) 

ස්ථානය කරාපිටිය ශික්ෂණ රෝහල

දිනය – 2020 ඔක්තෝබර් 22

අපි ඔහුට වසන්ත යැයි කියමු. වසන්තට ටික දිනක ඉඳලා කැස්ස, උගුරේ වේදනාව, තද මහන්සිය හා වරින් වර මද උණ ගතියක් තිබුණා. සෞඛ්‍ය අංශවලින් නිතර නිතර මේ වගේ රෝග ලක්ෂණ තිබේනම් ළඟම ඇති රෝහලට යන්න කියන නිසා ඔහු තීරණය කළා කරාපිටිය ශික්ෂණ රෝහලට යන්න.

කරාපිටිය රෝහලේ ඉස්සරහම 27 කාමරය තියෙනවා. ඒක තනි කාමරයක් කියල කියන්න බැහැ. කාමර සංකීර්ණයක් වගේ. වසන්ත මෙතැනට ගියා. එතැනින් තමයි උණ ලෙඩ්ඩු පරීක්ෂා කරලා පීසීආර් පරීක්ෂණවලට යවන්නේ. වසන්තත් පෝලිමට එකතු වුණා. වසන්තට ඉස්සරහින් කිහිප දෙනෙක් හිටියා. ඒ අය ගිහින් දොර වහල තියෙන කාමරයක් ඉස්සරහා පුටුවකින් වාඩි වෙලා තවත් පුටුවක් උඩින් තියෙන ටෙලිෆෝන් එකකින් වෛද්‍යවරයාට විස්තරය කියනවා. සමහරුන්ට කැස්ස, කිවිසුම් යාම වගේ ලෙඩත් තියෙනවා. කෙනෙක් එතැනට ගියාම වාඩිවෙන්න පුටු දෙකක් තියල තියෙනවා. එක්කෙනෙක් වාඩිවෙලා නැගිට්ටම ඒ පුටුව අයින් කරලා අනිත් පුටුව තියනවා. ඒ පුටුවේ කෙනෙක් වාඩිවෙලා නැගිට්ම ඉස්සෙල්ලා පුද්ගලයා හිටපු පුටුව නැවත තියනවා. මේ අතරතුර පුටුව පිරිසිදු කරන්නේ නැහැ කියලා තමයි වසන්ත කිව්වේ.

ඒ විතරක් නෙවෙයි වසන්ත කියනවා අර දුරකථනයේ රිසීවරය පිරිසිදු කළෙත් නැහැ කියලා.

මේ කතාව ඇත්තක් ද කියලා බලන්න මම අද කරාපිටිය රෝහලට ගියා. වසන්ත කියපු පුටු කතාවනම් ඇත්තම ඇත්ත. පුටු දෙකක් තියාගෙන පැමිණෙන කෙනෙකුට මාරුවෙන් මාරුටව පුටුව දුන්නට පුටුව පිරිසිදු කළේ නම් නැහැ. ටෙලිෆෝනයේ රිසීවරයනම් පොඩ්ඩක් පිරිසිදු කළා. ටෙලිෆෝනය පිරිසිදු කරනවා මම දැක්කා කියල මම වසන්තට කිව්වම එයා නැවත මෙහෙම කිව්වා.

“ඒ අද වෙන්න ඇති. මම ගියපු වෙලාවේ පෝලිමේ හය දෙනෙක් හිටියා. කිසිම වෙලාවක පිරිසිදු කළේ නෑ. මම මගේ අතේ තිබුණු විෂබීජ නාශක දියරයක් දාලා පිරිසිදු කරගත්තා. මට ලෙඩ හදාගන්න බැර නිසා.”

වසන්ත වෛද්‍යවරයාට ටෙලිෆෝනයෙන් විස්තර කිව්වම වෛද්‍යවරයා කිව්වා පරීක්ෂණයකට ඔයාව යොමු කරනවා කියලා. බෙහෙතුත් දෙන්නම් කියලා. ඉතින් පරීක්ෂණය කරන කාමරය තියෙන්නේ ඒ ස්ථානය අසළමයි. මේ පරීක්ෂණය පීසීආර් පරීක්ෂණ.

දැන් කට්ටිය පීසීආර් පරීක්ෂණවලට පෝලිමේ ඉන්නවා. වසන්තට ඉස්සරහින් කහිමින් ඉන්න ඇතැම් අය දන්නේ නෑ පරීක්ෂණය මොකක් ද කියලා. තාම එතැන වැඩ පටන් අරගෙනත් නැහැ. එතන හිටපු මහත්මියක් අපි ඉක්මනට කාලා එන්නම් කියලා පොඩ්ඩක් එහාට මෙහාට වුණා.

පීසීආර් පරීක්ෂණ කරමින් ආසාදිතයැයි සැක කරන රෝගීන් සමග වැඩ කරන මේ රෝහල් සේවකයන්ට කරාපිටිය රෝහලේ ලබා දී තිබෙන පහසුකම් ගැනනම් ඇත්තටම ඇතිවන්නේ දුකක් වේදනාවක්. මේ කට්ටිය කෑම කෑවේ අර රෝගීන් ඉන්න ඒ වගේම පරීක්ෂණ කරන තැන ඉදගෙන. මේ තමයි එයාලගේ උදෑසන ආහාර වේල. තමන්ගේ ජීවිත, තම ආදරණීයයන්ගේ ජීවිත පවා අවදානමට ලක්කරමින් අඛණ්ඩව වෙහෙසෙන මේ අයට ලබා දී ඇති පහසුකම් කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ.

මේ අය පීසීආර් පරීක්ෂණ පටන් ගන්නතුරු දැන් හය හත් දෙනෙක් පෝලිමේ ඉන්නවා. මේ අතරේ අර වෛද්‍යවරයා දෙනව කියපු බෙහෙත් කෙනෙක් ඇවිත් පෝලිමේ ඉන්න අයට බෙදා දුන්නා. මෙන්න බෙහෙත් ගත්තට පස්සේ දෙන්නෙක් විතර පීසීආර් කරගන්නෙම නැතිව යන්න ගියා.

ටිකකින් පීසීආර් පටන්ගත්තා. දැන් තමන් ඉන්නේ පීසීආර් පරීක්ෂණයක් කරන්න කියලා දැනගත්තු දෙන්නෙක් වට පිට බලලා හෙමිහිට හෙමිහිට එතැනින් මාරුවෙලා රෝහල් ගේට්ටුවෙන් විදුලියක් වගේ පිටවෙලා යනවා වසන්ත දැක්කා. නමුත් වසන්ත පීසීආර් පරීක්ෂණයට මුහුණ දුන්නා.

කොරෝනා ආසාදිතව ඇතැයි තිබෙන සැකය නිසා පීසීආර් පරීක්ෂණයට යොමු වූ ඇතැම් අය අර විදියට පීසීආර් පරීක්ෂණය මඟ හැර යාම ගැන එතැන හිටපු නිලධාරිනයක් දැනුම්වත් කිරීම තමන්ගේ සමාජ වගකීමක් යැයි හිතපු වසන්ත ඔවුන්ට ඒ ගැන කිව්වා.

“ ආ….. කරන්න දෙයක් නෑ. ඒ මිනිසුන්ට අවශ්‍යතාවක් නැත්නම්. අගයක් නැත්නම් අපිට මොක ද ?”

ඒ විදියට තමයි පිළිතුරු ලැබුණේ.

මේ සටහන ලියන මම අද මේ ස්ථානයට ගිහින් පෝලිමට එකතු වුණා. මම මුලින් කිව්වා වගේ ටෙලිෆෝනය පිරිසිදු කළත් පුටු දෙක වරින් වර මාරු කළාට පිරිසිදු කළේ නම් නැහැ. ඒ විතරක් නෙවෙයි මම එතැන සිටිය දී විෂබීජ නාශක දියර ඉසින කණ්ඩායමක් ඇවිත් විෂබීජහරණ කටයුතු කළා. ඔවුන්ගේ විෂබීජ නාශක දියර ඉසීීීමත් ප්‍රමාණවත් නෑ කියලයි මට හිතුණේ. ඒ මහත්මයාට අර පුටු දෙකට විෂබීජ නාශක ඉහින්නත් මඟහැරුණා. ඒක මම මගේ ඇස් දෙකෙන්ම දැක්කා.

මගේ ඉස්සරහින් මහත්තයෙක් හිටියා. එයාට එක ඇමතුමක් ආවා. එයා කිව්වේ මෙහෙම කතාවක්.

”හරි, හරි, මම මොනවත් විස්තර කියන්නේ නෑ. ගෙදරට වෙලා ඉදිද්දී ටිකක් උණ වගේ හින්දා ආව කියලා කියනවා. එච්චරයි. බලමු එතකොට මොනවා කරයිද කියලා. විස්තර කිව්වොත්නේ ප්‍රශ්නේ.”

ඔහු තම තොරතුරු සඟවන බව මට වැටහී ගියේය. මොහොතකින් තවත් ඇමතුමක් ඔහුට ලැබිණි. එයට දුන් පිළිතුරු අනුව මට ඔහුගේ අනන්‍යතාව හෙළිවිය.

”ඔව්. ඔව්. තියෙනවා. නෑ බඩුු තියෙනවා. කෙලවල්ලා, බලයා ඔක්ක‌ොම තියෙනවා. දානෙකට ද ? අපෝ දෙන්නම්. හරි මට කතා කරන්නකෝ.”

ඔහු ධීවරයෙකි. මෙතැනට එන පුද්ගලයන්ගේ අනන්‍යතාව සැඟවීමට ඉඩක් නොතැබුවානම් වඩාත් සුදුසුයි යන්න මගේ අදහසයි.

මම හිතනවා එතැන ටෙලිෆෝනයක් නෙවෙයි ඈත සිටි කතාකරන විට වෛද්‍යවරයාට ඇහෙන්න මයික්‍රෆෝනයක් සවි කළානම් වැඩේ ඉතාමත් සාර්ථකව කෙරේවි කියලා. රෝහල් සේවක මණ්ඩලයට නම් මෙතැන ඇති ඉඩ කිසි සේත්ම ප්‍රමාණවත් නැහැ. අඩුම ගණනේ ඔවුන් අවදානම් සේවයක් රටක් වෙනුවෙන් ඉටුකරන මේ වෙලාවේවෙත් ඔවුන් ගැන බලාගත යුතුයි.

මම ගියා රෝහල් අධ්‍යක්ෂ වරයාගේ කාර්යාලයට ඔහු ආසනයේ හිටියේ නැහැ. නියෝජ්‍ය අධ්‍යක්ෂවරියක් කාර්යාලයේ සිටියා. ඇයට කතාකරන්න කිසිම හැකියාවක් නැහැ. ලිපිගොනු ගොඩක් උස්සගෙන ආපු රෝහල් සේවකයන් ඇයගේ අත්සන බලාපොරොත්තුවෙන් පෝලිමේ ඉන්නවා. ඉතින් මටත් ඒ පෝලිමට වෙලා ඉන්න බැහැ.

ඒ නිසා මම නියෝජ්‍ය අධ්‍යක්ෂතුමිය ටෙලිෆෝනයෙන් සම්බන්ධ කරගත්තා. මම කාරණය විස්තර කරලා ඇහුවා.

“ එතැන ඉතාමත් ආරක්ෂිතව කටයුතු කෙරෙනවා. මට මාධ්‍යවලට අදහස් දක්වන්න බැහැ.” මේ ඇගේ පිළිතුර.

මා මේ සටහන තැබුවේ කරාපිටිය රෝහල කෙනෙකුගේ පුද්ගලික බූදලයක් නොව එය රටක, ජනතාවකගේ අද්විතීය පොදු ස්ථානයක් නිසා.

හැම රෝගියෙක් ම කතා කරන එකම ටෙලිෆෝනය, රෝගීන් සියලු දෙනා අසුන් ගන්නා පුටු දෙක, රෝහල් කාර්ය මණ්ඩලය රෝගීන් ගැවසෙන තැන දී ම ආහාර ගැනීම, පීසීආර් පරීක්ෂණවලට යොමුකරන අය පරීක්ෂණයට නොසිට පලා යාම කොරෝනාවලට අතවැනීමක් විය නොහැකි ද ?

මේ රෝහල ගාල්ලේ වැසියන්ට පමණක් නොවෙයි මුළු රටටම කරන සේවය සුළු පටු නැහැ. ඉතාමත් කීර්තිමත් නාමයක් දිනා ඇති කරාපිටිය රෝහලේ කාර්ය මණ්ඩලය පවා අවදානමකට ලක්කරමින් තිබෙන මේ ඒකකය මීට වඩා ආරක්ෂිත ස්ථානයක් බවට පත්කළ හැකි බව අමුතුවෙන් පෙන්වාදිය යුතු නැහැ.

සටහන – සජීව විජේවීර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here