අපි දෙන්නම කන්න ආසා වුණේ එකම දේ.
ඇඳුමක්-කැඩුමක් ගත්තත් එක වගේ.
ගමන්-බිමන් ගියෙත් එකට.
ඒක ආත්මීය බැඳීමක්.
ඒ සේරටම වඩා අපි දෙන්නම වැඩිපුරම ආදරය කළේ එකම දේකට.
ඒ තමා බව්වෝ.
මගේ පුංචි කාලේ මට මතක එකම දේ අපේ ගෙදර හිටිය බව්වා.
එයාටත් එහෙමමලු.
එයාගේ බව්වා මිසක් වෙන කිසිම දෙයක් එයාටත් මතක නෑ.
මම වගේම එයත් මුළු දවසම ගත කරල තියෙන්නේ බව්වත් එක්ක.
මගේ පළවෙනි බව්ව මට නැති කළේ අල්ලපු ගෙදර අයියා.
එයා බව්වගේ ඇඟට රතිඤ්ඤ පත්තු කරල දැම්ම.
එදා අපිව දාල ගිය බව්වා ආයෙත් ආවේ නෑ.
එයාගේ පළවෙනි බව්වනම් ගොඩාක් කල් ජීවත් වෙලා වයසට ගිහින් නැති වෙලා තියෙන්නේ.
ඒත් එයා දවස් ගානක් කන්නේ නැතුව ඉඳල තියෙනවා.
අපි දෙන්නම කල් ගත වෙන කොට අපේ බව්වන්ට විතරක් නෙමේ, අතරමං වෙලා හරි අත හැරල දාල හරි, පාරේ හරි කොහේ හරි ඉන්න අසරණ බව්වන්ට ආදරය කරන්න පටන් ගත්තා.
අපි සිරිතක්-පුරුද්දක් විදිහට ගෙදරින් යනකොට මොනව හරි දෙයක් අරගෙන යනවා පාරෙ ඉන්න බව්වන්ට දෙන්න.
මම කොහේ හරි යනවා නම් පැයක් වත් කලින් ගෙදරින් පිට වෙනවා.
බව්වන්ට ආදරය කර කර යනකොට පරක්කු වෙන්න පුළුවන් නිසා.
ඒකට එයා. එයත් ටිකක් කලින් පිට වෙනවලු.
ඒත් හැමදාම කොතනට ගියත් හොඳටම පරක්කු වෙලා තමා එතනට යන්නේ.
එයාට පාරෙදි මට වඩා බව්වෝ මුනගැහෙනවා.
ඒ අතින් එයා මට වඩා වාසනාවන්තයි.
පහු වෙන කොට අපි පෝයදාට බව්වන්ට දානෙ දෙන්න පටන් ගත්ත.
සමහර බව්වෝ ඉන්නව දසසිල් සමාදන් වෙලා වගේ.
හරිම සිල්වත්.
පිංවත්.
ඉතින් අපි හිතුවා ඒගොල්ලන්ට දානෙ දෙන එක අපේ වගකීමක් කියල.
පස්සෙදි අපි පෝයට අමතරව හෑම ඉරිදම බව්වන්ට දානෙ දුන්නා.
මේ වෙනකොට අපි දෙන්නම අපේ ගෙවල්වල බව්වෝ හදන එක නවත්තල තිබුණේ.
මොකද අපි දෙන්නම තේරුම් අරන් තිබුණා අපේ වගකීම එක බව්වෙක් හුරතල් කරන එක නෙමේ, කුරිරු අපත මිනිස්සු පාරවල් වල අතරමං කරල ගිහින් ඉන්න අපේ බව්වන් බලා-කියා ගන්න එක කියල.
ජරා මිනිස්සු බව්වන්ට සැර කරන එක, අඩන්තේට්ටම් කරන එක අපි දෙන්නටම පෙන්නන්න බෑ.
ඒ කාලකන්නි යක්කු බව්වෝ ගෙවල්වලට කොටු කරගෙන දස වද දෙනවට වඩා දාහෙන් සම්පතයි ඒ අයව පාරට එක්කගෙන එන එක.
අපි දෙන්න වගේ තව ගොඩාක් යහපත් අය ඉන්නවා අපි අතර, පාරෙ ඉන්න බව්වන් ජීවත් කරවන්න.
මේ සේරම උඩු-යටිකුරු වෙන්න ගත වුණේ එක දවසයි.
එයාට දවස් කිහිපයක් තිස්සේ උණ ගතිය තිබුණා.
එදා එයාට හොඳටම අමාරු වුණා.
අපි එයාව ඉක්මනට ඉස්පිරිතාලෙට අරගෙන ගියා.
එයා මට හිතාගන්නවත් බැරි විදිහට මාව දාල ගියා.
ඒ දවස් ටිකට එයා විඳවපු විදිහ මට දරා ගන්න බෑ.
මම කවදාවත් කිසිම සතෙක් එහෙම විඳවනවා දැකලා නෑ.
ඒක පුදුම කරුමයක්.
පිස්සු බල්ලෝ ගැන අහල තිබුණට මම කවදාවත් දැකල තිබුණේ නෑ.
මට මගේ ජීවිතේම එපා උණා.
බලු සංහතියම එපා උණා.
උන් මට එයාව නැති කළා.
මැරුණු බල්ලන් කී දෙනෙක් නම් බදාගෙන අඬල ඇතිද?
ඒත් මට එයාව බඳාගෙන අඬනවා තියා අවසන් වතාවට මූණවත් බලන්න නැති වුණා.
පෙට්ටිය ගෙනාවේ සීල් කරලා.
දොස්තරලා කිව්වේ එයාට ජලභීතිකාව හැදිලා කියලා.
නමුත් හැමදාම බල්ලන්ට ආදරය කරපු එයාව කවදාවත් බල්ලෙක් කාලා තිබුණේ නෑ.
ඒත් මට මතකයි.
එයාගේ කකුලේ තුවාලයක් තිබුණා. බල්ලෙක් ඒ් තුවාලය ලෙව කෑවා.
අන්න ඒ් නිසා තමයි එයාට ජලභීතිකාව හැදෙන්න ඇත්තේ.
ඊට පස්සේනම් මම කවදාවත්ම පාරේ ඉන්න බල්ලන්ට කන්න දෙන්න ගියේ නෑ.
අයාලේ යන වල් බල්ලෝ නඩත්තු කරන්න ගියේ නෑ.
මම මගේ ජීවිතේ අලුතින් පටන් ගත්තා.
දැන් මම මගේ බිරිඳයි දරුවොයි එක්ක මනුස්ස ජීවිතයක් ගත කරනවා.
මට පුළුවන් විදිහට ජලභීතිකා රෝගය පිළිබඳව මිනිස්සුන්ව දැනුවත් කරනවා.
බල්ලන් අයාලේ නොයවන ලෙස මිණිස්සුන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
මහා සංඝරත්නයට දාන-මාන දීල, ඒ පිං එයාට අනු්න් කරනවා.
(සටහන – බන්දුල රණතුංග)