spot_img
spot_imgspot_img

“හොරාගෙ අම්මාගෙන් පේන අසා” නොමඟ ගිය සෞඛ්‍ය ඇමති කෙහෙළිය හා හික්කඩුවේ එන්නත් සිද්ධිය

පුවත්

විදෙස්

හික්කඩුවේ එන්නත්කරණ සිද්ධියේ දී ජනතාවගේ පාර්ශවයෙන් එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව පැවසූ කෙහෙළිය රඹුක්වැල්ල ඒක පාර්ශිකව කරුණු විමසා සමාජ මාධ්‍යයෙහි අදහස් දක්වා ඇත.

ප්‍රදේශවාසීන් පවසන්නේ සෞඛ්‍ය අමාත්‍යවරයා කර ඇත්තේ හොරාගේ අම්මාගෙන් පේන අසා ඇඟ බේරාගැනීමේ කටයුත්තක් පමණක් බවයි. සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් පවත්වූයේ නැති බවත් එන්නත් අහිමි වූ තමන්ගෙන් අවම වශයෙන් විමසීමක්වත් නොකර ඇමතිවරයා වෛද්‍යවරුන්ගේ මතය පිළිගැනීම සිදු නොවිය යුතු දෙයක් බවත් ඔවුහු කියති.

කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා සඳහන් කරන්නේ හික්කඩුවේ දී දෙපිරිසක් අතර ගැටුමක් ඇති වූ බවයි.

නමුත් පොලිස් නිලධාරීන්ද එහි සිටියේය. එවැනි ගැටුමක් එම ස්ථානයේ සිදු නොවූ බව එදින සිද්ධියට අදාල දර්ශන රූගත කරන ලැබූ, අප වෙබ් අඩවියට තොරතුරු සපයන ගයාන් මහේෂ් පවසන්නේ එම අවස්ථාවේ දී එතැන කිසිදු ගැටුමක් ඇති නොවූ බවයි. ‍ගමේ පදිංචි කරුවන්ට එන්නත් නොදී පොළොන්නරුවෙන් පැමිණි අයට ද එන්නත් දීම සම්බන්ධයෙන් ගැමියන්‍ විරෝධය දැක්වූ බවත් එය ගැටුමක් නොවන බවත් හෙතෙම පවසයි.

මේ සම්බන්ධයෙන් කඩිනමින් සොයා බලන බව පැවසූ සෞඛ්‍ය අමාත්‍යවරයා අවම වශයෙන් පොලිස් නිලධාරීන්ගෙන් හෝ විමසුවේනම් එතැන ගැටුමක් ඇති නොවූ බව තහවුරු වනු ඇත. ඒ අනුව ‍සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කරනු ලබන පැහැදිලි කිරීම ඒකපාර්ශ්වික සාවද්‍ය ප්‍රකාශයකි.

මේ අතර, වාරණයට ලක්ව ඇති රජයේ වෛද්‍ය නිධාරීන්ගේ සංගමයේ ගාල්ලේ ප්‍රබලයකු වන වෛද්‍ය කමල් කොඩිකාර ද තම facebook පිටුවේ පැහැදිලිකිරීමක් කර තිබේ.

කමල් කොඩිකාරගේ පළකිරීම – මෙහි සම්පූර්ණ සටහන පහතින් සඳහන් කර ඇත.

ඔහු පවසන්නේ මෙම අවස්ථාවේ කරුණු දක්වන මහේෂ් ප්‍රසන්න හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නොව රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පදිංචි අයකු බවයි. එය සත්‍යයක් බව අපි ද කියමු. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස  එකිනෙක බෙදා වෙන්කර ඇත්තේ භෞතික සීමාවන් සළකුණු කරමින් නොවේ. මහේෂ් යනු ප්‍රදේශවාසීන්ට දන්නා හඳුනන ගමේ මිනිසෙකි.

ඔහුට යමක් පැහැදිලිව ප්‍රකාශ කළ හැකි බැවින් සහ ඔහු සතුව ඇති කරුණු ප්‍රකාශ කිරීමේ හැකියාවත් එඩිතර බවත් නිසා ඔහු එහි දී විරෝධය දක්වමින් අදහස් දක්වන්නේ තම අසල්වැසියන් වෙනුවෙනි. ඔහු කතා කරන්නේ ඔහු සම්බන්ධයෙන් නොවේ. මෙරට අසාධාරණයට ලක්වන අනුන් වෙනුවෙනි. අසාධාරණයට ලක්වන සෑම පුද්ගලයකුටම එළෙස කරුණු දැක්වීමේ හැකියාවක් හා එඩිතර බවක් නැත. එබැවින් හැකියාව ඇති තැනැත්තා ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙයි.

වෛද්‍ය කොඩිකාර පවසන්නේ රත්ගම පදිංචි පුද්ගලයකුට හික්කඩුවෙන් එන්නත් නොදෙන බවයි. නමුත් එම ස්ථානයේ දී පොළොන්නරුවෙන් පළමු මාත්‍රාව ලබාගත් අයට දෙවැනි මාත්‍රාව දුන් බව අපි සාධක සහිතව පෙන්වා ඇත. ඒ ගැන සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සොයා බැලූ බවක් දැනගන්නට නැත. ඊට අදාල ඡායාරූපමය සාක්ෂි අපි මීට පෙර ද ඉදිරිපත් කළ අතර මෙහි ද නැවත පළ කරන්නෙමු.

අරලගංවිල MOH කාර්යාලයෙන් පළමු එන්නත් මාත්‍රාව ලබාගත් පුද්ගලයකුට හික්කඩුවෙන් එන්නත් ලබාදුන් බවට ඇති සාක්ෂියක්

වෛද්‍ය කමල් කොඩිකාර පවසන්නේ මෙය සැළසුම් සහගතව වීඩියෝ කර තිබෙන බවයි. අප වෙබ් අඩවියේ නියෝජිතයා මෙවැනි සිද්ධියක් එම ස්ථානයේ සිදුවෙමින් පවතින බවට අප වෙත තොරතුරු ලබාදුන් වහාම අපගේ උපදෙස වූයේ විමසිලිමත්ව සිට අවශ්‍ය සියලු පටිගත කිරීම් කරන ලෙසයි. ඔහු මාධ්‍යයට නවකයකු වුව ද පළපුරුදු මාධ්‍යවේදියකු ලෙස කටයුතු කර තිබේ.

නමුත් මෙය අසත්‍ය කරුණක් නොවේ. වෛද්‍යවරයකු වන කමල් කොඩිකාර තම වෘතියට කිසිසේත්ම නොගැලපෙන ආකාරයෙන් ආචාරධර්ම විරෝධී ප්‍රකාශයක් ද සටහන් කර ඇත. ඔහු සටහන යනුවෙන් දක්වමින් මෙසේ සඳහන් කරයි. “මෙම සිදුවීමට සම්බන්ධ වූ අල්බරදුර මහේෂ් ප්‍රසන්න යන අය එක්සත් ජාතික පක්ෂයෙන් 2018 වර්ෂයේ දී රත්ගම ප්‍රාදේශීය සභාවට තරඟ කර පරායට පත්වූ අයකු බවත්”

ලොව සියලුම වෘත්තීන් එක හා සමාන යැයි පිළිගත්ත ද වෛද්‍යවෘත්තියට අමුතු ගෞරවයක් ලබාගැනීමේ කාර්යයට ප්‍රසිද්ධියක් උසුළන වාරණයට ලක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ගාල්ල ශාඛාවේ ක්‍රියාකාරිකයකු වන කමල් කොඩිකාර මහේෂ් නමැති තැනැත්තාකුගේ දේශපාලන මතයත්, ඔහු නියෝජනය කරන පක්ෂයක් හා ප්‍රාදේශීය සභාවට තරඟ කර පරාජය වූ යේ යැයි සඳහන් කිරීම වෛද්‍ය ආචාරධර්ම උල්ලංඝනය කිරීමකි.

කෙසේ වෙතත් අප වෙබ් අඩවියේ නියෝජිත ගයාන් ද තම පළමු එන්නත ලබාගෙන ඇත්ත් කොළඹ විහාර මහා දේවී උද්‍යාන පරිශ්‍රයෙනි. ඔහු හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ස්ථිර පදිංචිකරුවෙකි. ඔහුට ද එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදීම ප්‍රතික්ෂේප කර තිබේ. මේවා ගැන කමල් කොඩිකාර හෝ සෞඛ්‍ය අමාත්‍යවරයා දන්නේ නැත.

ඇතැම්විට හොරාගේ අම්මාගෙන් පේන අහන්නාක් සේ කාර්යයක නිරත වූ සෞඛ්‍ය ඇමතිවරයාව නිලධාරීන් විසින් නොමඟ යවන්නට ඇත.

මෙම කරුණු සම්බන්ධයෙන් තම වෘත්තීය ආචාරධර්මවලට පටහැනි ප්‍රකාශයක් කළ වෛද්‍ය කමල් කොඩිකාරගෙන් කරුණු විමසීමට අප උත්සාහ ගත්ත ද අනාවරණය වූයේ මේ වනවිට කොරෝනා ආසාදිතව සිටින ඔහු කොළඹ අයිඩීඑච් රෝහලට ඇතුළත් කර තිබෙන බවයි. බො‍පෝ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් ඔහු එම රෝහලට යවා ඇති බැවින් ඔහු සම්බන්ධ කරගැනීමට නොහැකි විය.

අපි ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන අතරම යම් පැහැදිලි කිරීමක් කරන්නේ නම් එයට ද අප වෙබ් අවකාශයේ ඉඩ ලබාදෙන බව ද දන්වා සිටිමු.

කමල් කොඩිකාරගේ සම්පූර්ණ සටහන. මෙය වෛද්‍ය ආචාරධර්ම උල්ලංඝනය කිරීමකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!