කරාපිටියෙන් පැන්න රෝගියා, පොලිසියත් මග දමා යයි

0
351

මගේ කාර්යාලයට දුවගෙන එන්නේ බස් කොන්දොස්තර වරයෙකි. හති හලමින් පැමිණි ඔු කියා සිටියේ

”සර්, සර්, කරාපිටියේ ඉස්පිරිතාලෙන් පැනලා කැනියුලා එකක් එක්ක ලෙඩෙක් අපේ බස් එකේ ආවා.”

එකෙනෙහිම අසුණින් නැගී සිටි මා ඔහු පසු පස ගියෙමා.

බසයේ මගීන් බැස අවසානය. එහෙත්,මා උත්සාහය අත් නොහලෙමි. බස් නැවතුම්පොලේ සෙනග අතරින් ‘කැනයුලාවක්’ ඇත්තේ කා ලඟදැයි සෙව්වෙමි. වාසනාවටමෙන් බස් නැවතුමෙන් බැස ඈත යන පුද්ගලයෙකු මට බස් කොන්දොස්තරවරයා පෙන්වා කියා සිටියේ ඒ, ඔහු බවය. මා ඔහු පසුපස දුවගෙන ගොස් ඔහු තවතාලූවෙමි.

ඔහු ශාන්තය. අහනදේට පිළිතුරු සපයයි.

මා, ” ඇයි මේ කැනියුලාවක් ඔයාගෙ අතේ ? හොස්පිටල් එකට නොකියාද ගාලු ආවෙ ? මොකද්ද ඔයාගෙ වාට්ටුව?” මගෙන් ඔහුට ප්‍රශ්න ගණනාවකි.

“. මං ඉන්නෙ ගාල්ලෙද?”

ඔහුගෙන් මගෙන් පෙරළා ප්‍රශ්න කරයි.

” ඔව්” මගේ පිළිතුර වීය.

නැවත කටහඬ අවදි කල ඔහු

” මං කරාපිටියෙ 18 වාට්ටුවෙ හිටියේ”.

එසේ පවසද්දී, මෙය මානසික රෝගීන් සඳහා ඇති වාට්ටුවක් බව රෝහල් පොලිසියේ සිටි මා දන්නා හෙයින් ඔහු මානසික රෝගියෙකු බවට නිර්ණය කර, ” එන්න මා එක්ක” මා ඔහුට කරුණාවෙන් කතා කලෙමි. ඔහු සමග පොලිස් මුරපොල කැටුව ගියෙමි.

පැමිණි වහාම මගේ ජංගම දරකථනයෙන් කරාපිටිය රෝහලට ඇමතුවෙමි. ඒ වෙන කිසිවක් නිසා නොව, මොහු මානසික ආතතිය, විශාදය වැළඳී ඇති රෝගියෙකු නිසාත්, රෝහලට ඇතුලත්ව සිටිනා රෝගියෙකුට අනවසරයෙන් පිටට යෑමට නොහැකි නිසාත්, ඔහු දැනට සිටින්නේ කරාපිටියේ නොව ගාල්ලේ බවට අවබෝධයක්වත් නොමැති නිසාත් ය.

වාට්ටුවෙන් මට ප්‍රතිචාර දැක්වූ අය කියා සිටියේ, රෝගියාව කෙසේ හෝ රෝහලට ගෙනැවිත් වාට්ටුවට බාර දෙන ලෙසය. එය නිවැරදිය. රෝහලට පැන ගිය රෝගියකු ගෙන්වා ගන්නට ප්‍රවාහන පහසුකම් නැත.

එහෙත්, පොලිසියේ පැය 24 ම ක්‍රියාත්මක වන ජංගම රථය ඇති බැවින් එමගින් රෝගියා කරාපිටිය රෝහලට යැවිය හැකි බව මට සිහිපත් විය. අනතුරුව මා පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපතිවරයා ඇමතුවෙමි. ඔහු ප්‍රිමනාප මෙන්ම යමක් තේරුම්ගත හැකි නිලධාරියෙකි. මගේ පැහැදිලි කිරීම අසා සිට,

“හරි, මං moblie එක එවන්නම්” යැයි කීවේය. එය හොඳ ප්‍රතිචාරයකි.

ඊට ටික වේලාවකින් මෙහෙයුම් මැදිරියෙන් මට දුරකථන ඇමතුමකි.

” mobile එකට පණිවුඩය කියලා තියෙන්නේ. දැන් ජීප් එක ඒවි” හොඳ ආරංචියකි.

මා ජීප් රථය එනතුරා රෝගියා සමග කුළුපගව කතාබහේ යෙදුනෙමි. එයට හේතුව, මානසික රෝගියෙකු වෙත ප්‍රිය උපදවන කතාව අවශ්‍යම බව මා දන්නා නිසාය. මෙසේ විනාඩි 25 ක් පමණ බලා සිටියත් ජංගම රථය පැමිණියේ නැත. මට ඇති කාර්යභාරය බරපතල නිසා රෝගියෙකු බලාගෙන සිටීම කල නොහැකි නිසාත් මා නැවත පාලන අංශයේ ස්ථානාධිපතිවරයා ඇමතුවෙමි.

බොහෝ වැඩ ඇති ඔහු ” හරි මං බලන්නම්” පැවසීය.

ඒ අනුව ඊට විනාඩි 5 කට පමණ පසු ජංගම සංචාර ජීප් රථය පැමිණියේය . ඉදිරියේ අසුන් ගෙන සිටින්නේ පොලිස් රියදුරු හා උප පොලිස් පරීක්ෂකවරයෙකි. පිටුපස අසුනේ සැරයන් කෙනෙකු හා කොස්තාපල්වරයෙකි. මා උප පොලිස් පරීක්ෂකවරයාට රෝගියා ගැන පහදා දුන්නෙමි. රෝගියාට ජීප් රථයට නගින්නැයි ඉල්ලිම රථය ඇතුලෙනි. රෝගියා ජිප් රථයේ පිටුපස ඇති දොර විවෘත කරගෙන නැංගේය. ජීප් රථයේ නිලධාරීන් බබාලා මෙන් ඇතුලේය. මේ මානසික රෝගියා සමග පිටුපස කිසිවෙකු නැත. ජීප් රථය ගමන් ගනිද්දිඋ ඔහු ජිප් රථයෙන් පැන්නොත් යැයි මට බියක් ඇතිවිය.

අනතුරුව, මා දෙසට හැරුණ උප පොලි පරීක්ෂකවරයා මටද ජීප් රථයය නගින්නැයි කියා කියා සිටී. එවිට මා කියා සිටියේ

 “මම යන්නේ ඇයි ? ඔතැන හතර දෙනෙක් ඉදිද්දි. මට මෙතැන වැඩ තියෙනවානේ.”

මා එසේ කියද්දී  ” කවුද PCR වලට ෆෝර්ම්ස් පුරවන්නෙ?” යැයි ඔහු මගෙන් විමසද්දී මම එතැනින් මෑත් වුණෙමි.

සිදුවන්නේ කුමක් දැයි මම බලා සිටියෙමි.  ජීප් රථයේ පිටුපස අසුන්ගෙන සිටි රෝගියා දොර විවෘත කර බිමට බැස්සේය. ඔහු බහිනවාත් සමගම ජීප් රථය පිටව ගියේය.

” ඇයි බැස්සේ?”. මා ඔහුගෙන් විමසුවෙමි.

“. මට බහින්න කීවා”

ජීප් රථය යුතුකම් වගකීම් පැහැර හැරියාට මා එසේ කරන්නේ නැත. මා ජීවිතාරක්ෂකයෙක්මි. මා නැවත රෝහලට කතා කලෙමි.

“රෝගියා එවන්න පහසුකම් නෑ. එ් නිසා මා එයාව බස් එකක ගේට්ටුව ලඟට එවනවා. එතැනට කවුරු හරි එවන්න පුළුවන් ද ?” යි විමසුවෙමි. ප්‍රතිචාරය හොඳය. පිටත්වන්නට ආසන්නව ඇති බස් රථයට ගොඩවී, රෝගියා ගැන පහදා කරාපිටිය රෝහලේ ගේට්ටුවට බාර දෙන්නට හැකිදැයි විමසුවෙමි. ඔවුහු කැමැත්ත ඵල කළහ.  

අවසානයේ රෝගියා රෝහල වෙත යැව්වේ ඒ ආකාරයෙනි.

මා ලියන්නට බය නැත. ලැබෙන ප්‍රතිඵලය කෙසේ වුවත් මේ කතාව මා පොලිසියේ පොතේද ලීවෙමි. ඵලදායිතාවය තුට්ටුවකට මායිම් නොකර, මහජනයාගෙන් පඩි කන අප, මහජනයාට සේවය කල යුතු නොවේද? මෙම සිද්ධිය දෑසින් දුටුවේ කාන්තා පොලිස් සැරයන් කල්‍යාණිය.

ගාල්ල ප්‍රධාන බස් නැවතුම්පොළේ ජීවිතාරක්ෂක නිලධාරියකු ලෙස සේවය කරන පොලිස් සැැරයන් විමල් ජයසේකර මහතා තැබූ සටහනකි.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here