නිකාබ තහනමට විරුද්ධ වුණේ රනිල්

0
48

යහපාලන ආණ්ඩුවේ මුස්ලිම් මැති ඇමතිවරුන් ඉවත්ව යනු ඇති බවට පැවති බිය හේතුවෙන් ඉස්ලාම් අන්තවාදයට එරෙහිව කටයුතු කිරීමට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විරුද්ධ වු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඊයේ  (06) පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දුන් හිටපු ජනාධිපතිවරයා පැවසුවේ නිකාබය ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවට වූ ආරක්ෂක ප්‍රධානීන්ගේ යෝජනාවට ද හිටපු අග්‍රාමාත්‍යවරයා විරුද්ධ වූ බවය.

එමෙන්ම ඔහු, සිය සාක්ෂිදීමේදී කියා සිටියේ වෙනත් රටවලද ඕනෑ තරම් මෙවැනි ප්‍රහාර එල්ල වූ අවස්ථාවල ජනාධිපතිවරයා වගකීම භාරගෙන නොමැති අතර රටක ත්‍රස්තවාදය මර්දනය ආරක්ෂක අංශවල වගකීමක් වන බවය.

සාක්ෂි විමසීම අතරතුර හරස් ප්‍රශ්න විමසූ රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය 2019 අප්‍රේල් 08 වන දින ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරි රැස්වීමට එවකට පොලිස්පතිවරයා සහ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා සහභාගි වුයේදැයි හිටපු ජනපතිවරයාගෙන් විමසීය.

එයට පිළිතුරු දෙමින් මෛත්‍රීපාල සිරිසේන මහතා, එම රැස්වීමට ඔවුන් දෙදෙනා සහභාගි වූ බවත්, ඒ වන විට නිලන්ත ජයවර්ධන මහතාට ලැබී තිබූ ප්‍රහාරයක් පිළිබඳ පෙර දැනුවත් කිරීමේ බුද්ධි තොරතුර ගැන ඔවුන් දෙදෙනාගෙන් කිසිවෙකු තමාව දැනුවත් නොකළ බවත් සඳහන් කළේය.

මෙරටට ත්‍රස්ත ප්‍රහාර මාලාවක් එල්ල වු බව විදෙස්ගතව සිටි තමාව පළමුව දැනුවත් කරන ලද්දේ තම ආරක්ෂක අංශයේ ප්‍රධානියා වන අතර ඔහු ඒ පිළිබද සමාජ ජාලවලින් දැනුවත් වී සිටි බවද ඔහු පැවසීය.

එම අවස්ථාවේදිම එවක ජනාධිපති ලේකම්වරයා වූ උදය ආර්.සෙනවිරත්න මහතා තමන් අමතා සිදුවීම පිළිබඳ දැනුවත් කළ බවත් ඉන්පසු රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා තමන් ඇමතු බවත් හිටපු ජනාධිපතිවරයා කොමිසම හමුවේ සඳහන් කළේය.

” සර්, පිපිරීම් කිහිපයක් සිද්ධ වුණා. තව වෙයිද දන්නේ නැහැ. මම මේ ගැන ආරක්ෂක ලේකම් හේමසිරිටයි, පොලිස්පති පූජිත්ටයි කලින් කියලා තිබ්බේ. අවශ්‍ය පියවර ගත්තේ නැහැ,” යනුවෙන් ජයවර්ධන මහතා එම අවස්ථාවේ තමන්ට පැවසු බව හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

“හැමෝටම කිව්වා. ඇයි මට නොකිව්වේ ” කියා එවිට තමා ප්‍රශ්න නොකළේදැයි අතිරේක සොලිසිටර් ජනරාල්වරිය හිටපු ජනපතිගෙන් විමසූ විට, තමා එසේ විමසූ බවත්” පියවර ගත හැකි අයටයි දැනුම්දුන්නේ. සර්ට මම ඊයේ ගන්න හැදුවා. නමුත් සම්බන්ධ කරගන්න ලැබුනේ නැහැ” යනුවෙන් ජයවර්ධන මහතාගෙන් පිළිතුරු ලැබුණු බවත් හිටපු ජනාධිපතිවරයා පැවසීය.

එහිදි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා අතර පියපුතු සම්බන්ධතාවයකටත් එහා ගිය සම්බන්ධතාවයක් පැවතියේ යැයි කොමිසම හමුවේ සාක්ෂි ඉදිරිපත් වී ඇත්නම් තමා එය පිළිගන්නේද යන්නය.

එයට හිටපු ජනාධිපතිවරයා මෙසේ පිළිතුරුදුන්නේය,

“පියපුතු සම්බන්ධතාවය තිබුණේ මායි, හේමසිරියි අතරේ. එකයි ආරක්ෂක ලේකම් තනතුර දුන්නේ. ආරක්ෂක ලේකම් කියන්නේ ත්‍රිවිධ හමුදාපතිවරු ආචාර කරනවා, හෙළිකොප්ටරේ යන්න පුළුවන්. අසීමිත වරප්‍රසාද තියෙනවා. අනික හේමසිරිට රාජ්‍ය ආයතන රැසක ප්‍රධාන තනතුරු දීලා තිබුණා. මම දැනුවත්ව ඉතිහාසයේ කවදාවත් එහෙම තනතුරු දීලා නැහැ. අවුරුදු 25 ක ඉදලා දන්න හින්දා තමයි එහෙම දුන්නේ. හේමසිරි මාව කෑමටත් ගෙදර එක්කන් යනවා. “

මෙහිදි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියේ ” එහෙම තිබ්බ පැණි වරකෙට හෙණ ගැහුවේ කවදාද ? ” යන්නයි.

එවිට හිටපු ජනපතිවරයා ” අප්‍රේල් 21 ප්‍රහාරය. එවකට පොලිස්පතියි ආරක්ෂක ලේකම්යි මේකට වගකියන්න ඕනේ. ප්‍රහාරය පිළිබඳ පෙර ලද බුද්ධි තොරතුර නොසලකා හැරලා තමයි මේ දේ වුණේ. මේකේ ලොකුම වේදනාව තියෙන්නේ මට. කවුරුත් ඒක පිළිගන්නේ නැහැ. මම රටේ අප්‍රසාදයට පත්වුනේ මගේ ධුරකාලයේ මේ සිදුවීම වුණ හින්දයි. වෙන රටවල් වලත් ඕන තරම් මේ වගේ දේවල් වෙනවා. එහෙම වුණයි කියලා ජනාධිපති වගකීම භාරගන්නේ නැහැ. රටක ත්‍රස්තවාදය තියෙනවා නම් එක මර්දනය කිරීම ආරක්ෂක අංශවල වගකීමක්,”  යනුවෙන් පිළිතුරු දුන්නේය.

ඉන් අනතුරුව රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියේ පාස්කු ප්‍රහාරයට පෙර මුස්ලීම් කාන්තාවන් නිකාබය ඇඳීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව ත්‍රිවිධ හමුදාපතිවරුන් ජාතික ආරක්ෂක කවුන්සිලයට යෝජනා කළ අවස්ථාවේ එම යෝජනාවට විරුද්ධ වුණේ කවුරුන්ද යන්නය.

“අගමැතිවරයා නිකාබය තහනම් කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩලයේදිත් විරුද්ධ වුණා. එවක පැවති ද්විපාර්ශ්වික රජයේ ආණ්ඩුව තුළ අග්‍රාමාත්‍යවරයාගේ පාර්ශවයෙන් තමයි මුස්ලිම් නායකයින් නියෝජනය වුණේ. එයාලා විරුද්ධයි කියලා තමයි අගමැති විරුද්ධ වුණේ. ඒ වෙනකොට සුළුතර ආණ්ඩුවක් තිබ්බේ. මෙවැනි යෝජනාවක් ගෙනල්ලා එකට මුස්ලීම් ඇමතිවරු විරුද්ධ වෙලා ආණ්ඩුවෙන් ඉවත් වුණොත් ප්‍රශ්නයක් වෙයි කියලා රනිල් වික්‍රමසිංහ මහතා කිව්වා,” යනුවෙන් හිටපු ජනපතිවරයා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here