ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් වූ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා රැස්වීම (කෝප් කමිටුව) අතරමඟ නවතා දැමූ එම කාරක සභාව මාසයක් ඇතුළත කරුණු විමසීම් සඳහා සූදානම්ව පැමිණෙන ලෙස එම ආයතනයේ නිලධාරීන්ට දැනුම් දුන්නේය. විගණන විමසුම්වලට අදාල ලිපිගොනු ඉදිරිපත් කිරීමට අපොහොසත්වීම හේතුවෙන් ක්‍රිකට් ආයතනයට දැඩි දෝෂාරෝපණයක් ද එල්ල කෙරිණි.
2017 හා 2018 වර්ෂවල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විගණකාධිපති වාර්තාව සහ එහි වර්තමාන කාර්ය සාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට මෙම කාරක සභා රැස්වීම කැඳවා තිබිණි. නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් විගණන විමසුම් සඳහා කිසිදු සූදානමකින් තොරව පැමිණීම හේතුනේ මෙලෙස යළි රැස්වීමට තීරණය කෙරිණි.
කෝප් කමිටුවේ සභාපති මාහාචාර්ය චරිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් අද (11) පැවැති රැස්වීමට අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, මහින්දානන්ද අලුත්ගමගේ, රාජ්‍ය අමාත්‍යවරුන් වන ඉන්දික අනුරුද්ධ, අජිත් නිවාඩ් කබ්රාල්, නාලක ගොඩහේවා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක, ජගත් පුෂ්පකුමාර, ඉරාන් වික්‍රමරත්න, ප්‍රේමනාත් සී.දොලවත්ත, එස්. රාසමාණික්කම් සභභාගී වූහ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය පරිපාලනය අවධිමත් වීම හේතුවෙන් ගැටලු රැසක් නිර්මාණය වී ඇති බව නිරික්ෂණය වී ඇතැයි කාරක සභාවේ සභාපති මාහාචාර්ය චරිත හේරත් මෙහිදී කීවේය. ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධව ජනතා අප්‍රසාදය ඉහළ ගොස් ඇති බවත් එය එක් පාර්ශවයකට පමණක් හිමි දෙයක් නොව රටට අයත් දෙයක් බවත් හෙතෙම අවධාරණය කළේය.
2017 වසර වන විට රුපියල් මිලියන 240 කට අධික මුදලක නොනිමි වැඩ වලට අදාළ කොන්ත්‍රාත් ගිවිසුම්, වැඩභාර ගැනීමේ ලිපි සහ වැඩ ආරම්භ කිරීම හා අවසන් කළ යුතු දිනයන් යනාදී සම්බන්ධිත ලියවිලි විගණනයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් කාරක සභා සාමාජිකයෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දෝෂාරෝපණය කළහ. කාරක සභා රැස්වීමේදී හෝ එම ලිපි ගොනු නිවැරදිව ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අපොහොසත් විය.