යුක්රේනයේ සිට කොත්තමල්ලි ලෙස සඳහන් කරමින් එවන ලද බහාලුම් 24ක් තුළ කෘෂිකාර්මික අපද්‍රව්‍ය තොගයක් තිබූ බව පාරිභෝගික ආරක්ෂක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (24) සොයාගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න පවසයි.
ඔහු පවසන්නේ ශ්‍රී ලාංකික ආනයනකරුවන් පිරිසක් විසින් කෝටි 07ක් වටිනා කොත්තමල්ලි ඇණවුම් කළ විට මේ අපද්‍රව්‍ය තොගය ලැබී ඇතැයි වාර්තාවන බවයි. යුක්‍රේනයේ ඇග්‍රොනිකා නමැති සමාගමකින් මේ කොත්තමල්ලි ඇණවුම් කර තිබී ඇත. එරට ආහාර සුරක්ෂිතතාව හා පාරිභෝගික ආරක්ෂණ ආයතනය විසින් සුවස්ථතා සහතිකයක් නිකුත්කර තිබේ. රේගුව පවසන්නේ මෙම බහාලුම් රැගෙන ආ නැව්වල නෞභාර පත්‍රවල මෙන්ම අනෙකුත් සියලු ලියකියවිලිවල මේවා කොත්තමල්ලි බවට සටහන්ව තිබූ බවයි.
අද (24) සවස කොළඹ වැලිගම්පිටිය රේගු බහාලුම් පරීක්ෂා කිරීමේ අංගනයේ දී මෙම බහාලුම් පරීක්ෂා කළ අතර, එයට රේගු නිලධාරීන් මෙන් ම මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීහු පිරිසක් ද සහභාගී වී සිටියහ.
එහිදී මෙම කෘෂිකාර්මික ශාක අපද්‍රව්‍ය මෙසේ ආනයනය කිරීම 1999 අංක 35 දරන ශාක ආරක්ෂක පනත යටතේත් නීතිවිරෝධී වන බව ප්‍රකාශ වූ අතර , මේ පිළිබඳව පැවැත්වෙන රේගු විමර්ශන වලින් පසුව මෙම බහාලුම් 28 යළිත් යූක්‍රේනය වෙත ප්‍රති අපනයනය කිරීමට නියමිත බව ද ප්‍රකාශ විය.
එම බහාලුම් ගෙනවිත් ඇත්තේ දෙසැම්බර් මස 10 වැනි දින බහාලුම් 08 ක් හා 21 වැනි දින තවත් බහාලුම් 20 ක් ද වශයෙනි. එලෙස ගෙන එන ලද බහාලුම් 24 ක් කොළඹ වරායේත් , තවත් බහාලුම් 04 රේගු බහාලුම් පරීක්ෂා කිරීමේ අංගනයේත් මේ වනවිට රඳවා තිබේ.