spot_img
spot_imgspot_img

ගාල්ලේ කොරෝනා වසංගත තත්ත්වය පැහැදිළි කිරීමක්

පුවත්

විදෙස්

ගාල්ල දිස්ත්‍රික්කයේ මේ වනවිට කොරෝනා ආසාදිතයෝ 506ක් වාර්තා වී සිටිති.

ඔවුන්ගෙන් වැඩිම පිරිසක් වාර්තාවන්නේ ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසයෙනි. එම සංඛ්‍යාව 164 දෙනෙකි. ඉන් පසු වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනිි. ඒ ආසාදිතයන් 83 දෙනෙකි. ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයන් 79 වාර්තා වී තිබේ.

මේ වනවිට බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ කොරෝනා ආසාදිතයන් සීඝ්‍රයෙන් වාර්තාවීමේ ප්‍රවාණතාවක් දක්නට ලැබෙන අතර එම සංඛ්‍යාව අද (29) දහවල් වනවිට 43 දක්වා ඉහළ ගොස් ඇත.

කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව 48කි. අම්බලන්ගොඩ සහ බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසවලින් ද ආසාදිතයන් 15 දෙනකු බැගින් වාර්තා වී ඇත. මේ අනුව ගාල්ල නාගරික, බලපිටිය, ඉඳුරුව, බෝපේ පෝද්දල, කරන්දෙණිය, අම්බලන්ගොඩ හා බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 07න් පමණක් ආසාදිතයන් 427 දෙනකු වාර්තා වෙයි.

ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචි පුද්ගලයන් 03 දෙනකු කොරෝනා ආසාදනය වීමෙන් මියගොස් තිබේ. ඒ මිලිද්දුව පදිංචිකරුවකු කොළඹ කළුබෝවිල රෝහලේ දී, අහුංගල්ලේ පදිංචි කරුවකු සහ ගාල්ල දෙද්දුගොඩ පදිංචිකරුවකු වශයෙනි. මේ දක්වාම රජයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මාධ්‍ය වෙත නිකුත් කර ඇති ලේඛනයන්හි මෙම මරණ තුනම සඳහන්ව නොතිබීම ද විශේෂත්වයකි.

මිලිද්දුව පදිංචිව සිට කළුබෝවිල රෝහලේ දී මියගිය පුද්ගලයාගේ සිරුර මෙතෙක් ආදාහන කර නොමැති අතර එය කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තවමත් තැන්පත් කර තිබේ. අහුංගල්ලේ දී මියගිය පුද්ගලයා කොරෝනා ආසාදනය වී රෝහල්ගතව සිට නිවසට පැමිණි පසු මියගොස් තිබූ අතර මරණයෙන් පසු කරන ලද පීසීආර් පරීක්ෂණයෙන් ද ඔහු කොරෝනා ආසාදිත අයකු බව තහවුරු වී තිබිණි. ඔහුගේ සිරුර කොරෝනා ආසාදිත බව දැන දැනත් අහුංගල්ල ආදාහනාගාරයේ දී ආදාහනය කිරීමට ඥාතීන්ට භාර දී තිබීම විශේෂත්වයකි. ගාල්ල දෙද්දුගොඩ දී මියගිය පුද්ගලයාගේ මළ සිරුර දඩල්ල ආදාහනාගරයේ දී ආදාහනය කරන ලදී.

සෞඛ්‍ය අංශ පවසන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදනය වී රෝහල් ගත වූ පුද්ගලයන් අතරින් මේ වනවිට 264 දෙනකු සුවය ලබා ආපසු නිවෙස් වෙත පැමිණ සිටින බවයි.

මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයන් බහුලව වාර්තාවීම පළමුවෙන් සිදුවූයේ බලපිටිය, අහුුංගල්ල හා කරන්දෙණිය ප්‍රදේශවලය. ඊට හේතුවූයේ ධීවර ප්‍රජාව හා අහුංගල්ලේ මළ ගෙදරකට පැමිණි කොළඹ නැව් තටාංගණයේ සේවකයකු මගින් කොරෝනා ආසාදනය පැතිරයාමයි.

ඉන් පසු ගාල්ල මිලිද්දුව ප්‍රදේශයෙන් කොරෝනා පොකුරක් මතුවෙමින් පැවතිණි. ඒ සමගම බේරුවල නගරයේ සේවය කළ අයකුගෙන් කොරෝනා වසංගතය ඉඳුරුව තුන්දූව ප්‍රදේශයට පැමිණීමත් සමඟම ඉඳුරුවේ සක්‍රීය කොරෝනා පොකුරක් ඇතිවෙමින් තිබිණි.

වහාම ක්‍රියාත්මක වූ සෞඛ්‍ය සංචරණ සීමා පවා පනවමින් ගාල්ල නගරයේ මිලිද්දුව ආශ්‍රිතව ඇති වූ පොකුර හා ඉඳුරුව තුන්දූවේ කොරෝනා පොකුර යම් තරමකින් පාලනය කර තිබේ. එසේ වුව ද මේ ගතවෙමින් යන්නේ එම පොකුරේ පළමුව හඳුනාගත් පිරිස හා ඔවුන්ගේ පළමු ආශ්‍රිතයන් ආසාදිතයන් බවට පත්වීමනේ අනතුරුව ගතවන කොරෝනා වයිරසයේ නිහඬ බීජෞෂණ කාලයයි. මෙම කාලයේ දී නිවෙස්වල නිරෝධායනය වෙමින් සිටින ඇතැම් පුද්ගලයන් පමණක් ආසාදිත බවට හඳුනාගැනීම දැකිය හැකිවන්නේ බාහිර සමාජයේ පුද්ගලයන් කොරෝනා වයිරසය සඳහා පරීක්ෂණවලට යොමුකිරීම සිදුවන්නේ අවම වශයෙන් බැවිනි. නමුත් ඇතැම් පුද්ගලයන් තමන් මේ කොරෝනා පොකුරු පාලනය කළ බවට පාරම් බෑව ද එය සැබැවින්ම සිදුව ඇත්දැයි දැනගැනීමට හැකිවන්නේ තවත් සති දෙකක පමණ කාලයකට පසුවය.

මේ කොරෝනා පොකුරු පාලන වී තිබුණහොත් එහි සම්පූර්ණ ගෞරවය ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ වෛද්‍යවරුන්ට, ඉඳුරුව සෞඛය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ වෛද්‍යවරුන්ට හා දිවා රෑ නොබලා ඔවුන් සමඟ වෙහෙසෙන මහජන සෞඛය පරීක්ෂකවරුන්ට මිස කාමරවලට වී සංඛ්‍යාලේඛන දත්ත සඟවා මං පොරවීමේ න්‍යායයෙන් කටයුතු කරන පුුුුුුුුුුද්ගලයන්ට අත් නොවිය යුතුය.

මේ අතර සංචරණ සීමා පැනවීම ගැන සෞඛ්‍ය අංශ ඉල්ලීම් කරද්දී කුඩා ගෝත්‍රික මානසිකත්වයෙන් පෙළෙන ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෝ ද එම කරුණ විවේචනය කරමින් තම වරිගයාට කන්නට නැති විට ගෙනත් දෙන්නේ කවුදැයි ප්‍රශ්න කර තිබිණි. නමුත් ඔවුන්ට මේ රටේ සෞඛ්‍ය ප්‍රශ්නයක් යනු සෑම ජාතියකටම, ආගමකටම, වර්ගයකටම පමණක් නොව බාල මහළු තරුණ වැඩිහිටි සියල්ලටම පොදු කාරණයක් බව තේරුම්ගත නොහැකි වීම බරපතල ඛේදවාචකයකි.

ඔවුන් දැන් තමන් නියෝජනය කරන කුඩා කණ්ඩායම්වල අවශ්‍යතා අනුව ප්‍රචාරය කරමින් සිටින්නේ සමාජය තුළ වයිරසය නොමැති බව ඇඟවීමට මේ දිනවල කොරෝනා ආසාදිත බව හඳුනාගන්නේ නිවෙස්වල නිරෝධායනය වෙමින් සිටින අය බවට විශේෂණ පද ද එකතු කරමීනි. ආසාදිතයන් හමුවන්නේ සමාජයෙනි. නිරෝධායනය වෙමින් සිටියා නොවේ ද යන්න ඊට ගැටලුවක් නැත. ආසාදිතයන් හමුවන්නේ නිරෝධායනය වූ නිවෙස්වලින් පමණක් යැයි කියමින් ඊනියා ආරක්ෂාවක් තම කණ්ඩායම් වෙනුවෙන් ලබාදීමට උත්සාහ ගන්නා මේ සමාජජාල ක්‍රියාකාරිකයන් තේරුම්ගත යුතු සත්‍යයක් තිබේ. ආසාදිතයන් හමුවී ඔවුන්ගේ ආශ්‍රිතයන් නිවෙස්වලට කොටු කළ විට නිවෙස්වල සිටි පිරිස ආසාදිතයන් වීම ආශ්චර්යයක් නොවේ. නමුත් මේ කොරෝනා පොකුර නිවී ඇත්දැයි බැලීමට තවම කල් වැඩිය.

දැන් ගිංතොට ප්‍රදේශයෙන් තවත් කොරෝනා පොකුරක් නිර්මාණය වී තිබේ. ඒ ගාල්ලේ මිලිද්දුව පොකුරේම දිගුවක් බව සෞඛ්‍ය අංශ පවසන බව ද මෙහි දී සිහිපත් කළ යුතුය. තවමත් ගාල්ලේ බාහිර සමාජය තුළ කොරෝනා වයිරසය ඇති බව පැහැදිලි කරුණකි. ප්‍රශ්නය වන්නේ ප්‍රමාණවත් තරම් පරීක්ෂණ සිදු නොවන බැවින් ආසාදිතයන් හමු නොවීමයි. එබැවින් කුඩා කණ්ඩායම් වෙනුවෙන් පෙනී සිටින ඇතැම් සමාජ ක්‍රියාකාරිකයන්ට ප්‍රශ්න තමන්ගේ වනතුරු දාර්ශනික පිළිතුරු දෙමින් සිටිය හැකි වනු ඇත.

ගාල්ලේ සිට කොළඹ දක්වා ධාවනය වූ බසයේ රියදුරු සහ කොන්දොස්තරවරයා කොරෝනා ආසාදිත වී තිබිණි. අද (29) වනවිට එම කොන්දොස්තරවරයාගේ බිරිඳ ද ආසාදියකු වී තිබේ. ඒ බසයේ දින ගණනක් කොළඹ ගාල්ල අතර ආගිය සිය ගණනක් අවදානමේය. බසය වායුසමනය කළ රථයක් බැවින් ඒ අවදානම තවත් වැඩි බව විද්‍යාත්මක පර්යේෂණ අනුව පැහැදිලිය.

උක්වත්තේ මළ ගෙදරට පැමිණ ආසාදිතයකු නිසා කොරෝනා පොකුරක් ඇතිවීමේ දැඩි අවදානමක් ද තිබෙන බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ නිසා අවසාන වශයෙන් කිව යුතුව ඇත්තේ කොරෝනා ඔබ අසළටම පැමිණ ඇත. ඔබ ඉදිරියෙන් සිටින සෑම පුද්ගලයකුම කොරෝනා ආසාදිතයකු බව සළකා කටයුතු කරන මෙන් අපි ඔබෙන් උදක්ම ඉල්ලා සිටිමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!