spot_img
spot_imgspot_img

ඉතිහාසයේ පළමු වතාවට කොටස් මිල දර්ශකය ඒකක 11,000 ඉක්මවයි

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (16) දිනයේ ඉතිහාසයේ වාර්තාගත ම අගය සනිටුහන් කළ අතර ගනුදෙනු 67,667ක් සිදු කරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 10,272ක් බවට පත්විය.

සමස්ත කොටස් මිල දර්ශකය අද ඒකක 255කින් ඉහළ ගිය අතර එය මුල්වරට ඒකක 11,008ක් බවට පත්විය.

දිනයේ වැඩිම පිරිවැටුමක් සහිතව කොටස් ගනුදෙනු වූ සමාගම් අතර එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 3,601යි, එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 1,209යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 717ක් ලෙස ද වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම් අතර එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 101යි, එස්එම්බී ලීසිං (X)  කොටස් මිලියන 89යි, එල්සීබී ෆිනෑන්ස් කොටස් මිලියන 69යි ලෙස ප්‍රමුඛ ‍විය.

මූලික කොටස් නිකුතුවෙන් පසු අද දින මුලින්ම කොටස් ගනුදෙනු ආරම්භ කළ එල්සීබී ෆිනෑන්ස් ආයතනයේ කොටස් මිල රුපියල් 8.00 ක් දක්වා ඉහළ ගොස් දිනය අවසනායේ රුපියල් 4.40ක් බවට පත්විය.

කොළඹ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම ලෙස රුපියල් බිලියන 526ක් ඉක්මවූ කොමර්ෂල් ලීසිං සමාගම පළමු ස්ථානයට ද, රුපියල් බිලියන 420 ඉක්ම වූ එක්ස්පෝ ලංකා සමාගම දෙවැනි ස්ථානයට ද, රුපියල් බිලියන 355 ඉක්මවූ එල්ඕඑල්සී සමාගම තුන්වැනි ස්ථානයට ද පත්ව තිබිණි.

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම් අතර එස්එම්බී ලීසිං (X) 50%කින් ද, එල්ඕඑල්සී ෆිනෑන්ස් 23%කින් ද, සොෆ්ට්ලොජික් කැපිටල් 20%කින් ද කැපී පෙණිනි.

සංවෘත කවය තුළ මෙල්ස්ටා කොප් සමාගම කොටස් ලක්ෂ 04ක් රුපියල් 57.00 බැගින් ද, වැලිබල් වන් සමාගම කොටස් 456,000ක් රුපියල් 60.50 බැගින් ද, ලුබ්රිකන්ට් සමාගම කොටස් 240,000ක් රුපියල් 105.00 බැගින් ද, එල්ඕඑල්සී සමාගම කොටස් 26,000ක් රුපියල් 750.00 බැගින් ද හුවමාරු විය.

විදේශීය අයෝජකයන් විසින් රුපියල් මිලියන 188ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 300ක ‍කොටස් විකුණා තිබේ. ඒ අනුව අද දිනයේ සමස්තයක් ලෙස විදේශීය ‍ආයෝජකයන් විසින් රුපියල් මිලියන 112ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවත් කරගෙන ඇත.

අද දිනය දක්වා මේ වසර තුළ දී පමණක් රුපියල් බිලියන 47.062ක මුදලක් විදේශීය ආයෝජකයන් විසින් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් ඉවත් කරගෙන තිබේ.

දෙවැනි කාර්තුවේ වාර්තා සමඟ බොහෝ සමාගම්වල කොටස් මිල සීඝ්‍ර ලෙස ඉහළ යාමට පටන් ගෙන ඇත. ඒ අතරින් ලෝක වෙළෙඳ පොළෙහි පාර්ම් ඔයිල් මිල ගණන් අධික ලෙස වැඩිවීම භාණ්ඩ ප්‍රවාහනය කරන ගුවන් සහ නැව් ගාස්තු අධික ලෙස වැඩිවීම හේතුවෙන් ඒ ආශ්‍රිත සමාගම්වල කොටස් මිල සීඝ්‍ර ලෙස ඉහළ යමින් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!