-0.3 C
New York
Home Blog Page 1313

ගාලු නගර සභා නිලධාරිනියට කොරෝනා නෑ

0

රෝගාතුරවීම හේතුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර පීසීආර් පරීක්ෂණයකට යොමුකළ ගාල්ල මහ නගර සභා නිලධාරිනයට කොරෝනා ආසාදනය වී නොමැති බව වෛද්‍යවරු කියති.

අද (14) උදෑසන ඇයගේ පීසීආර් පරීක්ෂණ වාර්තාව ලැබී තිබිණි. එම නිලධාරිනිය අවමංගල්‍ය උත්සවයකට සහභාගී වී තිබීමත්, එම අවමංගල්‍ය උත්සවයට ගම්පහ ප්‍රදේශයේ පිරිසක්ද සහභාගී වී තිබීමත් හේතුවෙන් ඇය දින 14ක කාලයක් ස්වයං නි‍රෝධායනයට යොමු කර තිබේ.

ඊයේ මෙම නිලධාරිනය රෝහල්ගත කර පීසීආර් පරීක්ෂණයකට යොමු කළ බවට පැතිර ගිය ආරංචියත් සමග ගාල්ල මහ නගර සභාවේ කොාරෝනා ආසාදිතයකු වාර්තා වී ඇති බවත් ඒ හේතුවෙන් නගර සභාව වසා දමා ඇති බවටත් සාවද්‍ය පුවත් පැතිර ගියේය.

ගාල්ල මහ නගර සභාවේ නිලධාරී නිලධාරිනියන් අතර කොරෝනා ආසාදිතයන් කිසිවෙකු නොමැති බව නගර සභාවේ සෞඛ්‍ය අංශය තහවුරු කරයි. එබැවින් අනවශ්‍ය බියක් ඇතිකර නොගත යුතු බව ද අත්‍යාවශ්‍ය කාර්යයක් සඳහා ගාල්ල මහ නගර සභාවට පැමිණෙන සියලු දෙනා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කිරීම අනිවාර්ය බවත් නගර සභාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

-Advertisement-

චීන ණය උගුලේ අපි හිරවෙයි ද ?

1

චීනය ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් අතිවිශාල මුදල් ප්‍රමාණයක් ණය වශයෙන් ලබාදීමටත් මෙරටට විශාල ආයෝජන සිදුකිරීමත් පොරොන්දු වී තිබේ. පසුගිය දා ශ්‍රී ලංකාවට පැමිණි විශේෂ චීන දූත පිරිස පැවැත්වූ රාජ්‍ය තාන්ත්‍රික කතාබහේ ප්‍රතිඵලයයි ඒ.

නමුත් මෙරට සිදුවන චීන ව්‍යාපෘති හේතුවෙන් ශ්‍රී ලංකාව චීනයේ කොළණියක තත්ත්වයට පත්වන්නේ යැයි විටින් විට විද්වතුන්, දේශපාලනඥයන් හා සිවිල් ක්‍රියාකාරිකයන් පවසයි. ඔවුන් තරයේ පවසා සිටින්නේ ශ්‍රී ලංකාව චීනයේ ණය උගුලකට හසුවී ඇති බවයි.

ජාත්‍යන්තර ආර්ථික හා දේශපාලන විශ්ලේෂකයන් ද පවසන්නේ චීනය ලෝකය පුරා සංවර්ධනය වෙමින් පවතින රටවලට විශාල වශයෙන් ණය ලබාදෙමින් ඔවුන් ණය උගුලකට හසුකර නව වෙළඳ මාවතක් (සේද මාර්ගයක්) බිහිකරමින් සිටින බවයි. මෙය චීන ආර්ථික අධිරාජ්‍යයක් ගොනැගීමක් බව ද ඔවුහු පෙන්වාදෙන්නේ දැඩි ලෙස ඊට අප්‍රසාදය පළකරමිනි.

පසුගිය දා චීන දූත පිරිස මෙරටට පැමිණි අවස්ථාවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඔවුන් සමග සාකච්ඡාව අතරතුරු විශේෂයෙන් ඉල්ලීමක් කළේ මෙරට ආරම්භ කරන මහා පරිමාන සංවර්ධන ව්‍යාපෘති ජනතාව ණය උගුක සිර කිරීමක් නොවන බවට සනාථ කිරීම සඳහා උදව් කරන ලෙසයි.

ශ්‍රී ලංකාව ඉතා කුඩා භූමියක් සහිත දූපත් රාජ්‍යයකි. මෙහි ඇති ස්වභාවික සම්පත් අනෙක් රටවල්වලට සාපේක්ෂව ඉතා අවම මට්ටමක පවතින අතර ඉන් ආර්ථික ප්‍රතිලාභයක් ලැබීම ඉතා අපහසු බව ජාත්‍යන්තරයේ මතයයි. නමුත් සමස්ථ ලෝකයම ශ්‍රී ලංකාව කෙරෙහි අවධානයෙන් සිටන්නේ එය ලෝක මර්මස්ථානයක් ලෙස පිළිගනිමින. මෙසේ වී ඇත්තේ ශ්‍රී ලංකාවේ සුවිශේෂී පිහිටීමයි. නැගෙනහිර හා බටහිර අතර නැව් ගමනා ගමනයේ දී ශ්‍රී ලංකාව පසුකර සෑම යාත්‍රාවකටම ගමන්කිරීමට සිදුවීම හේතුවෙන් වසර දහස් ගණනක සිට ශ්‍රී ලංකාව ලෝක ආර්ථිකයේ මර්මස්ථානයක් විය. එබැවින් චීනයට පමණක් නොව ඇමෙරිකාවට, රුසියාවට, ඉන්දියාවට, ජර්මනියට, ජපානයට පවා අපේ රටේ පිහිටීම අතිශය වැදගත් වන්නේ ලෝකයේ බලවත් රාජ්‍යයක් වීමටනම් ශ්‍රී ලංකාවේ පිහිටීම අතිශය වැදගත් බැවිනි.

නමුත් චීනය බැල්ම හෙලන්නේ අප රටට පමණක් නොවේ. මාලදිවයින, පකිස්ථානය, ලාඕසය, පැපුවා නිව්ගිනියාව, දකුණු අප්‍රිකාව, කෙන්යාව, මැලේසියාව, කසකස්ථානය, මොංගෝලියාව හා ඊජිප්තුව වැනි රටවලට ද චීනය මහා පරිමානයෙන් ණය ලබා දී තිබේ.

සංවර්ධනය වෙමින් පවතින මේ රටවල්වලට මුදල් විශාල වශයෙන් අවශ්‍ය වුව ද ඒ සඳහා ප්‍රමාණවත් මුදල් නැත. චීනයට ඕනෑවටත් වඩා මුදල් තිබේ. ඒ නිසා චීනය මේ රවටල මුදල් ලබාදෙයි. ‍ඒ ණය වශයෙනි. මේ ණය මුදල පහසුවෙන් ලබාගත හැකි බැවින් ඒ ඒ රවටල පාලකයෝ ද ණය ලබාගනී. ණය ගෙවීමට යම් ස්ථිර කාලයක් ලබාදෙන අතර ඒ සඳහා පොළියක් ද අයකරයි.

ණය ලබාගන්නා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් අහස උසට දැවැන්ත ගොඩනැගිලි ඉදිකරයි, අධිවේගී මාර්ග තනයි, වරාය හා ගුවන්තොටුපොළ ඉදිකරයි. චීනය ණය ලබාදෙන්නේ එවැනි ඉදිකිරීම් වෙනුවෙනි. ඉදිකිරීම් සිදුකරන්නේ ද චීන සමාගම් විසිනි. ශ්‍රමිකයන්නේ බහුතරය ද චීනයේය. ඒවා ණය කොන්දේසි වෙයි. ලබාදුන් ණ්‍ය මුදලෙන් චීනයේ ඉදිකිරීම් සමාගම්වලට ලාභයක් ලැබෙන අතර ඔවුන්ගේ අධික ජනගහනයෙන් පිරිසක් ද ඉබේම නඩත්තුවෙයි.

මේ ඉදිකිරීම් හේතුවෙන් ණය ලබාගත් රටවල ජනතාව දැඩි ප්‍රමෝදයට පත්වෙයි. බැලූ බැල්මට රට සංවර්ධනය වී ඇත. නමුත් වසර 10කින් හෝ ‍යම් නිශ්චිත කාල සීමාවක දී ලබාගත් ණය ගෙවීමට සිදුවේ. නමුත් ඒ වනවිට ණය ගෙවීමට ඒ රටවලට මුදල් නැත. චීනය තමන්ගෙන් ලබාගත් ණය ගෙවන ලෙස ඒ රටට බලකර සිටියි. ණය ගෙවන්නට නොහැකි වූ විට චීනයේ යෝජනාව වන්නේ ණයට හිලව් ලෙස ඉදිකළ දෑ තමන්ට දිය යුතු බවයි.

අවසානයේ එය සිදුවෙයි. ඒ රටවලට තම භූමිය අහිමිවෙයි. චීනය ඒ සියල්ල පාලනය කරයි. පසුගිය රජය කාලයේ ශ්‍රී ලංකා රජය චීනය සමග ගිවිසුම් ගත වෙමින් හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරාය චීනයට පවරා දුන්නේ ණය ගෙවා ගත නොහැකි වූ බැවිනි. එය මේ සඳහා ඇති හොඳම උදාහරණයයි.

වරාය සඳහා ණය මුදල් ලබා දී තිබුණේ චීනයේ එක්සිම් බැංකුවෙනි. සියයට 6.8ක පොළී අනුපාතයක් යටතේ ඩොලර් ලක්ෂ 3060ක් සහ ඩොලර් ලක්ෂ 8000 බැගින් කොටස් දෙකකට ණය ලබා දී තිබිණි. මීට අමතරව ගල් පර්වත පුපුරුවා හැරීමට තවත් ඩොලර් ලක්ෂ 2020ක් වැය වී තිබිණි. මෙම මුදල් වසර පහක සහන කාලසීමවාකට යටත්ව වසර 20කින් ගෙවා නිම කළ යුතුව තිබිණි.

නමුත් ණය බරින් මිරිකී සිටි ශ්‍රී ලංකාවට මේ ණය මුදල ගෙවාගත නොහැකි වූ විට සිදුවූයේ චීනයේන ගත් ඩොලර් ලක්ෂ 13,080 ක මුදලට සම පවරාගැනීමකට යටත් කිරීම සඳහා චීනය සමඟ එකඟතාවකට පැමිණීමට උත්සාහ ගැනීමයි. නමුත් අවසානයේ සාකච්ඡා වට ගණනාවක ප්‍රතිඵලය වූයේ හම්බන්තොට වරාය වසර 99ක් සඳහා වූ කල් බදු ක්‍රමයට චීනයට ලබා දීමයි. එම වරායේ ගොඩනැගිලි පවා අහසේ සිට බැලූ විට දිස්වන්නේ CHINA යනුවෙනි.

මේ ආකාරයට චීනයෙන් ගත් ණයවලට හිලව් වශයෙන් තමන්ගේ සුවිසල් සංවර්ධන ව්‍යාපෘති චීනයට පවරා දීමට සිදුවූ එකම රට ශ්‍රී ලකාව නොවේ. පැපුවා නිව්ගිනියාවේ ඉදිකිරීම් බොහොමයක් දැන් පාලනය කරන්නේ චීනයයි. මෙය චීනය නව වෙළෙඳ මාර්ගයක අධිකාරීත්වය හිමිකරගන්නා ආකාරයයි. ඔවුන් මුහුදෙන් පමණක් නොව ගොඩබිම ඔස්සේ ද තම අධිරාජ්‍යය ගොඩනගමින් සිටී. ආර්ථික වශයෙන් මර්මස්ථාන ලෙස හඳුනාගත් සහ ලෝකයේ බලවත් රාජ්‍යයන්ට තර්ජනයක් එල්ල කළ හැකි ස්ථානවල ඔවුහු විශාල ණය ලබා දී වරාය, ගුවන්තොටුපොළ, අධිවේගී මාර්ග ‍එක් එක් රටවල් යා කරන සුවිසල් පාලම් ඉදිකර ඇත. මෙය පාලමක් ඉදිකිරීමක් වැනි ජලායක් නොවේ. මෙය ඊටත් වඩා එහා ගිය දැවැන්ත ජාලගත කිරීමකි. මේ ජාලගත කිරීම ලෝකයටම තර්ජනයක් වන දිනය වැඩි ඈතක නොවනු ඇති බව දේශපාලන හා ආර්ථික විශේෂඥයන්ගේ මතයයි.

එවිට මේ සටහන තබන මම ද මෙය කියවන ඔබ ද චීන සමූහාණ්ඩුවේ කොටස්කරුවකු වී සිටිනු ඇත. එසේ නම් අප දැන්මම චීන භාෂාව ඉගෙන ගත යුතුවේ ද ?

-Advertisement-

ගාල්ලේ සාවද්‍ය තොරතුරුවලට කලබල එපා

0

ගාල්ල නගර සභාවේ විදුලි අංශයේ නිලධාරියකු කොරෝනා ආසාදිතයකු බවට හඳුනාගෙන කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙන බවට ගාල්ල පුරා පැතිරයන පුවතේ සහ විද්‍යාලෝක විද්‍යාලයේ උසස් පෙළ විභාගයට පෙනී සිටි හිමිනමකට කොරෝනා ආසාදනය වී ඇතැයි යන පුවතේ කිසිදු සත්‍යතාවක් නොමැති බව rata.lk වෙබ් අඩවියේ අපි ඔබට වගකීමෙන් යුතුව ප්‍රකාශ කර සිටින්නෙමු.

ඇතැම් පුද්ගලයන් පවසන්නේ ගාල්ල මහ නගර සභාවේ සේවකයකු කොරෝනා ආසාදිතයකු බවට තහවරු වී නගර සභාව වසා දමා ඇති බවයි. එමෙන්ම විද්‍යාලෝක විද්‍යාලයේ විභාගයට පෙනී සිටි භික්ෂුවක් කොරෝනා ආසාදනය වී ගිලන් රථයකින් රෝහලට ගෙන ගිය බවටත් කට කතා පැතිර යයි.

මේ පිළිබඳ අපි වගකිව යුතු සෞඛ්‍ය බලධාරීන් කිහිප දෙනකුගෙන්ම විමසා තොරතුරු සොයා බැලුවෙමු. ගාල්ල මහ නගර සභාවේ සේවිකාවක් අද සාමාන්‍ය රෝගී තත්ත්වයන්ගෙන් පෙළීම හේතුවෙන් එහි සෞඛ්‍ය අංශයෙන් ප්‍රතිකාර ලබාගෙන තිබේ. මෙම නිලධාරිනිය පසුගිය සතියේ අවමංගල්‍ය උත්සවයකට සහභාගී ඇති බවත් එම අවමංගල්‍ය උත්සවය සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ පිරිසක් (ඇඟළුම් කම්හලට සම්බන්ධ පිරිසක් නොවේ) පැමිණි බවත් පවසා ඇත.

මෙම කරුණු හේතුවෙන් ඇය කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර පීසීආර් පරීක්ෂණයක් සඳහා යොමු කිරීමට ගාල්ල මහ නගර සභාවේ බලධාරීන් කටයුතු කර ඇත. මේ වනවිට එම පරීක්ෂණයේ ප්‍රතිඵල පැමිණෙන තුරු ඇය කරාපිටිය ශික්ෂණ රෝහලේ නේවාසිකව සිටියි.

විද්‍යාලෝක විද්‍යාලයේ අද උසස් පෙළ විභාගයට පැමිණි හිමිනමක් අධික හිසරදයෙන් පෙළීම හේතුවෙන් ඒ බව ගාල්ල නගර සභාවේ සෞඛ්‍ය අංශයට දැනුම් දී ඇත. සෞඛ්‍ය අංශයෙන් දී ඇති උපදෙස වන්නේ මෙම හිමියන් කරාපිටිය රෝහලට ඇතුළත් කිරීම වඩාත් සුදුසු බවයි. එ් අනුව කරාපිටිය රෝහලට ගිලන්රථයකින් රැගෙන ගිය එම හිමියන්ට පීසීආර් පරීක්ෂණයක් සිදුකර තිබේ.

මෙම ‍හිමියන්ට සහ ගාල්ල මහ නගර සභාවේ සේවිකාව යන දෙදෙනාටම අදාල පීසීආර් පරීක්ෂණ සිදුකළ ද මේ දක්වා ප්‍රතිඵල ලැබී නැත. එමෙන් ම භික්ෂුවත් එම නිලධාරිනියත් කිසිදු කොරෝනා ආසාදිතයකුගේ ස්පර්ශකයන් ලෙස ද හඳුනාගෙන නැත. මේ දිනවල ඇති වසංගත තත්ත්වය හේතුවෙන් අසනීප තත්ත්වයන්ගෙන් පෙලෙන පුද්ගලයන්ගේ මෙන්ම ‍එක් රෝග ලක්ෂණයක් හෝ පෙන්වන පුද්ගලයන් පීසීආර් පරීක්ෂණවලට යොමුකරන බැවින් මෙලෙස පරීක්ෂණ සිදුකර තිබේ.

නමුත් නිවැරදි තොරතුරු නොදන්නා පිරිස් විවිධ කටකතා පතුරුවන බැවින් ප්‍රදේශය පුරාම අනවශ්‍ය බියක් හටගෙන තිබේ. නගර සභාවේ මෙතෙක් කිසිදු කොරෝනා ආසාදිතයකු වාර්තා වී නැති බවත් විද්‍යාලෝක විද්‍යාලයේ හෝ ගාල්ල දිස්ත්‍රික්කයේ උසස් පෙළ විභාගය පැවැත්වෙන කිසිදු විභාග මධ්‍යස්ථානයක හෝ කොරෝනා ආසාදිතයන් වාර්තා වී නොමැති බවත් අපි වගකීමෙන් යුතුව පවසන්නෙමු.

එබැවින් සාමාන්‍ය පරිදි හෙට (14) දිනයේ ද විභාග කටයුතු පැවැත්වෙන අතර නගර සභාවේ ද සාමාන්‍ය කටයුතු සිදුවෙයි. ‍පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵලය අනුව වෙනසක් සිදුවන්නේ නම් rata.lk අපි ඔබට නොපමාව ඒ බව දන්වා සිටින්නෙමු.

නමුත් ගාල්ලට අවදානමක් ඇති බව නැවත නැවතත් අපි ප්‍රකාශ කරන්නෙමු. කඩවත සිට අධිවේගී මාර්ග බසයක පසුගිය 03 වැනි දා පැමිණ බද්දේගම බසයෙන් පෝද්දලට ගොස් යළි 06 දා පෝද්දල සිට ගාල්ලට බසයෙන් පැමිණ කඩවතට අධිවේගී මාර්ගයේ ගමන් ගත් කොරෝනා ආසාදිතයා සමග බසයේ ගමන්ගත් කිසිවෙකු මෙතෙක් හමු වී නැත. පසුගිය 04 වැනිදා කඩවත සිට ගාල්ලේ වටරැකට ආ ආසාදිත තරුණිය පැමිණි කඩවත් ගාල්ල අධිවේගී මාර්ග බසයේ ආ 35 දෙනකු මෙතෙක් සොයාගෙන නැත. වදුරඹට ආ ආසාදිත තරුණිය ගමන්ගත් මාපලගම බසයේ ගිය පිරිස ද හඳුනාගෙන නැත. එබැවින් ගාල්ලට අවදානමක් තිබේ. කලබල නොවී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග උපරිම අයුරින් පිළිපැදීම ඔබ සැමගේ ආරක්ෂාවට හේතුවන අතරම එය ඔබගේ වගකීම හා යුතුකම ද වන බව සිහි තබාගත යුතුය.

සටහන – සජීව විජේවීර

-Advertisement-

කරාපිටියෙන් පැන්න රෝගියා, පොලිසියත් මග දමා යයි

0

මගේ කාර්යාලයට දුවගෙන එන්නේ බස් කොන්දොස්තර වරයෙකි. හති හලමින් පැමිණි ඔු කියා සිටියේ

”සර්, සර්, කරාපිටියේ ඉස්පිරිතාලෙන් පැනලා කැනියුලා එකක් එක්ක ලෙඩෙක් අපේ බස් එකේ ආවා.”

එකෙනෙහිම අසුණින් නැගී සිටි මා ඔහු පසු පස ගියෙමා.

බසයේ මගීන් බැස අවසානය. එහෙත්,මා උත්සාහය අත් නොහලෙමි. බස් නැවතුම්පොලේ සෙනග අතරින් ‘කැනයුලාවක්’ ඇත්තේ කා ලඟදැයි සෙව්වෙමි. වාසනාවටමෙන් බස් නැවතුමෙන් බැස ඈත යන පුද්ගලයෙකු මට බස් කොන්දොස්තරවරයා පෙන්වා කියා සිටියේ ඒ, ඔහු බවය. මා ඔහු පසුපස දුවගෙන ගොස් ඔහු තවතාලූවෙමි.

ඔහු ශාන්තය. අහනදේට පිළිතුරු සපයයි.

මා, ” ඇයි මේ කැනියුලාවක් ඔයාගෙ අතේ ? හොස්පිටල් එකට නොකියාද ගාලු ආවෙ ? මොකද්ද ඔයාගෙ වාට්ටුව?” මගෙන් ඔහුට ප්‍රශ්න ගණනාවකි.

“. මං ඉන්නෙ ගාල්ලෙද?”

ඔහුගෙන් මගෙන් පෙරළා ප්‍රශ්න කරයි.

” ඔව්” මගේ පිළිතුර වීය.

නැවත කටහඬ අවදි කල ඔහු

” මං කරාපිටියෙ 18 වාට්ටුවෙ හිටියේ”.

එසේ පවසද්දී, මෙය මානසික රෝගීන් සඳහා ඇති වාට්ටුවක් බව රෝහල් පොලිසියේ සිටි මා දන්නා හෙයින් ඔහු මානසික රෝගියෙකු බවට නිර්ණය කර, ” එන්න මා එක්ක” මා ඔහුට කරුණාවෙන් කතා කලෙමි. ඔහු සමග පොලිස් මුරපොල කැටුව ගියෙමි.

පැමිණි වහාම මගේ ජංගම දරකථනයෙන් කරාපිටිය රෝහලට ඇමතුවෙමි. ඒ වෙන කිසිවක් නිසා නොව, මොහු මානසික ආතතිය, විශාදය වැළඳී ඇති රෝගියෙකු නිසාත්, රෝහලට ඇතුලත්ව සිටිනා රෝගියෙකුට අනවසරයෙන් පිටට යෑමට නොහැකි නිසාත්, ඔහු දැනට සිටින්නේ කරාපිටියේ නොව ගාල්ලේ බවට අවබෝධයක්වත් නොමැති නිසාත් ය.

වාට්ටුවෙන් මට ප්‍රතිචාර දැක්වූ අය කියා සිටියේ, රෝගියාව කෙසේ හෝ රෝහලට ගෙනැවිත් වාට්ටුවට බාර දෙන ලෙසය. එය නිවැරදිය. රෝහලට පැන ගිය රෝගියකු ගෙන්වා ගන්නට ප්‍රවාහන පහසුකම් නැත.

එහෙත්, පොලිසියේ පැය 24 ම ක්‍රියාත්මක වන ජංගම රථය ඇති බැවින් එමගින් රෝගියා කරාපිටිය රෝහලට යැවිය හැකි බව මට සිහිපත් විය. අනතුරුව මා පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපතිවරයා ඇමතුවෙමි. ඔහු ප්‍රිමනාප මෙන්ම යමක් තේරුම්ගත හැකි නිලධාරියෙකි. මගේ පැහැදිලි කිරීම අසා සිට,

“හරි, මං moblie එක එවන්නම්” යැයි කීවේය. එය හොඳ ප්‍රතිචාරයකි.

ඊට ටික වේලාවකින් මෙහෙයුම් මැදිරියෙන් මට දුරකථන ඇමතුමකි.

” mobile එකට පණිවුඩය කියලා තියෙන්නේ. දැන් ජීප් එක ඒවි” හොඳ ආරංචියකි.

මා ජීප් රථය එනතුරා රෝගියා සමග කුළුපගව කතාබහේ යෙදුනෙමි. එයට හේතුව, මානසික රෝගියෙකු වෙත ප්‍රිය උපදවන කතාව අවශ්‍යම බව මා දන්නා නිසාය. මෙසේ විනාඩි 25 ක් පමණ බලා සිටියත් ජංගම රථය පැමිණියේ නැත. මට ඇති කාර්යභාරය බරපතල නිසා රෝගියෙකු බලාගෙන සිටීම කල නොහැකි නිසාත් මා නැවත පාලන අංශයේ ස්ථානාධිපතිවරයා ඇමතුවෙමි.

බොහෝ වැඩ ඇති ඔහු ” හරි මං බලන්නම්” පැවසීය.

ඒ අනුව ඊට විනාඩි 5 කට පමණ පසු ජංගම සංචාර ජීප් රථය පැමිණියේය . ඉදිරියේ අසුන් ගෙන සිටින්නේ පොලිස් රියදුරු හා උප පොලිස් පරීක්ෂකවරයෙකි. පිටුපස අසුනේ සැරයන් කෙනෙකු හා කොස්තාපල්වරයෙකි. මා උප පොලිස් පරීක්ෂකවරයාට රෝගියා ගැන පහදා දුන්නෙමි. රෝගියාට ජීප් රථයට නගින්නැයි ඉල්ලිම රථය ඇතුලෙනි. රෝගියා ජිප් රථයේ පිටුපස ඇති දොර විවෘත කරගෙන නැංගේය. ජීප් රථයේ නිලධාරීන් බබාලා මෙන් ඇතුලේය. මේ මානසික රෝගියා සමග පිටුපස කිසිවෙකු නැත. ජීප් රථය ගමන් ගනිද්දිඋ ඔහු ජිප් රථයෙන් පැන්නොත් යැයි මට බියක් ඇතිවිය.

අනතුරුව, මා දෙසට හැරුණ උප පොලි පරීක්ෂකවරයා මටද ජීප් රථයය නගින්නැයි කියා කියා සිටී. එවිට මා කියා සිටියේ

 “මම යන්නේ ඇයි ? ඔතැන හතර දෙනෙක් ඉදිද්දි. මට මෙතැන වැඩ තියෙනවානේ.”

මා එසේ කියද්දී  ” කවුද PCR වලට ෆෝර්ම්ස් පුරවන්නෙ?” යැයි ඔහු මගෙන් විමසද්දී මම එතැනින් මෑත් වුණෙමි.

සිදුවන්නේ කුමක් දැයි මම බලා සිටියෙමි.  ජීප් රථයේ පිටුපස අසුන්ගෙන සිටි රෝගියා දොර විවෘත කර බිමට බැස්සේය. ඔහු බහිනවාත් සමගම ජීප් රථය පිටව ගියේය.

” ඇයි බැස්සේ?”. මා ඔහුගෙන් විමසුවෙමි.

“. මට බහින්න කීවා”

ජීප් රථය යුතුකම් වගකීම් පැහැර හැරියාට මා එසේ කරන්නේ නැත. මා ජීවිතාරක්ෂකයෙක්මි. මා නැවත රෝහලට කතා කලෙමි.

“රෝගියා එවන්න පහසුකම් නෑ. එ් නිසා මා එයාව බස් එකක ගේට්ටුව ලඟට එවනවා. එතැනට කවුරු හරි එවන්න පුළුවන් ද ?” යි විමසුවෙමි. ප්‍රතිචාරය හොඳය. පිටත්වන්නට ආසන්නව ඇති බස් රථයට ගොඩවී, රෝගියා ගැන පහදා කරාපිටිය රෝහලේ ගේට්ටුවට බාර දෙන්නට හැකිදැයි විමසුවෙමි. ඔවුහු කැමැත්ත ඵල කළහ.  

අවසානයේ රෝගියා රෝහල වෙත යැව්වේ ඒ ආකාරයෙනි.

මා ලියන්නට බය නැත. ලැබෙන ප්‍රතිඵලය කෙසේ වුවත් මේ කතාව මා පොලිසියේ පොතේද ලීවෙමි. ඵලදායිතාවය තුට්ටුවකට මායිම් නොකර, මහජනයාගෙන් පඩි කන අප, මහජනයාට සේවය කල යුතු නොවේද? මෙම සිද්ධිය දෑසින් දුටුවේ කාන්තා පොලිස් සැරයන් කල්‍යාණිය.

ගාල්ල ප්‍රධාන බස් නැවතුම්පොළේ ජීවිතාරක්ෂක නිලධාරියකු ලෙස සේවය කරන පොලිස් සැැරයන් විමල් ජයසේකර මහතා තැබූ සටහනකි.  

-Advertisement-

ගාල්ල අවදානම්. ආසාදිතයන් සමග බස්රථවල ගිය අය නෑ.

0

කඳාන විදුලි පුද්ලික සමාගමේ සේවය කරමින් සිටිය දී කොරෝනා ආසාදනය වූ බවට තහවුරු කරගත් ගාල්ලේ පදිංචි පුද්ගලයා සති අන්තයේ තම නිවසට පැමිණෙද්දී පොදු ප්‍රවාහන සේවාවන් භාවිතා කර ඇති බැවින් එම බස් රථවල ගමන්ගත් පුද්ගලයන් ළඟම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට හෝ තම කොට්ඨාසයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හමුවට හෝ පැමිණෙන ලෙස ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ඉල්ලා සිටියි.

පසුගිය 03 වැනි දා කඩවත සිට සවස 6.00 ට ගමන් ආරම්භ කළ අධිවේගී මාර්ග බස් රථයකින් මෙම ආසාදිත පුද්ගලයා ගාල්ල නගරයට පැමිණ තිබේ. ඉන් පසු ගාල්ල බස් නැවතුමේ මද වේලාවක් රැඳී සිටි ඔහු රාත්‍රී 8.30 ට බද්දේගම දක්වා ගමන් ආරම්භ කළ ගමනා ගමන මණ්ඩලයේ බසයකින් ගමන් කළ බවත් එම බසයේ විශාල සෙනඟක් අතර තෙරපෙමින් ගමන් කළ බවත් හෙතෙම පවසා ඇත.

පෝද්දල මං සන්ධියේ දී බසයෙන් බැසගත් හෙතෙම නිවසේ කාලය ගත කර ඇති අතර තම දරුවන් උපකාරක පන්ති රැගෙන යාම ඇතුළු කාර්යයන් සඳහා පුද්ගලික මෝටර් රථය භාවිතා කර තිබේ. ඉන් අනතුරුව පසුගිය 06 දා උදෑසන 6.00ට පමණ ආපසු කොළඹ යාමට පොද්දල හන්දියට පැමිණි ඔහු බද්දේගම සිට පෝද්දල හන්දියට 6.30ට පැමිණි බසයකින් ගාල්ල දක්වා පැමිණ තිබේ. මෙම බසයේ ද විශාල පිරිසක් ගමන්ගත් බව හෙතෙම පවසයි. මේ බසයේ ද ගාල්ල දක්වාම ඔහු ගමන්කර ඇත්තේ අසුනක් නොමැතිවය. ඉන් අනතුරුව ගාල්ලෙන් උදෑසන 8.00 කඩවත දක්වා පිටත් වූ අධිවේගී මාර්ග බසයක ඔහු ගමන් කර තිබේ.

මෙම ආසාදිතයාගේ පුත්‍රයකු ද පසුගිය දිනවල අධිවේගී මාර්ගය ඔස්සේ බසයකින් කොළඹ ගොස් ආපසු පැමිණ ඇත. ඔහු මේ වනවිට නිරෝධායනයට යොමුකර තිබෙන අතර පීසීආර් පරීක්ෂණය හෙට (14) පැවැත්වීමට නියමිතය.

සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ ආසාදනය වී සිටින මෙම පුද්ගලයා ගමන්ගත් අදාල බස්රථවල එම මොහොතේ සිටි පුද්ගලයන් හඳුනාගැනීම ඉතාමත් අපහසු කරුණක් වී ඇති බවයි. එබැවින් තමන් මෙම වේලාවන්හි අදාල බස්රථවල ගමන් කළේ නම් වහාම ඒ පිළිබඳ සෞඛ්‍ය අංශ දැනුම්වත් කරන ලෙස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරු ඉල්ලා සිටිති.

මේ අතර වඳුරඹ පදිංචි ආසාදිත කාන්තාව ගමන්ගත් මාපලගම බසය ධාවනයෙන් ඉවත්කර ඇතත් එම බසයේ ගමන්ගත් පිරිස සෞඛ්‍ය අංශවෙත මෙතක් ඉදිරිපත් වී නැත. වටරැකට පැමිණ සිටිය දී ආසාදිත බව දැනගත් කාන්තාව පසුගිය 04 වැනි දා උදෑසන කඩවත සිට ගාල්ලට පැමිණි අධිවේගී මාර්ග බසයේ ආ කිසිවෙකුත් අද (13) දක්වාම සෞඛ්‍ය අංශ වෙත ඉදිරිපත් වී නැත.

මේ අනුව කොරෝනා ‍වයිරසය ශරීරගත වූ පිරිස් ගාල්ල දිස්ත්‍රික්කයේ බාහිර සමාජය තුළ සිටිය හැකි බැවින් සෑම අවස්ථාවක දී ම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

-Advertisement-

හිමියන්ට පහරදුන්නැයි බදුල්ල උණුසුම්

0

බදුල්ල පලාවත්තේ විහාරස්ථානයක හිමිනමකට පුද්ගලයකු විසින් පහරදීමෙන් ඇතිවූ උණුසුම් තත්ත්වයක් පාලනය කිරීමට දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින බව බදුල්ල පොලිසිය පවසයි.

මෙලෙස පහරදීමට ලක්ව ඇත්තේ පලාවත්ත බෝධිරාජාරාමයේ විහාරාධිපති ටිබෙට් ජාතික සිකින් අමරජෝති හිමියන්ටය. විහාරස්ථානය අසළ නිවාස කිහිපයකට කරදර වන ආකාරයෙන් අප ජලය බැසයන කාණුවක් කැපීමට හිමියන් විරුද්ධවීම හේතුවෙන් කාණුව කැපූ පුද්ගලයා විසින් හිමියන්ට පහරදී ඇතැයි ගම්වැසියෝ කියති.

හිමියන්ට පහරදීමේ සිද්ධියෙන් කුපිත වූ ගම්වැසියෝ එම පුද්ගලයාගේ නිවසට ගල් සහ මුගුරුවලින් පහර දී නිවැසියන් ද නිවස තුළම සිරකරගෙන සිටිති. පොලිසිය පවසන්නේ මේ නිවස වටා ගම්වැසියන් විශාල පිරිසක් රැස්ව විරෝධතා දක්වන බවයි.

තත්ත්වය පාලන කිරීම සඳහා පොලිසිය දැඩි පරිශ්‍රමයක් දරමින් සිටියි.

-Advertisement-

නගරයේ ලක්ෂ 90ට පීසීආර් පරීක්ෂණ දින පහක දී

0

චීනයේ කිංඩාවෝ නගරයේ ලක්ෂ 90ක පමණ ජනතාව දින 05ක් ඇතුලත කොවිඩ් – 19 සඳහා පරීක්ෂා කරන බව ඒරට සෞඛ්‍ය අංශ පවසයි. කොරෝනා වයිරස රෝගීන්ට ප්‍රථිකාර කරන රෝහලක් ආශ්‍රිතව කොරෝනා රෝගීන් 12දෙනකු පමණ සොයාගැනීමෙන් පසුව මෙම පියවර ගෙන තිබේ.

නව කොරෝනා වයිරස පොකුර සාපේක්ෂව සුළු ලෙස පෙනුනත් දැවැන්ත පරීක්ෂණ ක්‍රමෝපායක් අනුගමනය කිරීමට චීන බලධාරීන් පෙළඹී ඇති බව මාධ්‍ය පෙන්වා දෙයි. චීන ජාතික සෞඛ්‍ය කොමිසම පවසා සිටියේ දින පහක් ඇතුලත මුළු නගරයම පරීක්ෂා කරන බවයි. මේ වනවිටත් පුද්ගලයින් 114,862ක් පරීක්ෂා කර ඇති අතර ඔවුන් ආසාදිතයන් නොවන බවට තහවුරු වී ඇතැයි කිංඩාවෝ සෞඛ්‍ය කොමිසම පවසයි.

චීනයේ “ගෝල්ඩන් වීක්” ලෙස හැඳින්වෙන නිවාඩුවෙන් සතියකට පසු මෙම රෝගීන් වාර්තා වී තිබෙන අතර ඒම සතියේදී මිලියන ගනනක ජනතාවක් රටපුරා සංචාරය කළ බව සඳහන් විය.  

චීනයේ බොහෝ දුරට වයිරසය පාලනය කර ඇති නමුත් සමහර පළාත් වලින් වරින් වර කුඩා ආසාදිත පොකුරු වාර්තා ව‌ෙයි. මේ වසර මුලදී කොවිඩ් රෝගීන් කිහිපදෙනකු වාර්තා වීම හේතුවෙන් දින 10ක් ඇතුලත වුහාන් නගරයේ මිලියන 11ක ජනතාව පරීක්ෂා කිරීමට චීන බලධාරීහු කටයුතු කළහ.

-Advertisement-

ස්ත්‍රී දූෂකයන්ට මරණ දඬුවම

0

ස්ත්‍රී දූෂකයන්ට මරණ දඞුවම ක්‍රියාත්මක කිරීමට බංගලාදේශ රජය පියවර ගනිමින් සිටින බව වාර්තා වේ. නීති අමාත්‍ය අනිසුල් හක් පවසා ඇත්තේ අඟහරුවාදා (13) දිනයේදී ඒය නීතිගත කරමින් ඒරට ජනාධිපතිවරයා විසින් ආඥාවක් නිකුත් කරන බවයි.

පසුගිය සතියේ බංගලාදේශ කාන්තාවකට පිරිසක් විසින් අමානුෂික ලෙස පහර දීමේ වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රචාරය වීමත් සමග රටපුරා නොසන්සුන්තාවයක් වර්ධනය විය. පසුගිය සති අන්තයේ බොහෝ ස්ථාන වල විරෝධතා ආරම්භ වූ අතර උද්ඝෝෂකයන් පවසා සිටියේ ස්ත්‍රී දූෂකයන්ට මරණ දඬුවම නියම කරන ලෙසයි.

උද්ඝෝෂණ වලට ක්ෂණික ප්‍රතිචාර දක්වමින්, පාර්ලිමේන්තුව රැස් නොවී ආඥා පනතක් මගින් නීතිය වෙනස් කිරීමට බංගලාදේශ රජය තීරණය කර තිබේ.

පසුගිය වසරේදී බංගලාදේශයේ ස්ත්‍රී දූෂණ 5,400ක් පමණ වාර්තා වී තිබේ. නමුත් කාන්තාවන් අපකීර්තියට පත්වීමට ඇති අකමැත්ත නිසා බොහෝ සිද්ධීන් වාර්තා නොවන බවද සමාජ ක්‍රියාකාරීහු පෙන්වා දෙති. ඔවුන් වැඩි දුරටත් පවසන්නේ වරදකරුවන්ට නීතිය ක්‍රියාත්මක වීමේ අනුපාතය බෙහෙවින් අඩු බවයි. ඒබැවින් ඔවුන් ඉල්ලා සිටින්නේ ස්ත්‍රී දූෂණ නඩු පවරන ආකාරය වෙනස් කරන ලෙස හා නඩු කටයුතු වේගවත් කරන ලෙසයි.

-Advertisement-

වෙන්ද‍ේසි සිද්ධාන්ත වැඩිදියුණු කළාට නොබෙල් ත්‍යාගයක්

0

ඇමරිකානු ආර්ථික විද්‍යාඥයින් වන රොබට් විල්සන් සහ පෝල් මිල්ග්‍රොම් විසින් 2020 වසරේ ආර්ථික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය දිනාගෙන තිබේ. ස්වීඩන් ක්‍රවුන් මිලියන 10ක් ඔවුන් දෙදෙනාට හිමිවේ.

වෙන්දේසි සිද්ධාන්ත වැඩිදුයුණු කිරීම සහ නව වෙන්දේසි ආකෘතීන් සොයා ගැනීම සඳහා මෙම ත්‍යාගය පිරිණැමූ බව රාජකීය ස්වීඩන් විද්‍යා ඇකඩමිය පවසයි.

“වෙන්දේසි සෑම තැනකම පවතින අතර ඒය අපගේ ඒදිනෙදා ජීවිතයේ අංගයකි. මෙම සම්මානලාභීන් ඉදිරිපත්කර ඇති නව ආකෘතීන් හේතුවෙන් ලොවපුරා වෙළෙන්දන්ට, ගැනුම්කරුවන්ට සහ බදු ගෙවන්නන්ට ප්‍රතිලාභ සැලසේ.” යනුවෙන් නොබෙල් සම්මාන නිල වෙබ් අඩවිය නිවේදනය කර ඇත.

ආර්ථික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය පිරිනැමීම ආරම්භ කර ඇත්තේ 1969 වර්ෂයේදී ය.

නොබෙල් ත්‍යාග ලාභීන් සඳහා දෙසැම්බර් මාසයේ පැවැත්වෙන සාම්ප්‍රදායික රාත්‍රී භෝජන සංග්‍රහය කොරෝනා වසංගතය හේතුවෙන් වලංගු කර ඇති නමුත් සරල සම්මාන ප්‍රදානෝත්සවයක් පැවැත්වීමට නෝර්වීජියානු නොබෙල් කමිටුව සැලසුම් කර තිබේ. ඒය දෙසැම්බර් 10 වන දින නෝර්වේහි ඔස්ලෝ නුවරදී පැවැත්වෙනු ඇත.

-Advertisement-

කඳානේ ආසාදිතයෙක් ගාල්ලේ දී බස්වලත් ගිහින්

0

ලංකා විදුලි පුද්ගලික සමාගමේ කඳාන කාර්යාලයේ සේවය කළ කොරෝනා ආසාදිත පුද්ගලයන් 12 දෙනා අතරින් එක් අයකු ගාල්ලේ නරාවල පෝද්දල පදිංචි කරුවකු බවත් ඔහුගේ සමීපතමයන් සොයා මේ වනවිට නිරෝධායන කටයුතු සඳහා යොමුකරමින් සිටින බවත් බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ලසන්ත උබේසේකර මහතා පවසයි.

ඔහු පසුගිය සති අන්තයේ කඳානේ සිට නිවසට පැමිණ සිටි බැවින් ඔහුගේ පවුලේ සාමාජිකයන් සහ ඇසුරු කළ පිරිස් නිරෝධායනයට යොමු කර ඇත. එමෙන්ම ඔහු ගමන් කළ බස් රථවල තො‍රතුරු ද මේ වනවිට අනාවරණය කරගනිමින් සිටියි.

එසේ වුව ද ඔහු ගමන්ගත් බස් රථවල සිටි සියලු දෙනා සොයාගැනීම අපහසු වනු ඇතැයි සෞඛ්‍ය අංශවල මතයයි.

මිනුවන්ගොඩ කොරෝනා පොකුර ආශ්‍රයෙන් ආසාදිත වූ පුද්ගලයන් කිහිප දෙනකු ගාල්ලේ ප්‍රදේශ ගණාවකට පැමිණ තිබීමත් ඔවුන් ගමන්ගත් බස් රථවල සහ ඔවුන් ගැවසී ඇති ස්ථානවලට ආ ගිය පුද්ගලයන් සියලුම දෙනා මෙතෙක් අනාවරණය කරගැනීමට නොහැකිවීමත් හේතුවෙන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමෝපායයන් හැකිතාක් පිළිපදින ලෙසත් අනවශ්‍ය ගමන් බිමන්වල නොයෙදෙන ලෙසත් සෞඛ්‍ය අංශ ඉල්ලා සිටියි.

-Advertisement-