spot_img
spot_imgspot_img

ලාංකිකයන් නිර්මාංශයැයි GMOA දොස්තර පාදෙණිය බොරු කියන හැටි මෙන්න

පුවත්

විදෙස්

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ නිල නාමයන් සහ විශේෂඥ වෛද්‍යවරයකු යන්න භාවිතා කරමින් රටේ ජනතාව නොමග යවන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම් කිහිපයක් ම සිදුකළ අනුරුද්ධ පාදෙණිය නම් ළමා ස්නායු රෝග වෛද්‍යවරයා මෙරට ජනතාවගේ පෝෂණ තත්වය පිළිබඳව ද අසත්‍ය ප්‍රකාශ සිදුකරයි.

ඔහු පවසන්නේ ශ්‍රී ලංකාවේ නිර්මාංශ ආහාර රටාවක් තිබූ බවයි. එමෙන් ම වසංගත රෝග හටගැනීම ආරම්භ වී ඇත්තේ ශ්‍රී ලාංකීය ජනතාව මස් කෑම ආරම්භ කිරීම හේතුවෙන් යැයි විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය පවසයි.

මෙය හිතාමතාම ජනතාව නොමග යැවීමේ පටු අරමුණකින් සිදුකරන ලද සැළසුම් සහගත අසත්‍ය ප්‍රකාශයකි. විශේෂඥ වෛද්‍යවරයකු වීමට තරම් ඉගෙනුම ලැබූ අනුරුද්ධ පාදෙණිය සත්‍ය තත්වය දැන දැනම ජනතාව නොමග යවමින් සිටිනේ මෙරට පිළිගත් ඓතිහාසික ලේඛනවලට පවා වැරදි අර්ථකථනයක් දෙමිනි.

ඔහු පවසන්නේ සත්ව මාංශවල පමණක් ඇතැයි කියන B-12 නමැති විටමින් වර්ගය වෙත් ආහාරවලින් ශ්‍රී ලාංකීය ජනතාවවගේ ආහාරවලට එකතු වූ බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ වාර්තාවක තිබෙන බවයි. නමුත් එවැනි වාර්තාවක් ගැන විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශ්‍ය දන්නේ නැත.

ලොව පුරා විද්‍යාඥයන්ගේ පිළිගැනීම වන්නේ බී 12 විටමින් වර්ගය මාංශවලින් ලැබෙන බවයි. එයට ප්‍රතිවිරුද්ධ වූ පර්යේෂණයක් මෙරට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය විසින් සිදුකර ප්‍රකාශයට පත්කර නැත. තමන්ට සිතෙන සෑම දෙයක් ම සත්‍යයක් ලෙස කිසිදු වගකීමක් හෝ විචාර බුද්ධියකින් තොරව ප්‍රකාශ කරන අනුරුද්ධ පාදෙණිය එවැනි පර්යේෂණයක් පිළිබඳ දත්ත ඉදිරිපත් කරනනේ ද නැත.

අනුරුද්ධ පාදෙණිය එසේ කීව ද ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික මානවයා (බලංගොඩ මිනිසා) ජීවත් වූ බවට සාධක හමුවන සෑම ස්ථානයකින්ම ඔවුන් විසින් කා දැමූ සතුන්ගේ අවශේෂ හමුවෙයි. මුහුදු බෙල්ලන්, ගස් බෙල්ලන්ගේ සිට සර්පයන්, මුගටින්, කොටි, වඳුරන්, තලගොයන්, කිඹුලන්, ඉත්තෑවුන්, හාවුන්, ගෝනුන්, මුවන්, ඌරන්, ගවයන්, ගවරුන්, මුහුදු මාළු සහි මිරිදිය මාලුන් ආදී සියලු සතුන් අපේ අතීත මුතුන් මිත්තන් විිසින් අඩුවක් නැතිව කා දමා තිබේ. ඔවුන්ගෙන් පැවත එන ආදි වාසීජනතාව ද දඩයමෙන් ජීවත්වූවන් බව නොරහසකි.

තව ද අත්තනගල්ලට නුදුරින් පිහිටි අලවල පොත්ගුල් ලෙනේ හමුවූ මානව අවශේෂ අතරින් ප්‍රාග් ඓතිහාසික යු‍ගයේ මෙරට සිටි ජනතාව මිනී මස් ආහාරයට ගෙන ඇති බවට ද සාක්ෂි ලැබී තිබේ. ළමා ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය පවසන්නේ මෙරට අතීත මිනිසුන්ගේ ආහාරවලට මාංශ ඇතුළත් නොවූ බවයි.

එමෙන් ම යටත් විජිත සමයේ ලේඛනවල පවා දැක්වෙන්නේ මෙරට උසස් සමාජයේ පිරිස් අතර සුවඳ ගිතෙල්වලින් පිසූ මොණර මස් ප්‍රියතම ආහාරයක් වූ බවයි. එපමණක් නොව ඇදුම රෝගීන්ට කිඹුල් මස් කෑමට නිර්දේශ කළ බව අනුරුද්ධ පාදෙණිය බටහිර වෛද්‍ය විශේෂඥයා නොදන්නවා වූවාට මෙරට දේශීය වෙදැදුරෝ දනිති.

මැදිරිගිරිය රෝහලේ පස්වැනි කාශ්‍යප රජු විසින් කරවා ඇති සෙල්ලිපියේ දැක්වෙන්‍නේ ”මරන ලද එළුවන් සහ කුකුලන් රෝහලට සැපයිය යුතුයි” යනුවෙන්. එපමණක් නොව ”අනවසරයෙන් ජලජ ජීවීන් අල්ලා වරදකරු වන අයට වැව්වල වැඩ කිරීමට දැමිය යුතු බවත් අල්ලාගන්නා ලද මසුන් රාජසන්තක කර ඒවා රෝහලේ නේවාසික රෝගීන්ගේ ප්‍රයෝජනයට එවිය යුතු බව.” ද තවත් ලිපියක දැක්වේ.

මෙවැනි ලිපි අතීත රජදරුවන් විසින් ගලේ කොටා තිබීමෙන් ම අනුරුද්ධ පාදෙණිය මුසා බස් පවසමින් රටක් නොමග යවන බව පසක් වෙයි. ඔහු පවසන පරිදි අතීතයේ මාංශ නොකෑවානම් එවැනි සෙල්ලිපි පිහිටවූයේ පිටසක්වලින් පැමිණි ජීවීන් විය යුතුය.

හතරවැනි මිහිදු රජු පිහිටවූ වේවැල්කැටිය පුවරු ලිපියේ 25 සහ 26 වැනි පේළිවල  ”මීමුන්, ගෙරිගොන්, එළුවන්” දඩයම් කිරීම් ගැන දැක්වෙයි. ඒ සතුන් දඩයම් කළේ කෑමට නොවේදැයි පාදෙණියගෙන් ඇසිය යුතුය.

මෙරට වැඩිම සෙල්ලිපි ගණනක් පිහිටවපු නිශ්ශංකමල්ල රජතුමා පක්ෂීන් දඩයම් කළ ආකාරය ගැන සෙල්ලිපිවල සිය ලිපිවල සටහන් කරතිබේ.

අනුරාධපුර යුගයේ මුල් කාලයේ සිට වැව් අමුණු සහ ඇළ මාර්ග ආශ්‍රිත කටයුතුවලින් අයකරගත් බදු තුනක් තිබිණි.

“දකපති බද්ද”, “බොජියපති බද්ද” සහ “මතෙරමජිබක බද්ද” යනුවෙන් ඒවා හැඳින්විණි. මතෛරමජිබක බද්ද යනු ජලාශවල මාලු ඇල්ලීම කරන අයගෙන් අයකරගත් බද්දයි. එය විහාරාරාමවලට ලබාදෙන ලෙස රජු අණ දී තිබිණි.

අනුරාධපුර යුගයේ මෙරට ජනතාව මාලු අල්ලා උපයන ආදායම්වලින් විහාරාරාම නඩත්තු කළේ අයුරිනි. මාලු ඇල්ලුවේ කන්න මිසක් ඇතිකරන්න නොවන බව පාදෙණිිය තේරුම් ගත යුතුය.

ලංකාවේ මිනිස්සු නිර්මාශකයැයි රොබට් නොක්ස් කීවාය කියමින් පාදෙණිය රොබට් නොක්ස්ගේ එදා හෙළදිව ග්‍රන්ථයේ ඇති කරුණු සඟවා හෝ ඒවා විකෘති කරමින් හෝ අදහස් දක්වයි.

අනුරුද්ධ පාදෙණිය නම් විශේෂඥ වෛද්‍යවරයා රොබට් නොක්ස්ගේ එදා හෙළදිව පොත කියවා නැතැයි අප තේරුම් ගත යුතුය.

නොක්ස් මේ රටේ හිටපු සිංහලයන් සහ දෙමළ ජාතිකයන් ගැන සඳහන් කර තිබේ. ඒ කිසිම තැන ඔහු ඔවුන් නිර්මාංශකයි කියා නැත.

රොබට් නොක්ස්ගේ ‍එදා හෙළදිව පොතේ දහවැනි පරිච්ඡේදයේ මෙසේ සඳහන් වෙයි.

”සතුන් ඇල්ලීමේ ලා මේ රටේ මිනිසුන් අති ශූරයන් බව කිව යුතුය. මුවන් සහ අනෙකුත් සතුන් අල්ලා ගනු පිණිස ඔවුහු උපා යොදති. උගුල් අටවති. සතුන් ඇල්ලීමට උගුල් ඇටවීම සඳහා ගම්වැසියන් තෝරා ගන්නේ මඳ වශයෙන් වැසි පොද වැටෙන අන්ධකාර රාත්‍රියයි.”

නොක්ස් වැඩිදුරටත් කියන්නේ ගිනි කබලක් රැගෙන මේ මිනිසුන් කැලෑ වැදුණු විට සත්තු ඒ ගින්න දෙස ඇසිපිය නොහෙලා බලා සිටින බවයි. දිලිසෙන ඇස් දැක සතා හඳුනාගැනීමට පවා ‍මේ ශූර දඩයක්කාරයන්ට හැකි බව ඔහු අපූරුවට විස්තර කරයි.

නොක්ස් තවදුරටත් මෙසේ ද කියයි.

”තලගොයා ‍ගේ මස් කෑමට ඉතා හොඳයැයි සිංහලයෝ සලකති. ඔවුහු මේ මස මුව නොසෑහෙන සේ වර්ණනා කරති. මේ තලගොයි මස බුදින විට ඔබ සෙසු මසකුත් බුදිතොත් ඒ මස් ඔබට වමනය වන්නට පුළුවන “

නොක්ස් එම පරිච්ඡේදයේම පවසන්නේ ලංකාවේ පදිංචිව සිටින ඇතැම් ද්‍රවිඪ ජාතීන් කස්තුරි මීයා නම් කුඩා මී විශේෂය හැර අන් හැම මී මසක්ම ආහාරයට ගන්නා බවයි. රොබට් නොක්ස්ගේ පොත නොකියවා බේගල් ඇදබාන අනුරුද්ධ පාදෙණිය මේ කතා නොදන්නවා විය යුතුය.  

ශ්‍රී ලංකාවේ අතීත මිනිසුන් ගැන බොරු ගොඩක් ඇදබාන අනුරුද්ධ පාදෙණිය පාසලේ ඉතිහාසය හෝ සමාජ අධ්‍යයනය විෂයය ඉගෙනගෙන නැතිවා විය යුතුය. ඔහු පවසන්නේ ලෝකයේ සියලු රටවල් අතරින් වසර 2,500ක ලිඛිත ඉතිහාසයක් ඇත්තේ අප රටට පමණක් බවයි. ඒ කිට්ටුවෙන් ඉන්නේ චීනය පමණක් යැයි ඔහු පවසයි.

ජුලියස් සීසර් සෙනට් එකෙන් රාජ්‍ය නායකයා බවට පත්වෙද්දී අපේ රජවරු තාත්තා මරලා හෝ  සහෝදරයා මරලා හෝ රජ වූ අයුරු පාදෙණිය ඉගෙනගෙන නැතිවා විය යුතුය. එමෙන්ම වර්තමාන ඉරානයේ අතීත ජනතාව අදින් වසර 5,000කට පෙරාතුව ලේඛන තබා අති බව ඔහු නොදන්නවා විය යුතුය. මිසරයේ, ඊජිප්තුවේ දියුණු ශිෂ්ඨාචාර ගැන නොදන්නා ඔහු අවම වශයෙන් ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය ගැනවත් ඉගෙන ගෙන නැත.  අපේ ලිඛිත ඉතිහාසය පටන්ගැනීමට වසර  3000-4000කට පමණ පෙර ලෝකයේ  දියුණු ශිෂ්ඨාචාරය තිබුණු බව ඔහු දන්නේ නැත. ඒ ඔහුගේ දැනුමේ තරමයි.  

රොබට් නොක්ස් තම ග්‍රන්ථයේ 11 වැනි පරිච්ඡේදයේ පක්ෂීන්ගේ මස්වල රස ගැනත්, මාලු ඇල්ලූ උපක්‍රම ගැනත් විස්තර කර තිබේ.

රොබට් නොක්ස් පවසන්නේ මෙරට මිනිසුන් උගුල් ඇටවීමේ දක්ෂයන් බවයි. උගුල් අටවන්නේ සතුන් දඩයම් කරන්නයට. මිනිසුන් අමාරුවේ දමන්නට උගුල් අටවන අය ද තම පටු අරමුණු වෙනුවෙන් ඕනෑම කෙප්පයක් ඇදබාමින් මිනිසුන්ට උගුල් අටන්නෝද සටිති.

තම වෛද්‍ය වෘත්තියට මුවා වෙමින් වෘත්තීය සමිතියේ නිල නාමයන් පවා අව භාවිතා කරමින් අනුරුද්ධ පාදෙණිය නම් මේ විශේෂඥ වෛද්‍යවරයා ද හිතාමතා සහ සැළසුම් සගතව කියන මේ අසත්‍ය කරුණුවලින් අමාරුවේ වැටෙන්නේ මෙරට ජනතාවය.

ඔහු අටවන්නේ ජනතාව අමාරුවේ දැමීමට උගුලකි.

රොබට් නොක්ස් තම ග්‍රන්ථයේ 10 වැනි පරිච්ඡේදය අවසන් කරන්නේ මේ ආකාරයෙනි.

“කොටින්ම කෙටිකර කියතහොත්, සිංහලයා තරම් උගුල් ඇටවීමෙහි දක්ෂයෝ සමස්ථ ලෝකයේ ම නැත්තාහ.”

ඒ කතාවනම් අනුරුද්ධ පාදෙණියගේ මේ අසත්‍ය ප්‍රචාරයන්ට මනාව ගැලපෙයි.

අනුරුද්ධ පාදෙණියගේ ප්‍රකාශය පහතින් දැක්වෙයි.

https://web.facebook.com/boodeekeerthisena/posts/10159126626942195?_rdc=1&_rdr

1 COMMENT

Leave a Reply to rohitha Cancel reply

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!