-0.8 C
New York
Home Blog Page 1319

නිරෝධායනයේ සිටි පුද්ගලයා හදිසියේ මියයයි. සෙම් පරීක්ෂණය කරාපිටියේ දී.

0

නිවසක ස්වයං නිරෝධායනයේ සිටි පුද්ගලයකු හදිසියේ ම මියගොස් ඇතැයි මොනරාගල රෝහල් පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ මොනරාගල බොල්ගල්ල වල්ගොල්ල පදිංචි එ්.එන්.ලොකු බණ්ඩා නමැති 70 හැවිරිදි පුද්ගලයෙකි.

පසුගිය ඉරිදා (04) කොළඹ සිට මොනරාගලට පුද්ගලික බසයකින් පැමිණි කාන්තාවක් කොරෝනා ආසාදිතයකු යැයි හඳුනාගෙන තිබිණි. මියගිය මෙම තැනැත්තාගේ දියණිය ද එම බසයේ පැමිණි බව අනාවරණය වීම හේතුවෙන් එම නිවසේ සිටි සියලු දෙනා ස්වයං නිරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබිණි.

එසේ ස්වයං නිරෝධායනයේ සිටිය දී ඊයේ (08) රාත්‍රී හදිසියේ ම අසනීප වූ මෙම තැනැත්තා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගිය බව වෛද්‍යවරු කියති.

ඔහුට කොරෝනා ආසාදනය වී ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා සෙම් පටල සාම්පල කරාපිටිය ශික්ෂණ රෝහලට යැවීමට කටයුතු කර ඇති අතර එම වාර්තා ලැබෙනතුරු දේහය මුද්‍රා තබා රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.  

-Advertisement-

නොබෙල් සාහිත්‍ය ත්‍යාගය ඇමෙරිකානු කිවිඳියකට

0

සාහිත්‍ය සඳහා වන නොබෙල් ත්‍යාගය ඇමරිකානු කිවිඳියක වන ලුවිස් ග්ලූක් මහත්මිය විසින් දිනාගෙන තිබේ.යේල් විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි මහාචාර්යවරියක වන 77 හැවිරිදි ග්ලූක්, මැසචුසෙට්ස් ප්‍රාන්තයේ කේම්බ්‍රිජ්හි වාසය කරයි.ග්ලූක් පවසන්නේ නොබෙල් ත්‍යාගය හිමිවී ඇතැයි දැනගැනීමෙන් පසු තමා පුදුමයට සහ සතුටට පත්වූ බවයි.ග්ලූක් 2003 – 2004 වසරේදී කවි සඳහා ඇමරිකා එක්සත් ජනපදයෙන් පිරිනමන පුලිට්සර් ත්‍යාගයට ද හිමිකම් කීවේය.2015 වසරේදී එවකට ඇමරිකාවේ ජනාධිපති වූ බැරක් ඔබාමා විසින් ග්ලූක්ට ජාතික කළා හා මානව ශාස්ත්‍රීය පදක්කම ද පිරිනැමීය.

-Advertisement-

ක්‍රීඩා තරඟ හා වැඩසටන් කල් දමයි

0

කොරෝනා වසංගත තත්ත්වයක් ඇතිවීම හේතුවෙන් ජාතික ක්‍රීඩා වැඩසහටහන් හා තරඟාවලි රැසක් නැවත වතාවක් අත්හිටුවීමට සිදුව තිබේ.

පසුගිය මාර්තු මාසයේ කොරෝනා හිස එසවීමත් සමඟ ක්‍රීඩා වැඩසටහන් සහ තරඟාවලි කල් දැමූ අතර පසුව ජූලි මාසයේ සිට යළි කොරෝනා තත්ත්වය පහව යාම හේතුවෙන් කල් දැමූ වැඩසටහන් හා තරඟාවලි යළි පැවැත්වීමට කටයුතු යෙදිණි.

ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනය කළේ උද්ගතවී තිබෙන තත්ත්වය සැළකිල්ලට ගනිමින් සිය වැඩසටහන් කල් දැමීමට තීරණය කළ බවයි. ඒ අනුව හෙට (10) කතරගම දී ආරම්භවීමට නියමිතව තිබූ 46 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ ඇවිදීම, මැරතන්, පාපැදි තරඟ දින නියමයක් නැතිව කල්දැමීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කළේය.

-Advertisement-

අරුගම්බේ වෙරළ තල්මසුන්ගේ සුසානයක් වෙයි

0

අරුගම්බේ බෝක්ක වෙරළ තීරයට මියගිය තල්මසුන් කිහිප දෙනකුගේ සිරුරු ගොඩගසා ඇතැයි සමුද්‍ර ක්ෂීරපායීන් පිළිබඳ පර්යේෂිකාවක වන ආශා ඩි වෝස් මහත්මිය පවසයි.

මෙලස මියගොස් ඇත්තේ පිග්මි තල්මසුන් හෝ පයිලට් නමින් හඳුන්වන තල්මසුන් විශේෂයේ සත්ත්වයන් බව ද ඇය පවසයි. පසුගිය ඉරිදා (04)  දා සිට මේ දක්වා දිනපතා වරින් වර තල්මස් සිරුරු 11 ක් පමණ අරුගම්බේ වෙරළට ගොඩගසා තිබූ බව ප්‍රදේශවාසීහු පවසති.

එම සිරුරු අරුගම්බේ බොක්කෙහි දකුණු දෙසට ආසන්නව සහ බොක්ක මැද කොටසේ පිහිටි පාලම අසළ තිබී ඇත. සාමාන්‍ය නොගැඹුරු මුහුදේ තනියම හෝ 10 දෙනකුගෙන් පමණ සමන්විත කුඩා කණ්ඩායම් වශයෙන් සැරි සරන මේ තල්මසුන්ගේ මරණයට නිශ්චිත හේතුවක් සොයාගත නොහැකි බව ද ඩි වෝස් මහත්මිය පවසා තිබේ.

මෙම තල්මසුන් රංචුවක් ධීවර දැල්වලට පැටලීමෙන් පසු ඉවත දමා ඇතැයි ද සැකයක් මතුවී තිබේ. කෙසේ වුව ද මෙම සතුන්ගේ මරණයට නිශ්චිත හේතුවක් සොයාගැනීමට නම් එම සිරුරු සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ද පර්යේෂකයෝ කියති.

-Advertisement-

සටන් නවත්වන ලෙස පුටින් ඉල්ලයි

0

නාර්ගානෝ – කරබාක් කළාපයේ සටන් නවත්වන ලෙස රුසියානු ජනපති ව්ලද්මීර් පුටින් ආර්මේනියාවෙන් හා අසර්බයිජානයෙන් ඉල්ලා ඇත. පුටින් මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ගැටුම් ඇතිවීම ඛේදවාචකයක් බවයි.ජාත්‍යන්තර නීතියට අනුව අසර්බයිජානයට අයත් වුවත් වාර්ගික ආමේනියානුවන් විසින් පාලනය කරනු ලබන කඳුකර ප්‍රදේශයේ ක්‍රියාකාරකම් සම්බන්දව මොස්කව් පාලනය දැඩි අවධානයෙන්  සිටින බව ද පුටින් පවසයි.”මේ ගැටුම නුදුරු අනාගතයේදී අවසන් වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.” යැයි එම රූපවාහිනී සාකච්ඡාවේදී පුටින් පැවසීය. ගැටුම පිළිබඳව ආර්මේනියානු අගමැති නිකොල් පෂිනියන් සමග නිරන්තර සබඳතා පවත්වන බවද පුටින් තවදුරටත් පැවසීය.රුසියාව, ඇමරිකාව සහ ප්‍රංශය ගැටුමට මැදිහත් වීමට සූදානම්ව සිටින නමුත් ඔවුන්ගේ සටන් විරාම ඉල්ලීම් වලට සටන් කරන පාර්ශවයන් එකඟ වී නොමැත.රුසියාවේ විදේශ බුද්ධි අංශ ප්‍රධනියා අඟහරුවාදා අනතුරු ඇඟවූයේ ඉස්ලාමීය සටන්කාමීන්ට රුසියාවට ඇතුළු වීමට ඉඩ සැලසෙන ස්ථානයක් බවට කලාපය පත්වෙනු ඇති බවටයි.රුසියාව සහ ආර්මේනියාව ආරක්ෂක ගිවිසුමකින් බැඳී සිටින නමුත් එය නාර්ගෝනෝ – කරබාක් කළාපය සඳහා අදාල නොවේ. රුසියානු හමුදා සහ යුධ ගුවන්යානා ද ආර්මේනියාවේ ස්ථානගතකර තිබේ.

-Advertisement-

ගාල්ල නාගරික මන්ත්‍රීවරු නීති කඩමින් නුවරඑළියේ සංචාරයක

0

කොරෝනා වසංගතය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති නිර්දේශ උල්ලංඝනය කරමින් ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු පිරිසක් නුවරඑළියේ චාරිකාවක් සඳහා පිටත්ව ගොස් ඇත.

අද (08) වැනි දින මොවුන් පිරිස පිටත්ව ගොස් ඇත්තේ නගර සභාවේ මුදල් ප්‍රතිපාදන ඉල්ලුම් කරමිනි. පූර්ව අවසරයක් මත මේ සඳහා සහභාගීවීමෙන් අනතුරුව වියදම් ලේඛන ඉදිරිපත් කර මුදල් ප්‍රතිපාදන ලබා ගැනීමට නියමිත බව නාගරික මන්ත්‍රීවරුම කියති. නුවරඑළිය මහ නගර සභාවේ සිදුකරන ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකය, මළ අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකය හා අන්තර්ජාලය ඔස්සේ ගෙවීම් සිදුකිරීම අධ්‍යයනය කිරීමටත් මොබිටෙල් ආයතනය සමග එක්ව කරනු ලබ රථ නැවතුම් අයකිරීමටත් ගාස්තු අධ්‍යයනය කිරීමටත් මෙම ක්ෂේත්‍ර චාරිකාව යොදාගන්නා බව පවසමින් මේ සඳහා නගර සභාවේ මුදල් ලබාගැනීම පූර්ව අනුමැතිය රැගෙන තිබේ. ක්ෂේත්‍ර චාරිකාව දින දෙකක් පැවැත්වෙන බවත් යාමට දිනයක් හා ආපසු පැමිණීමට දිනයක් වශයෙන් දින හතරක කාලයක් මේ සඳහා වෙන්කර ඇති බවත් පැවසේ. ඒ අනුව ඔවුන් නුවරඑළියේ ගත රාත්‍රී තුනක් ගත කිරීමට නියමිතය.

මේ වනවිට පොදු ජන පෙරමුණට බලය හිමිව තිබෙන ගාල්ල මහ නගර සභාවේ මන්ත්‍රීවරු මින් ඉහත අවස්ථා කිහපයක දී ම ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය අධ්‍යයනය කිරීමට බව පවසමින් නුවරඑළියේ ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාවල නිරතව ඇතත් එම ගමන්වල දී ලබාගත් දැනුම මෙතෙක් ගාල්ල මහ නගර සභාවේ ප්‍රයෝජනය සඳහා භාවිතා කර තිබේ ද යන්න ගැටලුවක් ව පවතී. 2019 වර්ෂයේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ කටයුතු අධ්‍යයනය සඳහා කුණ්ඩසාලේ කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය නැරඹීමට ගිය ද මන්ත්‍රීවරු කණ්ඩායම රාත්‍රී නවාතැන් ගෙන ඇත්තේ නුවරඑළියේ ය. මේ දක්වාම ගාල්ල මහ නගර සභාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය හා මළ අපද්‍රව්‍ය කළමනාකරණය ප්‍රශස්ථ මට්ටමක නැතැයි දිගින් දිගටම ජනතාව වෙතින් චෝදනා එල්ලවෙයි.

මෙහි වඩාත්ම වැදගත් කරුණ වන්නේ මින් ඉහත වසරවල දී උක්ත කාරණය සම්බන්ධයෙන් ම සංචාරයේ නිරතවූ මන්ත්‍රීවරු කණ්ඩායමක් ද මෙම පිරිස අතර සිටීමයි.

කෙසේ වෙතත් ගල්ල මහ නගරාධිපති ප්‍රියන්ත සහබන්දු මහතා විසින් මෙම ගමනට අදාල ආරාධනා ලිපිය මන්ත්‍රීවරුන් වෙත යොමුකර තිබුණේ පසුගිය 21 වැනි දා ය. මේ සම්බන්ධයෙන් ගාල්ල නියෝජ්‍ය නගරාධිපති ෆවුස් නියාස් මහතාගෙන් සිදුකළ විසීමක දී කියා සිටියේ වැදගත් අධ්‍යයන කටයුත්තක් සඳහා මේ ගමන පිටත් වූ බවයි. කොරෝනා තත්ත්වය සම්බන්ධයෙන් මේ වනවිට සෞඛ්‍ය නිර්දේශ ලබාදී ඇතැයි තමා දැනුම්වත් නැති බවයි.

මෙම මන්ත්‍රීවරු කණ්ඩායම ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය අධ්‍යයනයට නුවරඑළිය බලා පිටත්ව යන බව පවසා තිබුණ ද ඔවුන් අද දහවල් උඩවළව ඇත්අතුරු සෙවණේ සිටි අතර ඒ පිළිබඳ විමසූ විට මන්ත්‍රීවරයකු කියා සිටියේ තමන් ඇතුළු පිරිස අලි බලන්න පැමිණි බවයි.

මේ සම්බන්ධයෙන් හිටපු නගරාධිපති වත්මන් නාගරික මන්ත්‍රී (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය) මෙත්සිරි ද සිල්වා මහතාගෙන් විමසූ විට ඒ මහතා කියා සිටියේ තමන් එම සංචාරයට සහභාගී නොවූ බවයි.

”මේක සම්පූර්ණයෙන් ම වැඩකට නැති බොරු ගමනක්. ඔය ගියා කියලා ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් කිසිම දෙයක් ඉගෙන ගන්නේ නැහැ. කට්ටිය එක්ක විනෝද වෙලා එන එකක් තමයි කරන්නේ. මොනවා වුණත් කොරෝනා අවදානමක් තියෙද්දී විනෝදයට හරි මේ වගේ ගමනක් යන එක වැරදියි. අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු මේ ගමනට සහභාගී වුණේ නැහැ.” ඔහු වැඩිදුරටත් කිවේය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නාගරික මන්ත්‍රී සුනිල් ගමගේ මහතා (ජනතා විමුක්ති පෙරමුණ)

”අධ්‍යයන චාරිකාවක් කියා මොවුන් සහභාගී වන්නේ විනෝද ගමනක්. මටත් ආරාධනා කළා. වැඩක් වෙනවා කීවා. ඒ නිසා මා මේ සඳහා කැමැත්ත ප්‍රකාශ කළත් ඔවුන් මෙයට සූදානම් වූ ආකාරය දුටුවාම මට අවබෝධ වුණා යන්නේ විනෝද ගමනක් බව ඒ නිසා මා ගමන යාමෙන් වැළකී සිටියා. “

හිටපු නගරාධිපතිවරයකු වන පොදු ජන පෙරමුණේ වත්මන් නාගරික මන්ත්‍රී කැළුම් සෙනෙවිරත්න මහතා මෙසේ කීවේය.

”අපේ නගර සභාව මේ රටේ දෙවැනි නගර සභාව. එය අවුරුදු 155ක් පරණයි. ඒත් ඝන අපද්‍රව්‍ය කළමනාකරණය ගැන ඉගෙන ගන්න පසුකාලීනව බිහි වුණු නගර සභාවලට යනවා කියන්නේ ලැජ්ජාවට කාරණයක්. මන්ත්‍රීවරු අතර අත්දැකීම් තියෙන අයත් නවකයනුත් ඉන්නවා. ඒ නිසා ඒ අය විනෝද වෙන්නත් එක්ක මේ වගේ ගමනක් ඉදලා හිටලා ගියාට ඉතින් අපිට කියන්න දෙයක් නැහැ. නමුත් නිලධාරීන් මේවා ගැන කණගාටුවෙන්න ඕනෑ. ඇත්තටම මට ඝන අපද්‍රව්‍ය කළමනාකරණය ගැන ඉගෙන ගන්න දෙයක් නැති නිසා මම ගියේ නැහැ. අපේ ඇතැම් මන්ත්‍රීවරු ඔය කාරණයටම නුවරඑළියට මීට ඉස්සෙල්ලත් ගිහින් තියෙනවා.”

මෙම අධ්‍යයන චරිකාව සඳහා ගාල්ල මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයා ඇතුළු නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්.ශ්‍රීධරන් මහතා පසුගිය 6 වැනිදා කොවිඩ් 2020-347 දරන නිවේදනයෙන් සියලුම ප්‍රිය සම්භාෂණ, සම්මන්ත්‍රණ, දේශන, ප්‍රදර්ශන, සැණකෙලි ඇතුළු අත්‍යවශ්‍ය නොවන රැස්වීම් සියල්ල නැවත දැනුම් දෙනතුරු දිවයින පුරාම තහනම් කර තිබේ.

(සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ පිළිබඳ මාධ්‍ය නිවේදනය)

-Advertisement-

කොරෝනා සහ ගාල්ල

0
  • ගාල්ලේ පදිංචි 350ක් නිරෝධායනයේ. උසස් පෙළ සිසුන් 04ක් ඒ අතර
  • ආසාදනය වූ 99 දෙනෙක් රෝහල්වලට යවලා
  • ඇඟළුම් කම්හලේ සේවක සේවිකාවන් හා ආශ්‍රිතයන් 620ක් ගාල්ලේ
  • තවත් 80ක් අද පීසීආර් පරීක්ෂණවලට

ගාල්ලේ පදිංචි හා ගාල්ලේ නිවෙස්වලට පැමිණ සිටි මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්තශාලා සිටි කොරෝනා ආසාදිත බවට තහවුරු වූ සේවක සේවිකාවන් පස් දෙනකු හේතුවෙන් 350ට අධික පිරිසක් අද (08) දහවල් වනවිට නිරෝධායනය සඳහා යොමුකර ඇතැයි ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෙනුර සිංගාරච්චි මහතා පැවසීය.

ඒ අතරින් පුද්ගලයන් 80 දෙනකු සඳහා අද (08) පීසීආර් පරීක්ෂණ සිදුකිරීමට නියමිතව තිබිණි.

ඔහු මේ බව කියා සිටියේ අප කළ විමසීමකට පිළිතුරු දෙමිනි.

වෛද්‍ය සිංගාරච්චි මහතා පවසන්නේ ඇඟළුම් කම්හලේ සේවය කළ  ආසාදිත සේවක සේවිකාවන් ඇල්පිටිය, බෝපේ පෝද්දල, හබරාදුව, ඉඳුරුව සහ මාපලගම ප්‍රදේශවල නිවෙස්වලට පැමිණ හෝ පදිංචිව සිට ඇති බවයි. අක්මීමණ පදිංචිකරුවකු ද කොරෝනා ආසාදිතයකු පදිංචි මිනුවන්ගොඩ නිවසක දින කිහිපයක් නතරවී පැමිණ සිටි බැවින් ඔහුගේ ආශ්‍රිතයන් ද නිරෝධායනයට යොමු කර ඇත.

රත්ගම විහාරස්ථානයක හිමිනමක් ද දානමය පිංකමකට සහභාගී වූ අවස්ථාවක එහි ආසාදිතයක් සිටීම හේතුවෙන් විහාරස්ථානයේ ම නිරෝධායනයට යොමුකර තිබිණි. මේ අතර එම විහාරස්ථානයේ වෙනත් හිමිනමකට රෝග ලක්ෂණ මතුවී ඇති බැවින් අද (08) පීසීආර් පරීක්ෂණයකට යොමු කිරීමට නියමිතව තිබිණි.

වෛද්‍යවරයා පවසන්නේ මෙලෙස නිරෝධායනය කර ඇති අය අතරින් වැඩිම පිරිසක් හබරාදුවේ දානමය පිංකමකට සහභාගී වූ අය බවයි. මෙම 350ක පමණ පිරිස ආසාදිතයන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් බවත් ඉන් එක් අයකු හෝ ආසාදිතයකු වුවහොත් දෙවැනි පෙළ ආශ්‍රිතයන් ද නිරෝධායනය යොමු කිරීමට සිදුවන බව ද හෙතෙම පැවසීය.

නිරෝධායනය වෙමින් සිටින මෙම පිරිස අතර මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුහු හතර දෙනෙක් ද සිටිති.

හබරාදුව පොලිස් නිල‍ සෙවණ නිරෝධායන මධ්‍යස්ථානයේ සහ හෝටල් කිහියක මේ වනවිට නිරෝධායනය සඳහා යොමුකර ඇති පිරිස 620ක් බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

මෙලස නිරෝධායනය වෙමින් සිටිනේ මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්තශාලවේ සේවක සේවිකාවන් හා ඔවුන්ගේ සමීප ආශ්‍රිතයන් 620 ක පිරිසක් මේ වනවිට හබරාදුව පොලිස් නිල සෙවණ නිරොධායන මධ්‍යස්ථානයේ සහ හෝටල් කිහිපයක නිරෝධායනයට යොමු කර තිබේ.  ඒ අතර මිනුවන්ගොඩ හා ගම්පහ රෝහල්වල සේවය කරන හෙදියන් 07 දෙනෙක් සහ උපස්ථායකයෝ 07 දෙනෙක් ද සිටිති.

මෙම පිරිස අතරින් තවත් 12 දෙනකුගේ පමණ පීසීආර් පරීක්ෂණ අද (08) සිදුකිරීමට ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

මේ අතර ගාල්ලේ නිරෝධායනය වෙමින් සිටිය දී සහ ගාල්ලට පැමිණ සිටිය දී රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් ඊයේ (07) සිදුකරන ලද පීසීආර් පරීක්ෂණවලින් ආසාදිතයන් බවට හඳුනාගත් 43 දෙනකු ඇතුළු 99 දෙනකු කොරෝනා සඳහා වෙන්කර ඇති රෝහල්වෙත යොමුකර තිබිණි

මෙම 99 දෙනාගෙන් 79 දෙනකු කාන්තාවන් බවත් ඔවුන් අතරින් දිවුලපිටියේ පදිංචිව සිටි කාන්තාවගේ දියණිය සහ තවත් ආශ්‍රිතයකු හැර අන් සියලු දෙනාම ඇඟළුම් කම්හල් සේවක සේවිකාවන් බවත් වෛද්‍ය සිංගාරච්චි මහතා පැවසීය.

හෙතෙම වැඩිදුරටත් මෙසේ ද කීවේය.

”මේ ආසාදිතයන් 06 වැනිදා 16 දෙනෙක්, 07 වැනි දා 40 දෙනකු හා අද (08) 43 දෙනකු වශයෙන්. ඔවුන් සියලු දෙනාම රෝහල් වෙත යොමු කිරීමට කටයුතු කළා. ගාල්ලේ රෝහල් කිහිපයකින්, මාතර දිස්ත්‍රික්කයෙන් හා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ගෙන්වාගත් ගිලන්රථ මගින් රෝහල්වෙත යැව්වා. අපි ඔවුන් රෝහල්වෙත යැවීමේ දී කාන්තාවන් මිනුවන්ගොඩ රෝහලට, නෙවිල් ප්‍රනාන්දු රෝහලට හා වැලිකන්ද රෝහලට යොමු කළා. පිරිම අය යොමු කළේ හම්බන්තොට රෝහලට. දරුවන් සහ සංකූලතා තිබෙන අය අයිඩීඑච් රෝහලට යැව්වා. දැනට ගාල්ල දිස්ත්‍රික්කය තුළ කිසිම ආසාදිතයකු ප්‍රතිකාර ලබමින් නැහැ. කරාපිටිය රෝහලේ දී ආසාදිත බව හඳුනාගන්නා අයත් කොරෝනා ප්‍රතිකාර සඳහා වෙන්කර ඇති රෝහල් වෙත යොමු කරනවා. “

නිරෝධානයනය වෙමින් සිටින 06 දෙනකුගේ පීසීආර් පරීක්ෂණ වාර්තා ලැබීමට නියමිතව ඇති අතර තවත් 16 දෙනකු අද (08) දිනයේ පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකිරීමට නියමිතව තිබිණි.

-Advertisement-

මිනුවන්ගොඩ පොලිසිය තාවකාලිකව වසා දමයි

0

මිනුවන්ගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරී නිලධාරිනියන් 85 දෙනකු පීසීආර් පරීක්ෂණයට යොමු කර පොලිස් ස්ථානය තාවකාලිකව වසා දැමූ බව පොලිස් මාද්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මේ වනවිට පොලිස් නිලධාරීන්ගේ පීසීආර් පරීක්ෂණ සිදුකරමින් පවතී. මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ ආපනශාලාව පවත්වාගෙන ගිය පුද්ගලයා කොරෝනා ආසාදිතයකු වීම හේතුවෙන් මේ පියවර ගෙන ඇත. ඔහුගේ පුතකු බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ සේවය කර කොරෝනා ආසාදනය වී සිට ඇත.

-Advertisement-

වේයන්ගොඩ අධි ආරක්ෂිත කලාපයක් කරයි

0

සමාජ‍ය තුළ කොවිඩ් – 19 වසංගතය පැතිරීමේ අවදානමක් හටගෙන ඇති බැවින් වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශය අධි ආරක්ෂිත කලාපයක් බවට පත්කළ බව යුද හමුදාව පවසයි.

සියලුම පුද්ගලන්ට නිවෙස්වල රැඳී සිටින ලෙසත් අවසරයකින් තොරව ප්‍රදේශයෙන් පිටව යාම හෝ ඇතුළුවීම තහනම් බවත් යුද හමුදාව කියයි.  

-Advertisement-

ආපනශාලාව නිසා මිනුවන්ගොඩ පොලිසිය අමාරුවේ වැටෙයි ද ?

0

මිනුවන්ගොඩ පොලිසියේ ආපනශාලාව පවත්වාගෙන ගිය පුද්ගලයා කොරෝනා ආසාදිතයකු බව තහවුරුවීමත් සමඟ පොලිසියේ නිලධාරීන් 150ක් පමණ පිරිස දැඩි අවධානමකට ලක්ව ඇතැයි ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු පැවසීය.

ආඬිඅම්බලම ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ මෙම ආපනශාලා පවත්වාගන ගිය පුද්ගලයාගේ පුතකු ඇඟළුම් ආයතනයේ සේවය කර කොරෝනා ආසාදනය වී ඇතැයි දැන සිටිය දී ද ඔහු ආපනශාලාවේ කටයුතු පවත්වාගෙන ගොස් ඇතැයි ද අනාවරණය වී ඇත.  

මේ අනුව පොලිසියේ සියලු නිලධාරීන් පීසීආර් පරීක්ෂණවලට යොමු කිරීමට හෝ වෙනත් අවශ්‍ය පියවර කඩිනමින් ගැනීමට සිදුව ඇති බවත් හෙතෙම සඳහන් කළේය. බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවක සේවිකාවන් සමඟ සම්බන්ධවූ පොලිස් නිලධාරීන්ගේ පීසීආර් පරීක්ෂණ සිදුකරන අතරතුර ආපනශාලාව පවත්වාගෙන ගිය පුද්ගලයා ද පරීක්ෂාවට ලක්කර තිබිණි.

මිනුවන්ගොඩ ප්‍රදේශයට ඇදිරිනීතිය බලැපැත්වෙන හෙයින් මිනුවන්ගොඩ පොලිසියේ නිලධාරීන් පමණක් නොව වෙනත් පොලිස් ස්ථානයන්හි නිලධාරීන් දමෙම ආපනශාලාවෙන් ආහාර රැගෙන ඇතැයි ද අනාවරණය වී ඇත.

-Advertisement-