සූර්යයා වටා ඉතාමත් අලංකාර දේදුන්නක් වැනි දර්ශනයක් අද (29) දහවල් ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවලට දර්ශනය වී තිබිණි.
එහි ඡායාරූප හා වීඩියෝ දර්ශන රැසක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබෙන අතර බොහෝ දෙනකු පවසන්නේ මෙය ඉදිරියේ සෞභාග්‍යවත් කාලයක් උදාවීමේ පෙරනිමිත්තක් බවයි.
නමුත් එය මිත්‍යාවකි.
මෙය ස්වභාවික සංසිද්ධියකි. එහි කිසිදු සෞභාග්‍යයක් හෝ දුර්භාග්‍යයක් හෝ නැත. නමුත් දුටුවන්ගේ නෙත් වශී කරවන දර්ශනයකි.
මෙවැනි වක්‍රාකාර දේදුන්නක් වැනි දසුන ඇතුම් දිනවල දී සූර්යයා වටා පමණක් නොව හොඳින් සඳ පායා ඇති දිනවල දී චන්ද්‍රයා වටා ද දක්නට ලැබෙයි.
මෙය හඳුන්වන්නේ හැලෝස් යනුවෙනි. විද්‍යාඥයන් මෙය අංශක 22ක හැලෝස් ලෙස හඳුන්වයි. එය සූර්යයා වටා හෝ චන්ද්‍රයා වටා අංශක 22ක රවුම් අරයක් සහිතව දක්නට ලැබෙන බැවින් ඒ නම ලබා දී තිබේ.
සඳ වටා මෙවැනි වළල්ලක් ඇතිවීම යනු ඉක්මණින් වැසි ඇතවීමේ පෙරනිමිත්තක් බව පැරැන්නෝ විශ්වාස කළහ. එහි සත්‍යයක් තිබේ.
හැලෝස් යනු අප සිටින පොළොව මට්ටමට වඩා අඩි 20,000ක් හෙවත් කිලෝ මීටර 06ක් හෝ ඊට වැඩි උසකින් පාවී යන සිහින් සිරස් වළාකුළුවල සළකුණකි. මෙවැනි වළාකුළුවල කුඩා අයිස් ස්ඵටික මිලියන ගණනක් අඩංගුය. හැලෝස් හටගන්නේ සූර්යාලෝකය හෝ චන්ද්‍රාලෝකය හෝ මෙම අයිස් ස්ඵටික හරහා ගමන්කිරීමේ දී ආලෝකය වර්තනය වීමෙන් මෙම අපූරු දර්ශනය මැවේ.
ඔබ සිටින ස්ථානය අනුව සූර්යයා හෝ සඳ දෙස බැලීමේ දී එම ගෝලාකාර දේදුන්න වැනි දර්ශනය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්ව දර්ශනය වේ. සෑම කෙනෙකුටම එය දර්ශනය වන්නේ එක හා සමාන වූ සහ ගෝලාකර සූර්යයා හෝ චන්ද්‍රයා වටා ඇති එවැනිම තවත් වක්‍රයක් ලෙසිනි.
චන්ද්‍රයාගේ ආලෝකය සූර්යාලෝකය තරම් දීප්තිමත් නොවන බැවින් චන්ද්‍ර හැලෝස් බොහෝ දුරට වර්ණය අඩුව දක්නට ලැබෙයි. නමුත් සූර්යයා වටා ඇති සූර්ය හැලෝස් වඩාත් කැපී පෙනේ.