ගාල්ල කොටුවට බොහෝ දෙනෙක් කියන්නේ ඕලන්ද කොටුව කියලා. නමුත් ගාල්ල කොටුව ඕලන්ද බලකොටුවක් නෙවෙයි. එය පෘතුගීසි, ඕලන්ද හා බ්‍රිතාන්‍ය කියන අධිරාජ්‍ය පිහිටවූ ජාතීන් තුනක නිර්මාණයක්. ගාල්ලට මුළින්ම ආවේ පෘතුගීසීන්. ඔවුන් ගාල්ල වරාය අසළ තිබූ සීතාවක මායාදුන්නේ රජ්ජුරුවන්ගේ මුර සෙබළු රඳවා තිබූ කුඩා බලකොටුව අත්පත් කරගෙන බලකොටුවක් ඉදිකළා කියා වංශකතාවල දැක්වෙනවා. ඒ බලකොටුව ඉදිකරලා දැනට කොටුවේ ඉදිරිපස හැටියට අපි දකින ගාල්ල ක්‍රීඩාංගණය ඉදිරිපිට කොටසේ මුර අට්ටාල තුනකුත් හැදුවේ ගාල්ල තුඩුව සම්පූර්ණයෙන් ම අත්පත් කරගනිමින්. අදටත් අපිට පෘතුගීසි හදපු මුල් බලකොටුව පැරණි වරාය පසෙකින් දකින්න පුළුවන්. නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය එහි පිහිටා තිබෙන නිසා අවසරයක් නැතිව ඇතුළු වෙන්න හැකියාවක් නැහැ. මේ පැරණි බලකොටුව පෘතුගීසීන් විසින් හැඳින්වූයේ සෙන්ටා කෲස් Zenta Cruz ඔවුන් මේ ස්ථානයේ ආරක්ෂාව දැඩි කරලා තිබුණා වගේම ගාල්ල තුඩුවේ අන් ස්ථානයන් පාලනය කරමින් විවිධ තැන්වල තවත් ගොඩනැගිලි ඉදිකරලා තිබුණු බවට සාක්ෂි තිබෙනවා. කොහොම වුණත් මේ බලකොටුවේ පෘතුගීසීන් වෙඩි බෙහෙත් ගබඩා කරලා තිබුණු අතරම ආයුධ නිෂ්පාදනයත් එම ස්ථානයේ සිදුකරලා තිබෙනවා. මේ සඳහා කම්හල් පිහිටා තිබුණා කියලත් කියනවා. එදා පෘතුගීසීන් කම්මල්වලට එහෙමත් නැත්නම් Workshop වලට ඔවුන්ගේ භාෂාවෙන් වින්කල් කියපු නිසා අපේ සිංහල භාෂාවටත් වින්කල් කියන නම එකතුවෙලා තියෙනවා. කොහොම වුණත් මේ යකඩ උණුකරමින් ආයුධ හදපු වින්කල්වලින් පිටවූ කළු දුමාරයත් ඒ දුමාරය නිසා පෘතුගීසි කොටුවේ බිත්ති කළු පැහැ වී තිබුණු නිසා පෘතුගීසීන්ගෙන් ගාල්ල කොටුව අල්ලගත්තු ඕලන්ද ජාතිකයන් එහෙමත් නැත්නම් ලන්දේසීන් පෘතුගීසි බලකොටුව හැඳින්වූයේ ස්වාට් ෆෝර්ට් Zwart Fort යන නමින් එහි අර්ථය කළු කොටුව කියන එක. අදටත් මේ කොටස හඳුන්වන්නේ Black Fort එහෙමත් නැත්නම් කළු කොටුව කියලා. මේ දවස්වල උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ගාල්ල කොටු බැම්මේ සංරක්ෂණ කටයුතු සිදුවෙනවා. පුරාවිද්‍යාත්මක ස්ථානයක සංරක්ෂණයක් කරනවානම් එතැන විධිමත් පුරාවිද්‍යා පර්යේෂණ සිදුකිරීම අපේ රටේ ප්‍රතිපත්තියක්. ඒ අනුව පුරාවිද්‍යා පර්යේෂණ කටයුතුත් සිදුවෙනවා. කළු කොටුවේ රූමස්සල දෙසට ඇති බැම්මේ ඇතුල් පැත්තේ ඕලන්ද ජාතිකයන් විසින් ඉදිකළ ගොඩනැගිල්ලක් අදටත් තිබෙනවා. එහි එක් කොටසක් කැඩී ගිහින් තිබුණත් වැඩි ප්‍රමාණයක් ඉතිරිවෙලා. මේ ගොඩනැගිල්ල බ්‍රිතාන්‍යයන් විසින් 1840 වර්ෂයේ සිට සිරගෙයක් හැටියට භාවිතා කරලා තියෙන්නේ එහි සිරමැදිරි කිහිපයක් සාදමින්. මේ ගොඩනැගිල්ලේ බිම සංරක්ෂණය කිරීම සඳහා පසුව යොදා තිබූ සිමෙන්ති ඉවත්කරද්දී ගල් අඟුරු තටටුවක් මතුවුණා. මේ තමයි ගාල්ල කොටුවෙන් ගල් අඟුරු හමුවූ පළමු අවස්ථාව. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ (කැණීම්) ආචාර්ය නිමල් පෙරේරා මහතා ව්‍යාපෘතියේ උපදේශක වාස්තු විද්‍යාඥ ආචාර්ය නිලාන් කුරේ මහතාගේ ද ඉල්ලීම පරිදි මේ ගල් අඟුරු ස්ථරය විද්‍යානුකූළව කැණීමකට ලක්කළා. ඒ ගල් අඟුරු විතරක් නෙවෙයි. පිළිස්සුණු දැව කොටස්, යකඩ කොටස් සහ පාෂාණ කොටස් මෙන්ම අළුවලින් සමන්විත අවශේෂ ස්ථරයක් බව දැනට හඳුනාගෙන තිබෙනවා. මේ ස්ථරය ඉවත්කළ විට එතැන තිබෙන්නේ පිහිටි පොළොවේ රවුම් වළක් වැනි ව්‍යුහයක්. මෙය ඇතැම් විට ආයුධ සෑදීමට භාවිතා කළ උඳුනක් විය හැකියි. ගාල්ල කළු කොටුවේ ආයුධ නිෂ්පාදනය කළා කියා ඉතිහාස කතාන්තරවල තිබුණට ඒ පිළිබඳ මෙතෙක් පුරාවිද්‍යාත්මක සාක්ෂියක් ලැබිලා තිබුණේ නැහැ. මේ තමයි ලැබුණු පළමු සාක්ෂිය. ඇතැමුන්ට මෙය නිකම්ම නිකන් ගල් අඟුරු තිබුණු වළක් වුණාට පුරාවිද්‍යාව පිළිබඳ දන්නා කෙනෙකුට එය ඉතාමත්ම වටිනා සොයාගැනීමක්. ඒ විතරක් නොවෙයි අවුරුදු 500 ට ආසන් ඉතිහාසයක ලංකාවට ඇවිත් අපේ මුහුදු බඩ ප්‍රදේශ අල්ලගෙන පාලනය කරපු ජාතියක් තමන්ට අවශ්‍ය ආයුධ නිෂ්පාදනය කළ ආකාරය පිළිබඳ හොඳ සාක්ෂියක්. මේ ගැන වැඩිදුර පරීක්ෂණ සිදු කෙරෙමින් පවතිනවා. එතැන දැවී ඉතිරිවූ දැව කොටස් තිබෙන නිසා ඉතා පහසුවෙන් කාබන් සමස්ථානික කාල නිර්ණය කළ හැකියි. එවිට තීරණය කරන්න හැකිවේවි මේ කම්මල් නැතිනම් වින්කලේ අපද්‍රව්‍ය පෘතුගීසීන් ඉතිරි කරපුවා ද නැතිනම් ඕලන්ද ජාතියන් ඉතිරිකරපුවා ද කියා. මේ ගාල්ල කොටුවේ ආයුධ නිෂ්පාදනාගාරයක් තිබුණු බවට ලැබුණු පැහැදිලි සාක්ෂියක් වේවි. ඉතින් මේක තමයි ගාල්ල කොටුවෙන් ආයුධ නිෂ්පාදනාගාරයක් ලැබුණා කියන කතාව.