කරාපිටියේ දොස්තරලාගේ ගෝරිය – වීඩියෝ දර්ශන

3
4706

කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකයේ දී ඊයේ (23) වෛද්‍යවරු අතර ගැටුමක් වූ ගැටුම rata.lk වාර්තා කරන ලදී.

එම ගැටුවේ වීඩියෝ දර්ශන කිහිපයක් ලැබුණු අතර ඔබ වෙනුවෙන් එම දර්ශන මෙහි ඇතුළත් කරන ලදී.

ඊයේ අප පළ කළ පුවත පහතින්

රජ‌යේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් කිහිප දෙනකු අද (23) කරාපිටිය පිළිකා ශල්‍ය ඒකකයේ රාජකාරීයට බාධාවන අයුරින් හැසිරෙමින් තමන් ඇතුළු කාර්ය මණ්ඩලය ට ද බැණ වැදුණු බව පිළිකා රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතා පොලිසියට සහ රෝහල් අධ්‍යක්ෂ වරයාට පැමිණිලි කර ඇත.

වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතා පවසන්නේ පිළිකා ඒකකයේ වෛද්‍යවරියක සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් පිළිබඳ සිද්ධියක් හේතුවෙන් මෙවැනි කලබලයක් ඇති වූ බවයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතාගේ ක්‍රියාකලාපය දීර්ඝකාලය සිට ප්‍රශ්නගත බවයි. මෑත දින කිහිපයක දී ම ගැටලු කිහිපයක් ඇති වූ බවත් අද (23) දිනයේ තම සාමාජිකාවක් විසින් කරන ලද පැමිණිල්ලකට ආදාල ක්ෂේත්‍ර නිරීක්ෂණයක් සඳහා පොලිස් කණ්ඩායමක් පැමිණි අවස්ථාවේ දී විශේෂඥ වෛද්‍ය පෙරේරා මහතා වෛද්‍ය කණ්ඩායමකට බැණ වැදී ඇති බවයි. ඒ් පිළිබඳ තම සංගමය ද පොලිසියට හා අධ්‍යක්ෂවරයාට පැමිණිලි කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

පිළිකා ඒ්කකයේ සේවය කරන වෛද්‍යවරියක විසින් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් එය විභාග කිරීම සඳහා පොලිස් කණ්ඩායමක් පැමිණ සිටිය දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් පිරිසක් පැමිණ කාර්ය මණ්ඩලයට හා තමන්ට බැණ වදිමින් ආරවුලක් ඇතිකරගත් බව විශේෂඥ වෛද්‍ය පෙරේරා මහතා පොලිසියට කරන ලද  පැමිණිල්ලේ සටහන් කර ඇත. වෛද්‍යවරයා පවසා ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැමිණිල්ල කළ එම වෛද්‍යවරිය වෙනුවෙන් පෙනී සිටින බවයි.

මේ පිළිබඳ විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතාගෙන් විමසූ විට ඒ මහතා මෙසේ කීවේය.

“ රෝහලේ වෛද්‍යවරුන්ගේ ස්ථානමාරුකිරීම් කරන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අභිමතය පරිදි. මෙය විශාල කරදරකාරී දෙයක්. පිළිකා ඒකකය වැනි විශේෂිත ඒකකවල සිටින වෛද්‍යවරු ඔවුන්ගේ හිතුමතයට වෙනත් තැන්වලට මාරුකරනවා. ඒ විතරක් නෙවෙයි එලෙස මාරුකරන අය වෙනුවට වෙනත් වෛද්‍යවරයකු ලබාදෙන්නෙත් නැහැ. ඒ නිසා මම මේ ක්‍රියාවලියට මුල සිටම විරුද්ධ වුණා. ඒ නිසා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මට නිතර නිතර ගැටලු ඇතිකරන්න උත්සාහ ගත්තා. මේ එවැනි පළමු අවස්ථාව නෙවෙයි.”

විශේෂඥ වෛද්‍ය පෙරේරා මහතා පවසන්නේ කුරුණෑගල සිට ගාල්ල කරාපිටිය රෝහලට ස්ථාන මාරුවක් ලබා පැමිණි වෛද්‍යවරියක තමන්ට සති අන්තයේ සේවා සැපයිය නොහැකි බවත් හදිසි ඇමතුම් මත සේවා කිරීමට තමන් සූදානම් නැති බවත් පැවසීම මෙම ගැටලුවට මුල් වූ බවයි. ඇය දිගින් දිගටම පිළිකා ඒකකයේ සාමාන්‍ය රටාවට අනුව සේවා සැපයීම ප්‍රතික්ෂේප කරමින් ස්ථාන මාරුවීමක් ඉල්ලා ඇත. වෛද්‍ය පෙරේරා මහතා පවසන්නේ ස්ථානමාරුවක් දීමට හැකිවන්නේ වෙනත් වෛද්‍යවරයකු ඇය වෙනුවෙන් අනුයුක්ත කරන්නේ නම් පමණක් බව තමන් රෝහල් අධ්‍යක්ෂවරයාට ද දැනුම් දුන් බවයි. එලෙස වෙනත් වෛද්‍යවරයකු ලබා නොදුන් බැවින් ඇයගේ ස්ථානමාරුවීම් තමන් අනුමත නොකළ බව ද ඒ හේතුවෙන් තමන්ට මානසික පීඩාවක් ඇතිවන බවත් තමන් ඇයට හිරිහැර කරන බවත් පවසමින් වෛද්‍යවරිය ළමා හා කාන්තා කාර්යාංශයේ පැමිණිළි කර තිබූ බව ද වෛද්‍ය පෙරේරා මහතා කීවේය.

අද (23) එම පැමිණිල්ල විභාග කිරීම සඳහා පොලිස් නිලධාරීන් කණ්ඩායමක් කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකයට පැමිණ තිබේ. ඔවුන් පැමිණ සිටිය දී එම ස්ථානයට පැමිණි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් පිරිසක් කලහකාරී ලෙස හැසිරුණු බව ද වෛද්‍යවරයා පවසයි.

“ මම පිළිකා ශල්‍යකර්ම කරමින් සිටිය දී පොලිසිය විමර්ශන කටයුතු සඳහා ආවා. මේ වෙලාවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍යවරු 10 දෙනෙක් විතර ඇවිත් අපේ රාජකාරීවලටත් බාධා කරමින් රණ්ඩුවක් පටලවා ගත්තා. කරාපිටියේ වෛද්‍යවරුත් පිටින් පැමිණි වෛද්‍යවරු කිහිප දෙනෙකුත් එතැන සිටියා. මා වරදක් කර නැහැ. ඔවුන් තමන්ගේ හිතවත් වෛද්‍යවරුන් වෙනුවෙන් පෙනී සිටිනවා. ඒ ගැන විවාදයක් නැහැ වෛද්‍යවරුන්ගේ සංගමයක් නේ. නමුත් ඔවුන්ට බැහැ රෝහලේ රෝගීන්ගේ යහපත වෙනුවෙන් කරන දේවල්වලට එරෙහි වෙන්න. අපි පිළිකා රෝගීන් වෙනුවෙන් කටයුතු කරන පිළිවෙලක් තියෙනවා. මේ ඒකකයේ වෛද්‍යවරු වගේම සමස්ථ කාර්ය මණ්ඩලයම ඒ සඳහා අනුගතව වැඩ කරනවා. ඒ අනුව කටයුතු කරන්න බැරි අයට ස්ථානමාරුවීම් දෙන්න පුළුවන් නමුත් පුරප්පාඩුවලට වෛද්‍යවරු අවශ්‍යයි. රෝගීන් ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බලන්නේ නැහැ. ඔවුන් හැසිරෙන විදිය ඇත්තටම අපසන්නයි. මා මේ පිළිබඳ රෝහල් අධ්‍යක්ෂවරයාටත් පොලිසියටත් පැමිණිලි කළා.”

රෝහල් පොලිසියෙන් මේ පිළිබඳ විමසූ විට කියා සිටියේ ස්ථානාධිපතිවරයා විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතාගේ පැමිණිල්ල සටහන් කරගෙන එය ඉදිරි කටයුතු සඳහා ගාල්ල මූලස්ථාන පොලිසියට යොමුකළ බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කරාපිටිය ශික්ෂණ රෝහල් ශාඛාවේ ලේකම් වෛද්‍ය උබය බණ්ඩාර වරකාගොඩ මහතා මෙසේ කීවේය.

“ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතාගේ ක්‍රියාකලාපය ඉතාමත් ගැටලු සහගතයි. වරින් වර වෛද්‍යවරුන්ට, රෝහල්කාර්ය මණ්ඩලයට තර්ජනය කිරීම් හා පහරදීම් කරනවා. මේ සම්බන්ධව පොලිසියේ පැමිණිලි ගණනාවක් තිබුණත් කිසිම අවස්ථාවක දී ඒ් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නැහැ. මේ ආසන්න දිනවලත් ප්‍රශ්නගත සිදුවීම් කිහිපයක් ම සිදුවුණා. අපේ සංගමයේ හිටපු ලේකම්වරයාටත් තර්ජනය කර තිබුණා. පිළිකා ඒ්කකයේ ගර්භනී තත්ත්වයේ ඉන්න වෛද්‍යවරියකට විශේෂඥ වෛද්‍යවරයා දිගින් දිගටම මානසික පීඩා කරන බවට පැමිණිලි තිබුණා. ඒ් ගැන අපේ සංගමය පවා දැනුම්වත් කර තිබුණේ. පසුගිය දිනක එම වෛද්‍යවරියට පහර දී තිබුණා. මේ ගැන ළමා හා කාන්තා කාර්යාංශයේ කරන ලද පැමිණිල්ලකට අනුව අද පොලිස් කණ්ඩායමක් ක්ෂේත්‍ර පරීක්ෂණයකට ආවා. ඒ් මොහොතේ අපේ සාමාජික එම වෛද්‍යවරිය තනිවන නිසා අපේ සාමාජිකයන් පිරිසක් එතැනට ගියා. අපේ සාමාජිකයන් රණ්ඩුවක් පටන් ගත්තේ නැහැ. ක්‍රිෂාන්ත පෙරේරා මහතා තමයි අපට බැණ වදිමින් ආරවුලක් ඇතිකරගත්තේ. මෙය ඉතා කණගාටුදායක තත්ත්වයක්. අපි වෛද්‍යවරුන් ලෙස රෝගීන්ගේ සත්කාරක සේවා පවත්වාගෙන යන අතරම වෛද්‍යවරුන්ගේ අභිමානය හා සුබසාධනය වෙනුවෙන් සේවක අයිතීන් වෙනුවෙන් පෙනී සිටිනවා. කිසිම වෛද්‍යවරයකු තවත් වෛද්‍යවරයකුට හිරිහැර නොකළ යුතුයි.”

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ අද (23) කරාපිටිය පිළිකා ඒ්කකයේ දී ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතාට එ‌රෙහිව තම සංගමය ද ගාල්ල පොලිස් ස්ථානයට පැමිණිල්ලක් යොමු කළ බවයි.  මෙම පැමිණිලි සම්බන්ධයෙන් සාධාරණයක් ඉටු වන්න් නැත්නම් වෘත්තීය වශයෙන් ගත හැකි ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට තම සංගමය කටයුතු කරන බවත් ඒ පිළිබඳ අද සවස සාකච්ඡාවක් පැවැත්වෙන බවත් වෛද්‍ය වරකාගොඩ මහතා කීවේය.  

3 COMMENTS

  1. පිස්සු බල්ලෙක් වගේ හැසිරෙන්නේ ක්‍රිශාන්ත පෙරේරාය

  2. Dr.Crisantha Perera is a hard working tireless worker like Dr.Namal Gamage.He has cured thousands of cancer patients in south without expecting any appreciation. Ministry of health should provide adequate number of assistants to this devoted worker.God bless him for reduce his hot temper and keep him coo and calm.
    one who has worked with him.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here