spot_img
spot_imgspot_img

කොරෝනා ආසාදිත සිරුරක් ඥාතීන්ට දීලා ?

පුවත්

විදෙස්

කෙරෝනා ආසාදනය වී මියගිය කාන්තාවකගේ සිරුරක් චක්‍රලේඛවලට පටහැනි අයුරින් භූමදානය සඳහා මුදාහැර ඇතැයි කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයට චෝදනා එල්ල වී තිබේ.

මෙම චෝදනාව එල්ල කරන්නේ පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන් විසිනි. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සහ සෞඛ්‍ය අමාත්‍යවරයාට පැමිණිලි කළ බව ද ඒ හිමියෝ කියති.

කෙසේ වෙතත් මේ පිළිබඳ විමසීමේ දී කොරෝනා ආසාදනය වූ කාන්තවාක් මියගිය පසු ඇගේ සිරුර භූමදානය කිරීම සඳහා ඥාතීන් වෙත ලබාදුන්නේ යැයි සඳහන් පුවත අසත්‍යයක් යැයි කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ අධිකරණ වෛද්‍ය අජිත් තෙන්නකෝන් මාධ්‍යයට පවසා ඇත.

එසේ වුව ද විශේෂඥ වෛද්‍ය අජිත් තෙන්නකෝන් විසින් නිකුත් කර ඇති පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ දැක්වෙන්නේ මෙම කාන්තාව කොරෝනා ආසාදිත කාන්තාවක බවයි. එමෙන්ම වෛරසවේදීන් සහ අනෙකුත් අධිකරණ වෛද්‍යවරුන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම දේහයෙන් තවදුරටත් කොරෝනා වෙනත් අයකුට බෝ නොවන බවට තීරණය කළ බව ද ඔහු තම වාර්තාවේ සඳහන් කර තිබේ.

වෛද්‍ය තෙන්නකෝන් සඳහන් කර ඇති පරිදිම මියගිය එම කාන්තාව තම පවුලේ ඥාතීන් සමඟ ජීවත් වූ අයෙකි. නොවැම්බර් මස 29 වැනි දා ඇය කොළඹ ජාතික රෝහලට අංශභාග තත්ත්වයෙන් ඇතුළත් කර ඇත. එහි දී කරන ලද පරීක්ෂණයකින් තහවුරු වී ඇත්තේ එම කාන්තාව කොරෝනා ආසාදිතයකු බවයි. ඒ හේතුවෙන් ඇය අයිඩීඑච් රෝහලට යවා ඇත. ඉන් පසු දෙසැම්බර් 10 වැනි දින කරන ලද පරීක්ෂණයකින් පසු ඇය නැවත කොළඹ ජාතික රෝහලට එවා තිබේ. ජාතික රෝහලෙන් ඇය දෙසැම්බර් මස 11 වැනි දින නිවසට යවා ඇති අතර 12 වැනි දින ඇය නිවසේ දී මියගොස් ඇති බව වෛද්‍යවරයා සිය වාර්තාවේ සඳහන් කර තිබේ.

එදිනම ගන්නා ලද ජෛව සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ දී පීසීආර් පරීක්ෂාවට ලක්කිරීමෙන් තහවුරු වී ඇත්තේ ඇය කොරෝනා ආසාදිත බවයි. එනම් ඇගේ සිරුරේ කොරෝනා වයිරසය තිබෙන බවයි. නමුත් වෛද්‍ය තෙන්නකෝන් පවසා ඇත්තේ පසුව කරන ලද සමාලෝචනයෙන් මෙම සිරුරින් වයිරසය වෙනත් අයකුට ආසාදනය නොවන බව තීරණය වූ බැවින් දේහය අවසන් කටයුතු සඳහා නිදහස් කළ බවයි.

මෙතැන දී ගැටලු මතුවෙයි. දැනට ක්‍රියාත්මක වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කර ඇති මළ සිරුරු සම්බන්ධයෙන් ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධ ගැසට් පත්‍ර හා චක්‍රලේඛ අනුව කොරෝනා ආසාදිත බව තහවුරු කරගන්නා මරණයක් පැය 24ක් ඇතුළත ආදාහනය කළ යුතුය.

එම උපදෙස් මාලාවන්හි කොතැනකවත් කොරෝනා ආසාදිත මළ සිරුරකින් වයිරසය වෙනත් අයකුට බෝවන්නේ ද නැද්ද යනුවෙන් සමාලෝචනය කර එය නිදහස් කිරීමට හැකියාවක් ඇති බවට සඳහන් කර නැත. එසේනම් මේ මළ සිරුරට අනවශ්‍ය සමාලෝචනයක් කරමින් වෛද්‍යවරයා විසින් එය ඥාතීන් වෙත නිදහස් කර ඇත්තේ කෙසේ ද යන්න වෙනම විමසා බැලිය යුතු කරුණකි.

පසුගිය දා ගාල්ල කරාපිටිය රෝහලේ දී ආන්දෝලනයට තුඩුදුන් මළ සිරුරක් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කළ විට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ එම මළ සිරුර සම්බන්ධයෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් කරුණු විමසා ඔහු ලබාදෙන උපදෙස් අනුව කටයුතු කළ යුතු බවයි.

ඒ අනුව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් පොලිසිය කරුණු විමසූ විට ඊට පිළිතුරු සපයමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා  පවසා ඇත්තේ මළ සිරුරු සම්බන්ධයෙන් තමන් විසින් මීට ඉහත නිකුත් කළ චක්‍රලේඛ හා ගැසට් පත්‍ර අනුව කටයුතු කිරීම අවශ්‍ය බවයි. ඒ අනුව එම දේහය ඊයේ (24) ගාල්ල දඩල්ල ආදාහනාගාරයේ දී ආදාහනය කරන ලදී.

ඊට අමතර වශයෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනාරාල් වරයා සියලුම අධිකරණ වෛද්‍යවරුන් ඇතුළුව සෞඛ්‍ය අංශ ප්‍රධානින්ට (කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍යවරයා ද ඇතුළත්ය) දන්වා තිබුණ් ශීතාගාර පහසුකම් සම්බන්ධයෙන් තමන් අධිකරණ අමාත්‍යවරයාට නිකුත් යවා ඇති ලිපිය වෙනත් කරුණක් සම්බන්ධයෙන් බැවින් එය මළසිරුරු ආදාහනය නොකිරීමට ලබාදුන් ලිපියක් ලෙස නොසළකන ලෙසයි. එය මීට පෙර නිකුත් කළ චක්‍රලේඛ අතික්‍රමණය කිරීමක් හෝ ඉවත්කිරීමක් නොවන බවත් එය චක්‍රලේඛයක් නොවන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් දන්වා තිබිණි.

අධිකරණයෙන් ලබාදුන් නියෝගයකට අනුව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා එවැනි උපදෙස් යළි නිකුත් කර තිබිය දී කොළඹ පොලිස් මෘත ශරීරාගාර පරිශ්‍රයේ ශීතාගාරයක් සවිකර එහි මළ සිරුරු ගබඩා කර තැබීමට ද මේ වනවිට කිසියම් පිරිසක් කටයුතු කර තිබේ.

එමෙන්ම මෙම මළ සිරුර ඥාතීන් වෙත නිදහස් කිරීම ද කොරෝනා වසංගතය හමුවේ නිකුත් කර ඇති මළ සිරුරු සම්බන්ධ චක්‍රලේඛ හා ගැසට් පත්‍ර උල්ලංඝනය කිරීමක් දැයි පරීක්ෂා කළ යුතුව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!