-3.4 C
New York

දකුණේ පාසැල් වාර විභාගයට දැඩි විරෝධයක්

Published:

දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් පසුගිය වසරේ අවසන් වාර විභාග පෙබරවාරි මාසයේ පැවැත්වීමට කටයුතු යොදමින් තිබෙන බවත් එය සිසු දරු දැරියන් දැඩි අපහසුතාවකට පත්කිරීමක් බැවින් ඊට විරෝධය දක්වන බවත් ලංකා ගුරු සංගමයේ ගාල්ල දිසා ලේකම් කැළුම් ද සිල්වා පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ පසුගිය වර්ෂයේ නිසි පරිදි අධ්‍යාපනය කටයුතු සිදු නොවී තිබිය දී මෙවැනි වාර විභාගයක් පැවැත්වීම වරදක් බවයි. රජය විසින් සිසුන් සියලු දෙනාට ම ‍2021 වර්ෂයේ දී කිසිදු පරීක්ෂණයකින් තොරව ඉහළ පන්තියට සමත්කර තිබිය දී මෙය අනවශ්‍ය ක්‍රියාවක් බවත් පළාත් සභාවේ සංඛ්‍යාලේඛන දත්ත ඉහළ දමා ගැනීමට සිසුන් අමාරුවේ දැමීම තම සංගමය කිසිසේත්ම අනුමත නොකරන බවත් හෙතෙම වැඩිදුරටත් පවසයි.

මේ වනවිට දකුණු පළාත් සභාව විසින් පැවැත්වීමට සැළසුම් කර ඇති වාර විභාග පෙබරවාරි මස 18 දින සිට 25 වැනි දින දක්වා පැවැත්වීමට දින නියම කර විභාග කාල සටහන් ද ලබා දී තිබේ. එම කාලසටහන් අනුව සිසුන්ට මුහුණ දීමට සිදුව ඇත්තේ තමන් පසුගිය 2020 වර්ෂයේ ඉගෙනුම ලැබීමට නියමිතව තිබූ විෂයයන්ට අදාල ප්‍රශ්න පත්‍රවලටය. නමුත් මාර්ගගත පන්ති පවත්වමින් විෂය නිර්දේශ සම්පූර්ණ කිරීමට උත්සාහ කළ ද එය ප්‍රායෝගිකව සාර්ථක නොවූ බවත් බොහෝ විට මාර්ග ගත දේශන නගරබද පාසල්වල පමණක් යම් තරමක ප්‍රගතියක් අත්කර ගත්ත ද ග්‍රාමීය පාසල්වල කිසිසේත්ම සතුටුදායක නොවන බවත් ලංකා ගුරු සංගමය පවසයි.

2021 වර්ෂයේ නව පාසල්වාරය ආරම්භවීමේ දී පසුගිය වසරේ පෙළ පොත් පවා සියලු විද්‍යාලවලින් එකතුකරගන්නා ලදී. එබැවින් 2020 අධ්‍යයන කටයුතු නිසි පරිදි සිදු නොවූ අතරම පෙළ ‍පොත් පවා සිසු දරුවන් සතුව නොමැති බවද ඔවුහු පෙන්වා දෙති.

මේ වනවිට නව අධ්‍යයන වර්ෂය ආරම්භ වී මාසයකට ආසන්න කාලයක් පන්ති පවත්වා තිබේ. 2021 වර්ෂයේ 10 ශ්‍රේණියට සුදුසුකම් ලැබූ ඇතැම් දරුවන් 9 ශ්‍රේණියේ දී ඉගෙනුම ලැබූ විෂයන් කිහිපයක් දැන් ඉගෙන ගන්නේ නැත. නමුත් දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මෙම විභාගය හේතුවෙන් ඔවුන්ට තමන් දැන් ඉගෙනුම නොලබන විෂයයන්වලින් ඉදිරිපත් කරන ප්‍රශ්නපත්‍රවලට ද පිළිතුරු සැපයීමට සිදුවෙයි.

ලංකා ගුරු සංගමය චෝදනා කරන්නේ  දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පිරිසකගේ මැදිහත්වීමෙන් මේ වනවිට ප්‍රශ්න පත්‍ර පවා මුද්‍රණය කර ඇති බවයි. එය ඇතැම් පුද්ගලයන් ව්‍යාපරික කටයුත්තක් බවට පත්කරගෙන ඇති බැවින් එහි ලාභය සඳහා විභාගය බලෙන් ළමයින්ට පැටවීමට උත්සාහ ගන්නා බව ද එම සංගමය චෝදනා කරයි.

මේ විභාගය පැවැත්වීම සම්බන්ධනේ දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ  ලේකම් රංජිත් යාපාගෙන් විමසූ විට ඔහු මෙසේ කීවේය.

“පසුගිය වර්ෂයේ දරුවන්ගේ අධ්‍යාපන මට්ටම පිළිබඳ කිසිදු ඇගයීමක් නැතිව තමයි දරුවන් ඉහළ පන්තියට යොමු කළේ. එවැනි ඇගයීමක අවශ්‍යතාවක් අධ්‍යාපන නිලධාරීන් පෙන්වා දුන්නා. ඉතින් දරුවන්ගේ අධ්‍යාපන මට්ටම මැන බලන්න තියෙන එකම ක්‍රමය විභාගයක් පැවැත්වීම. ඒ නිසා තමයි මේ විභාගය සූදානම් කළේ. නමුත් මේ පිළිබඳ විරෝධයක් තිබෙනවා. ගුරුවරු, ඇතැම් විදුහල්පතිවරු, දෙමාපියන් මේ සම්බන්ධ විරුද්ධව මත ප්‍රකාශ කරනවා. ඒ නිසා අපි සඳුදා කමිටු රැස්වීමක් යොදා ගත්තා මේ ගැන අවසන් තීරණයක් ගැනීමට. එතැන දී තීරණය කරනවා විභාගය ස්ථිරවම පවත්වනවා ද නැද්ද කියලා.”

Related articles

Recent articles

spot_img