ගාල්ලේ සාවද්‍ය තොරතුරුවලට කලබල එපා

0
186

ගාල්ල නගර සභාවේ විදුලි අංශයේ නිලධාරියකු කොරෝනා ආසාදිතයකු බවට හඳුනාගෙන කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙන බවට ගාල්ල පුරා පැතිරයන පුවතේ සහ විද්‍යාලෝක විද්‍යාලයේ උසස් පෙළ විභාගයට පෙනී සිටි හිමිනමකට කොරෝනා ආසාදනය වී ඇතැයි යන පුවතේ කිසිදු සත්‍යතාවක් නොමැති බව rata.lk වෙබ් අඩවියේ අපි ඔබට වගකීමෙන් යුතුව ප්‍රකාශ කර සිටින්නෙමු.

ඇතැම් පුද්ගලයන් පවසන්නේ ගාල්ල මහ නගර සභාවේ සේවකයකු කොරෝනා ආසාදිතයකු බවට තහවරු වී නගර සභාව වසා දමා ඇති බවයි. එමෙන්ම විද්‍යාලෝක විද්‍යාලයේ විභාගයට පෙනී සිටි භික්ෂුවක් කොරෝනා ආසාදනය වී ගිලන් රථයකින් රෝහලට ගෙන ගිය බවටත් කට කතා පැතිර යයි.

මේ පිළිබඳ අපි වගකිව යුතු සෞඛ්‍ය බලධාරීන් කිහිප දෙනකුගෙන්ම විමසා තොරතුරු සොයා බැලුවෙමු. ගාල්ල මහ නගර සභාවේ සේවිකාවක් අද සාමාන්‍ය රෝගී තත්ත්වයන්ගෙන් පෙළීම හේතුවෙන් එහි සෞඛ්‍ය අංශයෙන් ප්‍රතිකාර ලබාගෙන තිබේ. මෙම නිලධාරිනිය පසුගිය සතියේ අවමංගල්‍ය උත්සවයකට සහභාගී ඇති බවත් එම අවමංගල්‍ය උත්සවය සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ පිරිසක් (ඇඟළුම් කම්හලට සම්බන්ධ පිරිසක් නොවේ) පැමිණි බවත් පවසා ඇත.

මෙම කරුණු හේතුවෙන් ඇය කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර පීසීආර් පරීක්ෂණයක් සඳහා යොමු කිරීමට ගාල්ල මහ නගර සභාවේ බලධාරීන් කටයුතු කර ඇත. මේ වනවිට එම පරීක්ෂණයේ ප්‍රතිඵල පැමිණෙන තුරු ඇය කරාපිටිය ශික්ෂණ රෝහලේ නේවාසිකව සිටියි.

විද්‍යාලෝක විද්‍යාලයේ අද උසස් පෙළ විභාගයට පැමිණි හිමිනමක් අධික හිසරදයෙන් පෙළීම හේතුවෙන් ඒ බව ගාල්ල නගර සභාවේ සෞඛ්‍ය අංශයට දැනුම් දී ඇත. සෞඛ්‍ය අංශයෙන් දී ඇති උපදෙස වන්නේ මෙම හිමියන් කරාපිටිය රෝහලට ඇතුළත් කිරීම වඩාත් සුදුසු බවයි. එ් අනුව කරාපිටිය රෝහලට ගිලන්රථයකින් රැගෙන ගිය එම හිමියන්ට පීසීආර් පරීක්ෂණයක් සිදුකර තිබේ.

මෙම ‍හිමියන්ට සහ ගාල්ල මහ නගර සභාවේ සේවිකාව යන දෙදෙනාටම අදාල පීසීආර් පරීක්ෂණ සිදුකළ ද මේ දක්වා ප්‍රතිඵල ලැබී නැත. එමෙන් ම භික්ෂුවත් එම නිලධාරිනියත් කිසිදු කොරෝනා ආසාදිතයකුගේ ස්පර්ශකයන් ලෙස ද හඳුනාගෙන නැත. මේ දිනවල ඇති වසංගත තත්ත්වය හේතුවෙන් අසනීප තත්ත්වයන්ගෙන් පෙලෙන පුද්ගලයන්ගේ මෙන්ම ‍එක් රෝග ලක්ෂණයක් හෝ පෙන්වන පුද්ගලයන් පීසීආර් පරීක්ෂණවලට යොමුකරන බැවින් මෙලෙස පරීක්ෂණ සිදුකර තිබේ.

නමුත් නිවැරදි තොරතුරු නොදන්නා පිරිස් විවිධ කටකතා පතුරුවන බැවින් ප්‍රදේශය පුරාම අනවශ්‍ය බියක් හටගෙන තිබේ. නගර සභාවේ මෙතෙක් කිසිදු කොරෝනා ආසාදිතයකු වාර්තා වී නැති බවත් විද්‍යාලෝක විද්‍යාලයේ හෝ ගාල්ල දිස්ත්‍රික්කයේ උසස් පෙළ විභාගය පැවැත්වෙන කිසිදු විභාග මධ්‍යස්ථානයක හෝ කොරෝනා ආසාදිතයන් වාර්තා වී නොමැති බවත් අපි වගකීමෙන් යුතුව පවසන්නෙමු.

එබැවින් සාමාන්‍ය පරිදි හෙට (14) දිනයේ ද විභාග කටයුතු පැවැත්වෙන අතර නගර සභාවේ ද සාමාන්‍ය කටයුතු සිදුවෙයි. ‍පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵලය අනුව වෙනසක් සිදුවන්නේ නම් rata.lk අපි ඔබට නොපමාව ඒ බව දන්වා සිටින්නෙමු.

නමුත් ගාල්ලට අවදානමක් ඇති බව නැවත නැවතත් අපි ප්‍රකාශ කරන්නෙමු. කඩවත සිට අධිවේගී මාර්ග බසයක පසුගිය 03 වැනි දා පැමිණ බද්දේගම බසයෙන් පෝද්දලට ගොස් යළි 06 දා පෝද්දල සිට ගාල්ලට බසයෙන් පැමිණ කඩවතට අධිවේගී මාර්ගයේ ගමන් ගත් කොරෝනා ආසාදිතයා සමග බසයේ ගමන්ගත් කිසිවෙකු මෙතෙක් හමු වී නැත. පසුගිය 04 වැනිදා කඩවත සිට ගාල්ලේ වටරැකට ආ ආසාදිත තරුණිය පැමිණි කඩවත් ගාල්ල අධිවේගී මාර්ග බසයේ ආ 35 දෙනකු මෙතෙක් සොයාගෙන නැත. වදුරඹට ආ ආසාදිත තරුණිය ගමන්ගත් මාපලගම බසයේ ගිය පිරිස ද හඳුනාගෙන නැත. එබැවින් ගාල්ලට අවදානමක් තිබේ. කලබල නොවී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග උපරිම අයුරින් පිළිපැදීම ඔබ සැමගේ ආරක්ෂාවට හේතුවන අතරම එය ඔබගේ වගකීම හා යුතුකම ද වන බව සිහි තබාගත යුතුය.

සටහන – සජීව විජේවීර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here