මුහුදු මහා විහාරයේ වත්මන් තත්ත්වය

0
299

”රහතන් වහන්සේ මැරවීම නිසා උදහසට පත් වූ දෙවියෝ ඒ රජුගේ රට මුහුදෙන් යට කළහ. මුහුද ගොඩ කෑම වළක්වන්නට මිනිස් බිල්ලක් දිය යුතු විය. රජතුමාගේ දූ කුමරිය වූ දේවි තමාගේ රට වෙනුවෙන් මුහුදට බිලි වන්නට කැමැත්ත ප්‍රකාශ කළාය. රජතුමා කුමරිය රන් සැලෙක හිඳුවා එහි රජ දුව යැ යි ලියා රන් සැල මුහුද දැමූ විට මුහුද ගො කෑම නැවතුණේ ය. මුහුදේ පාවෙමින් ගිය ඒ රන් සැල රුහුණු රට ලංකා විහාරය අසලට ළඟා විය. රන් සැල පිළිබඳ පුවත ඇසූ කාවන්තිස්ස රජතුමා ඒ පිපළිබඳ ව විමසා බලා එහි සිටි කුමරිය මෙහෙසි බැව්හි අභිෂේක කළේය. විහාර අසලින් ගොඩ බට හෙයින් දේවී යන නමට ”විහාර” යන්න ද එක් වී විහාරදේවී යැ යි ප්‍රසිද්ධ වූවා ය. ශ්‍රේෂ්ඨත්වයට පත් වීමෙන් පසු මහා යන්න ද එක්වී විහාර මහා දේවී නම් වූවා ය. “

මහාවංශයේ මේ ආකාරයෙන් සටහන්ව ඇත්තේ කැලණිතිස්ස රජුගේ දූ කුමාරිය මාගම රාජධානියේ කාවන්තිස්ස රජුගේ අග මෙහෙසිය වූ කතාන්තරයයි. ඇය මුහුදේ පාවී පැමිණ ගොඩබට තැන වර්තමානයේ හඳුන්වන්නේ මුහුදු මහා විහාරය නමිනි.

ඇතැමුන් පවසන්නේ මේ ස්ථානය පිහිටා ඇත්තේ වර්තමාන හම්බන්තොට දිස්ත්‍රික්කයේ කිරින්දේ බවයි. නමුත් ඒ මතය ඉදුරාම ප්‍රතික්ෂේප කරන පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල  හිමියන් පවසන්නේ දැනට පොතුවිල් නගරය ආසන්න මුහුදට මායිම්ව පවතින ”මුහුදු මහා විහාරය” නමැති ස්ථානය විහාර මහා දේවිය ගොඩබැස්සා යැයි කියන ස්ථානය බවයි. නමුත් මේ බව සනාථ කිරීමට කිසිදු පුරාවිද්‍යාත්මක සාක්ෂියක් මෙතෙක් හමුවී නැතත් ඒ වටා ගෙතුණු ජනප්‍රවාද හා ඒ ජනප්‍රවාදයන් සනාථ කළ හැකි පද නිරුක්ති සහිත ග්‍රාම නාමයන් මෙන්ම ස්ථාන නාමයන් රැසක් ද හමුවෙයි.

”විහාර මහා දේවිය ගොඩබැස්සේ මාගම රාජධානියේ තෝලක කියලා පෙදෙසක පිහිටා තිබූ ලංකා විහාරයට බව මහාවංශ ටීකාවක සඳහන් වෙනවා. තෝල්ක කියන වචනයට තොට්ටලතීරය යැයි කියා තිබෙනවා තොට්ටල පසුව තොටලු වෙලා ඉන් පසු එය තොටුවිල් වෙලා පොතුවිල් වූ වා යැයි අපට භාෂාව පරිනාමය වන ආකාරය අනුව සැළකිය හැකියි. දැන් අපි මුහුදු මහා විහාරය කියන්නේ මෙතැනට.” මේධානන්ද හිමියෝ කියති.

පුරාවිද්‍යාඥයන් පවසන්නේ පොතුවිල් මුහුදු මහා විහාරය ඇතුළු මේ සියලු විහාර එකිනෙකට සම්බන්ධ විහාර සංකීර්ණයක නෂ්ඨාවශේෂ බවයි. මේවා ක්‍රිස්තු පූර්ව යුගයේ එනම් ක්‍රිස්තුපූර්ව දෙවැනි ශතවර්ෂයේ දී පමණ ඉඳිකර පසුව නවාංග එක්වූ ස්ථාන විය හැකි බවයි

මුහුදු මහා විහාරය සොයා පොතුවිල් ප්‍රදේශයට ගිය පළමු පිරිස අතර පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියන්ට හිමිවන්නේ ප්‍රධාන තැනකි. ඒ හිමියෝ තමන් එදා ලැබූ අත්දැකීම විස්තර කරන්නේ මේ ආකාරයෙනි.

” 1959 වර්ෂයේ දී මා එහි යනවිට මේ විහාරය පිහිටි තැන තිබුණේ  පොල්වත්තක්. එය ඇත්තටම වැලි කන්දක් වගේ තමයි පෙනුණේ. එතැන කටු කම්බිවලින් වටකර තිබුණා. ඉඩමට යන්න පාරක් තිබුණෙත් නැහැ. මුහුදු වෙරළේ කිලෝ මීටර එකහමාරක් පමණ දුරට තැන් තැන්වල නටඹුන් විසිරී තියෙන ආකාරය මම එදා දැක්කා. කම්බිවලින් වටකරලා තිබුණු තැන ගල් කණු කිහිපයක් දක්නට ලැබුණා ඒ වත්තේ හිමිකරුවා මේ ස්ථානයේ පුරාවිද්‍යා වටිනාකම පිළිගත්තේ නැහැ. මට එදා පුරාණ චෛත්‍යයක නෂ්ඨාවශේෂ, ගල් පඩි, ගල් කණු විශාල ප්‍රමාණයක් මුහුදු වෙරළ දක්වාම විසිරී තිබෙන ආකාරය නිරීක්ෂණය කරන්න හැකියාව ලැබුණා. “

මේ තොරතුරු සමග කොළඹට පැමිණි මේධානන්ද හිමියෝ පුරාවිද්‍යා කොමසාරිස් මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා හමුවී ඒ ගැන පැවසූහ.

මේධානන්ද හිමියන් මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා හමුවන විටත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මුහුදු මහා විහාරය හා ඒ අවට භූමිය පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස නම්කර ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබිණි. එම ගැසට් නිවේදනය 1951 ජනවාරි මස 26 වැනි දින 10205 ලස නිකුත් කරන ලද්දකි. ඒ අනුව පොතුවිල් මුහුදු මහා විහාරය හා ඒ අවට අක්කර 72යි රූඩ් 03යි පර්චස් 13ක් පුරාවිද්‍යා රක්ෂිතයට අයත් වේ.

නමුත් ස්ථානය ගැන වැඩි සොයාබැලීමක් කර තිබුණේ නැත. හිමියන් ලබාදුන් මග විස්තර අනුව ගොස් එම ස්ථානයේ කැණීම් ආරම්භ කළේය.

මහාචාර්ය පරණවිතාන මහතාගේ මෙහෙයවීමෙන් සිදුවූ කැණීම්වලින් වර්තමානයේ මුහුදු මහා විහාරයේ දක්නට ලැබෙන බොහෝ දෑ මතුකර ගැනීමට හැකියාව ලැබිණි. වැලි කන්ද හාරා එම ස්ථානයේ කැණීම් නිසි පරිදි විද්‍යානුකූළ ක්‍රමවේදයකට සිදුකිරීම අදට ද පහසු කටයුත්තක් නොවේ. නමුත් මේ වනවිට මතුකරගෙන ඇති නෂ්ඨාවශේෂ අතර පිළිමගෙය පැහැදිලිව හඳුනාගෙන ඇති ඉදිකිරීමකි.

චතුරශ්‍රාකාර ලෙස ඉදිකර ඇති මෙහි පිටත බිත්තිය ගඩොලින් තනා ඇති අතර ගල්කණු රැසක් එහි දක්නට ලැබේ. නැගෙහිර දෙසට මුහුණ ලා ඉදිකර ඇති පිළිමගෙට පිවිසෙන ද්වාරයේ මුරගල් යුගලක් ද අදට ද දක්නට ලැබෙයි. ඇතුළත බුදු පිළිමයක් හා ඒ දෙපස බෝසත් පිළිම දෙකක් ද දක්නට ලැබේ. පුරාවිද්‍යාඥයන් පවසන්නේ දැනට මතුකරගෙන ඇති නටඹුන් අනුව මේ විහාරස්ථානය ක්‍රිස්තු වර්ෂයට පෙර ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසේ දී පමණ ඉදිවන්නට ඇතැයි සාධක ඇතත් බෝසත් පිළිම ඉදිවන්නට ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 8-9 සියවස්වල මෙරටට ඇතිවූ මහායාන බුදු දහමේ බලපෑම හේතුවෙන් බවයි.

පිළිමගෙයට මීටර කිහිපයක් දකුණු දෙසට වන්නට ගල්කණු 16ක් සහිත කුඩා ගොඩනැගිල්ලක් සේ දිස්වෙයි. එහි බොහෝ කොටසක් තවමත් ඇත්තේ වැලි පව්වෙන් වැසී ගොසිනි. එය පොහොය ගෙයක් බවට විශ්වාසයක් පවතී.

විහාර සංකීර්ණයට පිවිසෙන ස්ථානයේ ම පොකුණක් ඇති බව පෙනෙන්නට තිබුණ ද එය මේ දක්වාම ක්‍රමවත් ලෙස කැණීමක් සිදුකර නැත.

පිළිම ගෙය පිහිටි තැන සිට මීටර 200ක් පමණ මුහුද දෙසට ගමන් කළ විට වැලිකඳු ආශ්‍රිතව වැල්ලෙන් වැසීගිය නටඹුන් දැකගන්නට ලැබෙයි. මෙය නිසැක ලෙසම චෛත්‍යයක නටඹුන් වල ඉහල කොටස් බව පැහැදිළි කරුණකි. මෙවැනි වක්‍රාකාර ගොඩනැගිලි දෙකක අවශේෂ එතැන තිබේ.

මෙම ස්ථානයේ මුහුදේ ගිළුණු පුරාවිද්‍යා නටඹුන් ඇතැයි විවිධ විශ්වාසයන් පවතී. යුද්ධය අවසන් වූ විට මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුහුදු පුරාවිද්‍යා ඒකකය ‍ඒ පිළිබඳ අවධානය යොමු කර මුහුදු මහා විහාරය ආසන්න මුහුදේ පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ඉදිකිරීම් තිබේ ද යන්න පිළිබඳ අවස්ථා කිහිපයක් ම අධ්‍යයනය කර තිබේ.

මුහුදු පුරාවිද්‍යාඥ රසික මුතුකුමාරණ මහතා මෙසේ පැවසීය

” අපි මේ ස්ථානයේ මුහුදේ අධ්‍යයනයක් කළා. ඇතැම් අයගේ අදහසක් තිබුණා මදක් එපිටින් රළ ක‍ැඩෙන ස්ථානයක පැරණි ඉදිකිරීමක නටඹුන් තිබෙනවා කියා. නමුත් එතැනත් පරීක්ෂා කළා. එතැන තිබෙන්නේ කොරල් පරයක්. මුහුදේ කිසිම තැනකින් පුරාවිද්‍යාත්මක අවශේෂ සොයාගන්න අපට නොහැකි වුණා.”

කාලය ගතවෙද්දී ඒ ස්ථානයේ සිදුවූ වෙනස්කම් රැසකි.

පුරාවිද්‍යා පනත අනුව මේ භූමිය පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස නම්කර තිබුණ ද 1965 මැයි මස 28 වැනිදා අක්කර 30යි රූඩ් 03යි පර්චස් 13යි ලෙස නැවත ප්‍රකාශයට පත්කර ඇත. ඉන් පසු 1980  දි මුහුදු මහා විහාරයට අයත් භූමිය අක්කර 20ක් ලෙස ද 1990 දී එය අක්කර 15යි රූඩ් 03යි පර්චස් 13ක් ලෙස ද ප්‍රකාශයට පත්කර තිබේ. 2005 වර්ෂයේ දී මේ භූමිය අක්කර 07 දක්වා කුඩා කර ඇත.

එසේ වරින් වර විවිධ නිලධාරීන්ගේ සහ දේශපාලන නායකයන්ගේ වුවමනාව මත මුහුදු මහා විහාරයට අයත් භූමිය කුඩා කරමින් එම ඉඩමේ කොටස් අවට පදිංචි පිරිස් අතර බෙදා දී ඇති අත්තේ ජයභූමි ඔප්පු පවා ප්‍රධානය කරමිනි.

1980 දී මේ ස්ථානයට වැඩම ක තංගල්ලේ සිරි සුනන්ද හිමියන් ආවස ගෘහයක් තනා එහි සිටිය ද විවිධ පාර්ශවවලින් එල්ල වූ කෙණෙහිලිකම් හේතුවෙන් විහාරය හැරදමා යාමට සිදුවිය. ඉන් පසු තංල්ලේ ජීවානන්ද සහ තංගල්ලේ සද්ධානන්ද යන ස්වාමීන් වහන්සේලා දෙනම වරින්වර වැඩ වාසය කළහ. ඉන් පසු කතරගම සිරිරතන හිමියෝ මේ ස්ථානයට වැඩකර ත්‍රස්තවාදී කලබල පැවැති කාලයේ පවා මේ පුද බිම රැකගනිමින් වාසය කළහ. ප්‍රදේශවාසීන්ගෙන් හිමියන්ට වරින්වර විවිධ තර්ජනය එල්ල වූ අතර ඇතැම් අවස්ථාවල දී පහරදීම් ද සිදුවිය.

මේ අතර මුහුදු වහා විහාරයට තිබූ ප්‍රවේශ මාර්ගය ද අවට පදිංචිකරුවන විසින් අල්ලාගෙන වසා දැමුණු අතර විහාරස්ථානයට වැඳ පුදා ගැනීමට පැමිණෙන සැදැහවතුන්ට එහි පැමිණීමට නොහැකිව විවිධ අකටයුතුකම් පවා විඳින්නට සිදුවූ බව වාර්තා වෙයි. සිරිරතන හිමියන් මේ කරදර විදිමින් සිටිය දී රෝගාතුර වී 60 වසරක් ආයු වළඳා 2010 වසරේ දී අපවත්වී වදාළහ.

ඉන් අනතුරුව වරකාපොළ ඉන්දසිරි හිමියෝ මුහුදු මහා විහාරයේ භාරකාරත්වයට පත්වූහ. විහාර භූමියේ නව චෛත්‍යයක් ඉදිකිරීම සඳහා 2010 වර්ෂයේ කටයුතු යොදන ලද අතර ඒ සඳහා මුල්ගල් තැබීමට වළවල් කපද්දී ගල්කණු කිහිපයක් හමුව තිබේ. මෙයින් පෙනෙන්නේ මුහුදු මහා විහාරයේ වැලි තලාවෙන් වැසීගිය තවත් නටඹුන් රැසක් තිබෙන බවයි.

කෙසේ වෙතත් ඉන්දසිරි හිමියන් පැමිණි පසුව ද අවට පදිංචිකරුවන්ගෙන් එල්ලවූයේ දැඩි පීඩනයකි. 2012 වර්ෂයේ දී පූජා භූමියේ තිබූ  පැරණි දාගැබක් අසළ වැලි කන්ද ඩොසර් කිරීමෙන් දැඩි නොසන්සුන් තත්ත්වයක් ඇතිවිය. විහාරස්ථානයට තිබූ පැරණි ප්‍රවේශමාර්ගය අවට පදිංචිකරුවන් විසින් බලෙන් අල්ලාගෙන ඇති බැවින් දැන් ඒ වෙනුවෙන් වෙනත් මාර්ගයක් ඉදිකර තිබේ.

විහාරාධිපති වරකාපොළ ඉන්දසිරි හිමියෝ මෙසේ පැවසූහ.

” මේ විහාරස්ථානයට හැමදාම එල්ලවෙන්නේ කෙනෙහිළිකම්. කෙටසක් බලෙන් අල්ගෙන තව කොටසක් වරින් වර රජයේ නිලධාරීන් විසින්ම විවිධ දේශපාලන වුවමනකම්වලට මේ ඉඩම් අවට පදිංචිකරුවන්ට බෙදා දීලා. අපිට මෙතැන ආගමික ප්‍රශ්නයක් නැහැ. මුහුදු මහා විහාරය කියන්නේ බෞද්ධ උරුමයක් කිව්වට මේක ජාතික උරුමයක්. සියලු ජාතීන් සියලු ජනවර්ග අපේ රටේ උරුමය ආරක්ෂා කරන්න ඕනෑ. ඒක පාලකයන්ගේත් වගකීමක්. මෙහි සම්පූර්ණ වගකීම තියෙන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ඒ අය මේවා ගැන සොයා බැලිය යුතුයි. නමුත් කිසිම වගකිව යුතු නිලධාරියෙක් මෙතැන මොනවාද වෙන්නේ කියලා බලන්න පැත්ත පළාතක එන්නේ නැහැ.”

විහාරධිපති හිමියන් පවසන්නේ දැනට මුහුදු මහා විහාරයට අයත්ව ඇත්තේ අක්කර දෙක තුනක් යැයි විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය ගෙන ගිය ද තවමත් අක්කර 14ක භූමියක් මුහුදු මහා විහාරයට වෙන්ව පවතින බවයි. නමුත් මේ සියල්ල අවට වැසියන් විසින් නිතරම අල්ලා ගැනීමට මාන බලන බවත් ප්‍රාදේශීය සභාව පවා වැලි වැටිය ඉවත්කිරීමටත් ඒ ස්ථානයේ නිවාස ඉදිකිරීමටත් සැළසුම් කර තිබූ බව ද හිමියෝ පවසති.

1951 වර්ෂයේ දී පුරාවිද්‍යා රක්ෂිතයට වෙන්කළ භූමියේ මේ වනවිට පුද්ගලික පදිංචිකරුවන්ගේ නිවාස 450ක් පමණ ඉදිකර තිබේ. 1965 සිට දිගටම මේ නිවාස ඉදිකරමින් පවතී. ගැටලු සහගතම තත්ත්වය වන්නේ පුරාවිද්‍යා පනත රටේ ඇති සියලුම අණ පනත්වලට වඩා ඉහළින් තිබිය දී පවා රාජ්‍ය නිලධාරීන් විසින්ම මේ භූමියේ ඉඩම් අක්කර 11ක් ජය භූමි හිමිකම් පත්‍ර මගින් ඇතැම් පවුල්වලට ලබා දී තිබීමයි.  ඒ 2005 වර්ෂයේ දී ය. 

ඉන්ද්‍රසිරි හිමියන් පවසන්නේ සිංහල බෞද්ධයන් මේ රටේ බහුතරයක් සිටිය ද සුළු ජාතීන් බහුතරයක් වී ඇති ප්‍රදේශයක තමන්ට නීතියෙන් හෝ රැකවරණයක් නොලැබෙන බවයි.

”අපි සහජීවනය ගැන ආගමික සංහිදියාව ගැන කතා කරනවා. නමුත් මේ ප්‍ර‍දේශයේ අධිකරණයකට ගියාම සිංහලෙන් නඩුවක් අහන්නේ නැහැ. අපි සියලු ලේඛන දෙමළ භාෂාවට පරිවර්ථනය කරලා දෙන්න ඕනෑ. ඊට පස්සේ අපි නොදන්නා දෙමළෙන් නඩුව යනවා. මේවා කාට කියන්න ද ? එක වතාවක් මේ අනවසර ඉදිකිරීම්වලට විරුද්ධව වෙරළ සංරක්ෂණය නඩු පැවරුවා. අපිට උසාවියෙන් කිසිම දැනුම්දීමක් ආවේ නැතිව නඩුව කතා කරලා සාක්ෂි කාරයන් ඉදිරිපත්වුණේ නැහැ කියා නඩුව ඉවතට දැම්මා. නඩුව ප්‍රතික්ෂේප කරලා 14 වැනි දවසේ මිනිස්සු ඉඩම නැවත බලෙන් ඇල්ලුවා. නීතිඥයෝ එයාලට කියා තිබුණා ලු නඩුව විසිවෙනවා. ඊට දවස් 14කට පස්සේ ඉඩම් අල්ලගන්න කියලා. ඔන්න ඕකයි මෙහේ තත්ත්වය. “

මුහුදු මහා විහාරස්ථානය හා ඒ අවට ප්‍රදේශයේ අනවසර පදිංචිකරුවන් සිටීමත් ඔවුන්ගෙන් පුරාවිද්‍යා උරුමයට සිදුවන බලපෑමත් හේතුවෙන් පසුගිය දා වත්මන් ආරක්ෂලේකම්වරයාත්, හමුදාපතිවරයා, නාවික හමුදාපතිවරයා සහ පොලිස්පතිවරයා මුහුදු මහා විහාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවූහ.

එහි ප්‍රතිඵලයක් ලෙස මුහුදු මහා විහාරය ආරක්ෂා කිරීම සඳහා නාවික හමුදා භට කණ්ඩායමක් යෙදවිණි. එමෙන්ම පරිසර හා වනජීවී සම්පත්, ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා කියා සිටියේ මුහුදු මහා විහාරය සහිත භූමියට අක්කර 30 ක් වෙන්කර ගැසට් කරන බවයි.

වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාගෙන් කළ විමසීමක දී කියා සිටියේ “වෙරළ සංරක්ෂණ කලාපයේ අනවසර ඉදිකිරීම් හා වැටවල් ඉදිකර තිබෙනවානම් අපට ඒවා ඉවත්කරන්නත් එවැනි දේ කරන අයට විරුද්ධව නීතිමය පියවර ගන්නත් පුළුවන්. අපි පසුගිය කාලයේ මේ එවැනි අයට විරුද්ධව නඩු පැවරුවා. නමුත් සාක්ෂි කාරයන් ආවේ නැහැ කියා උසාවිය නඩුව ඉවත දැම්මා. උසාවියෙන් සාක්ෂි කරුවන්ට සිතාසි යවා තිබුණේ නැහැ.”  යනුවෙනි.

විහාරාධිපති ඉන්ද්‍රසිරි හිමියන් පවසන්නේ 1951 වර්ෂයේ දී අක්කර 72කට වැඩි ප්‍රමාණයක් පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස නම්කර තිබිය දී අලුතෙන් එය අක්කර 30 ක් වැනි කුඩා ප්‍රමාණයකට සීමාා කිරීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ බවයි. අනවසර පදිංචිකරුවන්ට කිසිදු ඉඩම් හිමිකමක් නොමැති බැවින් ඔවුන්ට වෙනත් තැනකින් ඉඩම් ලබා දී අක්කර 72ක භූමිය පුරාවිද්‍යා රක්ෂිතයට සම්පූර්ණයෙන් ම වෙන්කර ආරක්ෂාව යොදන ලෙස ද ඒ හිමියෝ ඉල්ලා සිටිති.

මේ සම්බන්ධයෙන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතාගෙන් වමසූ විට ඒ මහතා මෙසේ කීවේය.

”අපි බදාදා (20) මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වූවා. 1951 දී අක්කර 72ක් වෙන්කර තිබුණත් එය 1965 දී අක්කර 30ක් ලෙස වෙනස් කර තිබෙනවා. මිනුම්පති දෙපාර්තමේන්තුවෙත් සහාය ඇතිව මේ ස්ථානයේ අලුතෙන් මැනීම් කටයුතු සිදුකරලා පුරාවිද්‍යා ස්මාරක තිබෙන සමස්ථ ප්‍රදේශය ම වෙන්කර හඳුනාගෙන නිසි පරිදි සැළසුම්ගත කරලා පුරාවිද්‍යා රක්ෂිත භූමියක් ලෙස ගැසට් කරනවා. මේ ගැසට් කිරීම කරන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන්. ඉතිහාසයේ වැරදි සිදුවෙලා තියෙන්න පුළුවන්. අපි ඒවා නිවැරදි කරගත යුතුයි. අනවසරයෙන් පදිංචි වී සිටින අයට ගතයුතු ක්‍රියාමාර්ග රජයෙන් ගනීවි. මේ ස්ථානය ගැන සොයා බලන්නේ නැහැ කියන එකනම් පිළිගත නොහැකියි. එතැන අපේ කාර්යාලයක් නොතිබුණත් ආරක්ෂකයෙක් පවා රඳවා තිබෙනවා.”

මුහුදු මහා විහාරයේ අප දන්නා හා දකින නටඹුන්වලට වඩා බොහෝ නෂ්ඨාවශේෂ මුහුදු වැලි කන්දෙන් වැසී ඇතිවාට සැකයක් නැත. ඒ වැලිවලින් වැසීගොස් ඇත්තේ විහාර සංකීර්ණයක නටඹුන් බව විද්වතුන්ගේ අදහසයි. එබැවින් මේ භූමිය පුරාවිද්‍යා රක්ෂිතයක් බව තහවුරු කර එහි පුරාවිද්‍යාත්මක ගවේෂණ කටයුතු කඩිනමින් ආරම්භ කළහොත් වැළලීගිය අපූරු ඉතිහාසයක් මතුකරගත හැකිවනු ඇත. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here