spot_img
spot_imgspot_img

රිච්මන්ඩ් – නාලන්ද විදුහල්පති පොරය හා පාසලේ දේශපාලනය

පුවත්

විදෙස්

රිච්මන්ඩ් විද්‍යාලය මෙරට ප්‍රධාන පෙලේ ‍ජාතික පාසලකි. රටේ වත්මන් අගමැති හිටපු ජනාධිපති ඇතුළු දේශපාලන බල පුළුවන්කාරයන් රැසක් අධ්‍යාපනය ලැබූ පාසලක් ලෙස රිච්මන්ඩ් විද්‍යාලයට මෙරට දේශපාලන භූමිකාවේත් අධ්‍යාපනික ක්ෂේත්‍රයේත් ඇත්තේ අද්විතීය බලපුළුවන්කාර කමකි.

නමුත් මේ ලිපිය ලියන ඊයේ (2021 ජුනි 13) රිච්මන්ඩ් විද්‍යාලයට තම පාසලේ සිටි ස්ථිර විදුහල්පතිවරයා අහිමිවිය. පසුගිය 2020 ඔක්තෝබර් මාසයේ 27 වැනි දා රිච්මන්ඩ් විද්‍යාලයට ඔහු පැමිණියේ එම පාසල සතු සියළු බල පුළුවන්කාරකම් හමුවේය.

ඔහු මහින්දයට ගැනීමට මහින්ද විද්‍යාලයේ විශාල පිරිසක් සහ මහින්දයට සම්බන්ධ දේශපාලකයෝ ද උත්සාහ ගනිද්දී ඔහුගේ තෝරාගැනීම වූයේ කොළඹ නාලන්දයයි. ඉන් පසු රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි සිසුන්ගේ දැවැන්ත මෙහෙයුමක ප්‍රතිඵලය වූයේ වත්තුහේවා රිච්මන්ඩ් විද්‍යාලයට පැමිණීමයි.

ඔහු පැමිණියේ තාවකාලික පත්වීමකට නොවේ. වැඩ බැලීමට හෝ වැඩ ආවරණය කිරීමට ද නොවේ. ඔහු පැමිණියේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් හා රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් අනුමත වූ ස්ථිර විදුහල්පතිවරයා ලෙසිනි. වත්තුහේවාගේ හැකියාවන් පිළිබඳ විශ්වාසය තබා සිටි රිච්මන්ඩ්වරු සැනසුම් සුසුම් හෙළුවේ එබැවිනි.

නමුත් ටික දිනකින් දැනගන්නට ලැබුණේ නාලන්දයෙන් පැමිණි වත්තුහේවා යළි නාලන්දා විද්‍යාලයට යන බවයි. මේ පිළිබඳ විමසූ සෑම අවස්ථාවක දී ම වත්තුහේවාගේ මුඛයෙන් පිටවූයේ එවැනි දෙයක් සිදු නොවන බව යැයි පැවසූ රිච්මන්ඩ් ආදි ශිෂ්‍යයෝ රැසක් විදුහල්පතිවරයාගේ වදන් විශ්වාස කළහ.

කොළඹ නාලන්දා විද්‍යාලයය

නමුත් rata.lk අප දිගින් දිගට ම අනාවරණය කළේ ඔක්තෝබර් 27 වැනි දා රිච්මන්ඩ් විදයාලයේ ස්ථිර විදුහල්පති තනතුරේ වැඩ භාරගත් වත්තුහේවා කිසිදු හිරිකිතයකින් හෝ ලැජ්ජාවකින් තොරව රිච්මන්ඩ් විද්‍යාලයේ අනාගතය, එහි දරුවන්ගේ අධ්‍යාපනය පමණක් නොව රිච්මන්ඩ් ප්‍රජාවගේ සමස්ත අපේක්ෂාවන් පසෙක තබා දෙසැම්බර් මස 04 වැනි දා ඔහු සිටි නාලන්දා විද්‍යාලයේ පුරප්පාඩු වූ ස්ථිර විදුහල්පති තනතුරට දෙසැම්බර් මාසයේ දී ම අයදුම් කර ඇති බවයි.

විදුහල්පතිවරයකු ස්ථිර වශයෙන් පත්කර වසරක් ගතවීමට මත්තෙන් වෙනත් පාසලකට ඔහු පත්කර යවා කලින් පාසලේ විදුහල්පතිධූරය පුරප්පාඩු කිරීම කොතරම් සදාචාරාත්මක ද යන්න අධ්‍යාපන ඇමති ජී.එල්.පීරිස් සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් කපිල පෙරේරා යන දෙදෙනා වෙන ම විමසා බැලිය යුතුය.

2021 ජූලි මස 13 වැනි දා රිච්මන්ඩ් විද්‍යාලයට විදුහල්පතිවරයකු අහිමිවිය.

මෙලෙස රිච්මන්ඩ් විදුහල්පතිවරයා කොළඹ නාලන්දා විද්‍යාලයේ විදුහල්පති තනතුරට යළි යන බවත් රිච්මන්ඩ් විද්‍යාලය විදුහල්පතිවරයකු නොමැතිව අමාරුවේ වැටෙන බවත් rata.lk අපි අවස්ථා ගණනාවක දී පැවසූ විට විදුහල්පති වත්තුහේවා තැන තැන ප්‍රසිද්ධියේ ම කියා තිබුණේ rata.lk වෙබ් අඩවියටත් මෙම සටහන ලියන ලේඛකයාටත් ඔහු ගැන සෙවීමට හැර වෙනත් වැඩක් නැති බවයි.

නමුත් අපි අනාවරණය නොකළ කරුණු කිහිපයක් ද මෙහි දී අනාවරණය කරන්නේ රටේ ජනතාව විදුහල්පතිවරුන්ගේ කෙරුවාවන් ගැන දැනගත යුතු බැවිනි.

අප දන්නාතරමින් වත්තුහේවාට රිච්ම්න්ඩ් විද්‍යාලයට පැමිණෙ‍න විටත් එහි රැඳී සිටීමේ වුවමනාවක් වූයේ නැත. ඔහු නාලන්දා විද්‍යාලයේ සිය නිල නිවස භාර නොදී සිය පවුලේ සාමාජිකයන් එහි රඳවා තැබුවේ එබැවිනි.

රිච්ම්න්ඩ් විද්‍යාලයෙන් ද වත්තුහේවාට වි‍ශාල පැකේජයක් ලැබී තිබිණි. මේ පැකේජයට නොනිල නිල නිවසක් ද අයත්ව තිබිණි. නමුත් ඔහු නැවතී සිටියේ තමන්ට පුද්ගලික සම්බන්ධයක් ඇති නිවසකය. මේ නිසා නොනිල නිල නිවසකට වෙන්කර තිබූ රුපියල් 80,000කට වැඩි මාසික වාරිකයට කුමක් වූවා දැයි අප දන්නේ නැත.

රිච්මන්ඩ් විද්‍යාලයෙන් විදුහල්පතිවරයාට සුපිරි මෝටර් රථයක් ද නුදුරු දිනක ලැබීමට නියමිතව තිබිණි. මේවා සත්‍ය වුව ද ඒ පිළිබඳ තොරතුරු රිච්මන්ඩ් වේවා, නාලන්ද වේවා වෙනත් පාසලක වේවා අල්ලස් හෝ දූෂණ ලෙස පැමිණිලි වන්නේ නැත.

ජාතික පාසල්වලට යන විදුහල්පතිවරු ඒ ඒ පාසල්වල ආදි සිසුන් සහ සුබ පතන්නන්ගෙන් තමන් වෙනුවෙන් පැකේජ ඉල්ලන ප්‍රවණතාවක් තිබේ. ඒ ඒ පාසල්වලින් බිහිවූ නාමධාරී මාධ්‍යවේදීන් කොතෙක් සිටිය ද තම විද්‍යාලයට කැළලක් වන බව පවසමින් ලියන්නේ ද නැත. අන් අය ලියන එක ද නවතා දමයි.

(මෙවැනි විදුහල්පතිවරු පිළිබඳ අපි සාක්ෂි සහිතව ඉදිරියේ දී සටහන් කරන්නෙමු)

කොළඹ සුපිරි පාසල්වලින් පමණක් නොව වෙනත් දිස්ත්‍රික්කයන් හි සුපිරි පාසල්වලින් ද විදුහල්පතිවරුන්ට මෙවැනි පැකේජ පිරිනමයි. ඇතැම් විට ඒවා සුපිරි වාහන, ඔවුන්ගේ පවුල්වෙල වෙනත් සාමාජිකයන් වෙනුවෙන් සින්නක්කර ඔප්පුවලින් ලබාදුන් සුපිරි නිවාස, මාසිකව ලැබෙන ලක්ෂ 03-04 දීමනා දක්වා පුළුල් වෙයි.

විදුහල්පතිවරු පවසන්නේ ජාතික පාසලක් යනු වෙනම සංස්කෘතියක් බවයි. ඒ බව එ්වායේ ආදි සිසු සිසුවියෝ ද කියති. මේ නිසාම එම සංස්කෘතිය නඩත්තු කිරීමට විදුහල්පති වැටුප ප්‍රමාණවත් නැත. ඒ නිසා හොරකම් නොකර සිටීමට නම් පැකේජ අවශ්‍යබව තම පාසල් සුපිරි පාසල් බවට පත්කිරීමට වෙර දරන්‍නන්ගේත් ඒවායින් අනිසි ප්‍රතිඵල ගැනීමට බලාපොරොත්තුවන පිරිසගේත් මතයයි.

ඒ නිසා වර්තමාන විදුහල්පතිවරුන්ට පැකේජ ලැබෙන බව මේ ලේඛකයා සමග අධ්‍යාපන අමාත්‍යාංශයේ ‍වත්මන් ලේකම්වරයා ද වරක් දුරකථන සාකච්ඡාවක දී කීවේය.

තිලක් වත්තුහේවා රිච්මන්ඩ් විද්‍යාලයට පස්ස හරවා කොළඹ නාලන්දා විද්‍යාලයට යාමේ ක්‍රියාන්විතය පිටිපස සිටින්නේ එක්තරා ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයෙක් සහ දේශපාලනඥයෙක් බව රිච්මන්ඩ්වරු ම කියති.

රිච්ම්න්ඩ් ආදි සිසුන් වූ අගමැති මහින්ද රාජපක්ෂ හෝ අගමැති ලේකම් ගාමිණී සේදර සෙනරත් ට හෝ මේ ගමන වළක්වන්නට හැකි වූයේ නැත.

වත්තුහේවා නාලන්දා විද්‍යාලයට යන පුවත දැනගත් වහාම අපි ඒ පිළිබඳ විටින් විට අධ්‍යාපන අමාත්‍යාංශයේ බලධාරීන්ගෙන් විමසුවෙමු.

“සමහර දේශපාලනඥයොයි, දේශපාලනයට සම්බන්ධ ලොක්කොයි ඉන්නවා. එයාලා හැමදාම අහන්නේ මහින්දයේ ගාමිණී ජයවර්ධන සහ රිච්මන්ඩ් තිලක් වත්තුහේවා දෙන්නට ම ඒ විදියටම ඉන්න දෙන්න කියලා. ගාමිණී ජයවර්ධනටත් ඕන ඉන්න. ඒත් තිලක් වත්තුහේවා නම් ඉන්නේ නාලන්දෙට තමන්ට යන්න ලැබෙන්නේ කවදද කියලා බල බලා. ඔන්න ඕක තමයි වෙනස” යනුවෙන් කීහ.

මේ පිළිබඳ වෙනත් අයගෙන් අසා ඵලක් නොමැති බැවින් අපි සෘජුවම තිලක් වත්තුහේවාගෙන් විමසුවෙමු. ඔහු මෙසේ කීවේය.

තිලක් වත්තුහේවා

“මම තාම දන්නේ නෑ වෙන්නේ මොකක් ද කියලා. රිච්මන්ඩ් විද්‍යාලයේ රාජකාරී ආරම්භ කළාට පස්සේ මම නාලන්දා විද්‍යාලයේ විදුහල්පතිධූරයට සම්මුඛ පරීක්ෂණ සඳහා ගියා. මා තෝරාගෙන ද කියා මා දන්නේ නැහැ. මට රිච්මන්ඩ් විද්‍යාලයේ විදුහල්පතිධූරය දුන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන්. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මට කීවොත් වෙනත් පාසලකට යන්න කියලා මට යාමට සිදුවෙනවා.”

මෙලෙස ඔහුගෙන් විමසුවේ පසුගිය ජුනි 18 වැනි දා ය.

තිලක් වත්තුහේවා රිච්මන්ඩ් විද්‍යාලයේ ස්ථිර විදුහල්පතිලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් පත්කර යළි වසරක් ගතවීමටත් පෙර ඔහු නාලන්දා විද්‍යාලයේ ස්ථිර විදුහ්ලපතිවරයා ලෙස පත්කරන්නේ ද එම කොමිෂම මගිනි. විදුහල්පතිවරයකු ස්ථිර යැයි පවසන්නේ පත්වීම් ලිපියේ පමණක් ද යන්න විමසා බැලිය යුතුය. ස්ථිර පදනම යටතේ පත්කරන විදුහල්පතිවරයකු අවම වශයෙන් වසර 03ක් හෝ පාසලක් සිටිය යුතු නොවේද ?

රාජ්‍ය සේවා කොමිසමේ ලේකම් ඒ.ඩබ්ලිව්.ආර්.විමලවීර කියා සිටියේ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් තෝරාපත්කර එවනු ලබන විදුහල්පතිවරුන්ගේ සුදුසුකම් පරීක්ෂාකර බලා කොමිසම මගින් අනුමත කරන බවයි. එහි දී විදුහල්පතිවරයකු පාසලක සිටි කාලය හෝ එහි සදාචාරාත්මක බව ගැන හෝ සොයා නොබලන බව ද හෙතෙම කීවේය.

මේ පිළිබඳ විමසීමේ දී අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් කපිල පෙරේරා කියා සිටියේ විදුහල්පතිවරයකු පත්වීම් භාරගැනීමෙන් පසු පාසලක වසර 03ක් අවම වශයෙන් සිටිය යුතුයැයි කියා නීතියක් නොතිබූ බවයි. එය රාජ්‍ය සේවා පත්වීම් ලබාදීමේ දී රීතියක් ලෙස භාවිතා කරන ලද දෙයක් බවත් ඒ අනුව යම් අයකුට තමන් කැමති විද්‍යාලයකට යාමේ අවස්ථාවක් ඇති බවත් හෙතෙම කීවේය. වත්තුහේවා නාලන්දා විද්‍යාලයට අයදුම් කර ඇත්තේ එවැනි පදනමකින් බව ද අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරාය කියා සිටියේය.

මෙය ඉතාමත් හානිකර සහ භයානක තත්ත්වයකි. ගාල්ල, මහනුවර, කුරුණෑගල, කෑගල්ල වැනි දිස්ත්‍රික්කයන් හි ජාතික පාසල්වල සිටින ස්ථිර විදුහල්පතිවරුන් අප පෙර කී පරිදි පැකේජ සහ පහසුකම් ලබාගනිමින් කොළඹ සුපිරි පාසල්වලට හිතු මතයේ යාමට එය මඟ පාදන්නකි.

කොළඹ පාසලක විදුහල්පතිධූරය යනු අධි වරප්‍රසාදිත සහ පහසුකම් සහිත විදුහල්පතිධූරයක් බවත්, ඔවුන්ට ලැබෙන්නා වූ සමාජ පිළිගැනීම හා බලය අසීමාන්තික බවත් අප කවුරුත් දන්නා කරුණකි.

ඒ බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් කපිල පෙරේරා ද පිළිගනී. ඔහු පවසන්නේ කොළඹ ජාතික පාසලක විදුහල්පතිවරයකු අමාත්‍යවරයකුට වඩා ප්‍ර‍බල පුද්ගලයකු බවයි. එබැවින් එවැනි පාසලකට ඕනෑම විදුහල්පතිවරයකු පත්වී පැමිණීමට කැමැති බවත් එවැනි තනතුරක් වෙනුවෙන් ඔවුන් වෙනත් පාසලක් බිල්ලට දීම අරුමයක් නොවනු ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් කපිල පෙරේරා

මෙවැනි වාතාවරණයක දී තිලක් වත්තුහේවා ගාල්ලේ රිච්ම්න්ඩ් විද්‍යාලයට පිටුපා කොළඹ නාලන්දා විද්‍යාලයේ විදුහල්පති ධූරයට පත්වීම පුදුමයක් නොවේ.

ගැටලුව ඇත්තේ ඔහුගේ නොවේ පාසලක පත්කරන ස්ථිර විදුහල්පතිවරයකු වසරක් ගතවීමට පෙර වෙනත් පාසලකට යැවීමට තරම් අධ්‍යාපන අමාත්‍යාංශයට ප්‍රතිපත්තියක් නොමැතිවීමයි. අධ්‍යාපන බලධාරීන් මේ වරද නිවැරදි නොකළහොත් කොළඹ පාසල්වලට හැර අනෙකුත් පාසල්වලට ස්ථිර විදුහල්පතිවරු නොමැතිවනු ඇත.

දැන් රිච්මන්ඩ් විද්‍යාලයට සිදුව තිබෙන්නේ එම ඛේදවාචකයට මුහුණ දීමටය.

සියල්ල සිදු‍වන්නේ දේශපාලකයන්ගේ වුවමනාවටය. සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන් සහ දේශපාලකයෝ අධ්‍යාපන ප්‍රතිපත්ති පාවා දෙමින් තමන්ට අභිමත විදුහල්පතිවරු ඒ ඒ පාසල්වලට පත්කරති. මෙය අධ්‍යාපන ඛේදවාචකයකට පාර කැපීමකි.

රටට අධ්‍යාපන ප්‍රතිපත්තියක් තිබිය යුතුය. අධ්‍යාපන ප්‍රතිපත්තියක් යනු පොතේ පතේ ඇති සටහන් සහ විෂය නිර්දේශ, විභාග ක්‍රම පමණක් නොවේ. සියලු පාසල්වලට, සියලු දරුවන්ට සම අධ්‍යාපන අයිතිය ලැබිය යුතු ක්‍රමවේදයකි.

පාලකයන්ට හා ක්‍රීඩකයන්ට ඕනෑ විදියට විදුහල්පතිවරු මාරු කළ හැකි ක්‍රමවේදයක් රටේ පවතින්නේ නම් රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් මෙවැනි පත්වීම් සඳහා අනුමැතිය ලබාගත යුතු ද යන්න විමසා බැලිය යුතුය.

රාජ්‍ය සේවා කොමිෂන් සභාව

මේ ඊනියා විදුහල්පති මාරුවට වැට බැඳිය යුතුය. සුපිරි පහසුකම් අත්විදින විදුහල්පති භූමිකාවට නැවතීමේ තිත තැබිය යුතුය. විදුහල්පති වැටුපට අමතරව, විදුහලේ ඇති නිල නිවසට අමතරව වෙනත් දීමනා, රථ වාහන, ඉන්ධන දීමනා, නිල නිවාස පමණක් නොව සින්නක්කරව ම තෑගි ලැබෙන නිවාස හා ඉඩකඩම් සහිත විදුහල්පති ධූර මෙරට නොතිබිය යුතුය.

ඒ සියල්ලට නැවතීමේ තිත නොතැබුවහොත් කොළඹට විදුහල්පතිවරු නිර්මාණය කරන පුහුණු පාසල් බවට අනෙකුත් ජාතික පාසල් පත්වීම වැළැක්වීමට නොහැකිවනු ඇත.

රිච්මන්ඩ් විදුහල්පතිගේ නික්මයාම හා පාසලට රිංගාගත් දේශපාලනය  තුළින් පෙනෙන අධ්‍යාපනයේ විනාශය සිය්ලලෝම තේරුම්ගත යුතුය.

සජීව විජේවීර

3 COMMENTS

  1. කිල්ලෝටයට හෙණ ගැහුවයින් පස්සේ, බුලත් පයිය හෙව්වා වගේ.

  2. විදුහල්පති වරුන්ට අවුරුද්ද ක් නොහිටියත් වෙන පාසලකට යන්න පුළුවන් . එහෙනම් ගුරුවරුන් ටත් ඒ අයිතිය තියෙන්න ඕන . අවුරුදු 5 නීතිය ගුරුවරුන් ට අදාළ වෙන්නේ කෙහොමද . වෘත්තිය සමිති මෙව ගැන කතා කරන්නේ නැහැ.

  3. සජීව විජේවීරට package මතක් වෙන්නෙ දැන් ද ? මහින්ද විද්‍යාලයේ හිටපු විදුහල්පති ගාමිණී ජයවර්ධනට එළව එළවා පහර දී නව විදුහල්පති වරයෙක් කැන්දා ගන්නා ලදී පළමු පැකේජය ම තමාගේ නිල නිවසට ලක්ෂ 30ක ලී බඩු උපකරණය. මේ නිසා තම කට ද අනෙක් පස ද එකට මාට්ටු වීම නිසා අද ඒ ගැන කතා නැත. මාස දහයක් richmond විද්‍යාලයේ සේවය කළ ද ඔහු ඉතා කීර්තිමත් විදුහල්පතිවරයෙකි. රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන්ට පැකේජ් ලබාදීම මහලොකු දෙයක් නොවේ. අ පැකේජයන් ට තම රාජකාරිය කළේ නම් අදත් ඔහු richmond එකේ විදුහල්පති ය . පසුගිය කාල වකවානුව රිච්මන්ඩ් විද්‍යාලයේ දී මුදල් හම්බ කරන්නේ නම් ඕනෑ තරම් අවස්ථා තිබුණි . විජේවීර රට මේවා පෙනෙන්නේ නැත තම පාසලේ විදුහල්පති පැකේජ් ඉල්ලද්දී වෙනත් කීර්තිමත් විදුහල්පතිවරු පිට ඒවා පැටවීමට උත්සාහ දරයි. ඔහු මෙයට පෙර නාලන්දා විද්‍යාලයේ විදුහල්පති ධූරයෙන් එළියට ඇද දමද්දී විජේවීර ලාට එය පෙනුනේ නැත. එක එකාගේ ඕනෑකම් ඉටුකිරීම සඳහා නාලන්දා විද්‍යාලය පුරප්පාඩු කොට ඔව් එළියට ඇද දැමුවා දෙවන අවස්ථාවේ ද ඔහු ඒ සඳහා සුදුසුකම් ඇති බව ඔප්පු කළේ අධ්‍යාපන ලේකම්ට හා අධ්‍යාපන ඇමතිට මෙන්ම ඒ සඳහා දායක වුණු සියලු දෙනාටම හොඳ පාඩමක් උගන්වමනි. කීර්තිමත් රාජ්‍ය සේවකයන්ගේ චරිත ඝාතනය කරමින් තම ජඩ මාධ්‍ය කරණයේ යෙදෙන සජීව විජේවීර ලාට අනාගතයක් නැත

Leave a Reply to චන්දන Cancel reply

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!