ශ්‍රී ලංකාවේ චිත්‍ර ශිල්පිනියක හා ගුරුවරියක වූ ජනනි කුරේ 99 “Sharing Crisis”, performance ජාත්‍යන්තර වැඩසටහනට අන්තර්ජාලය ඔස්සේ සිය කාලකෘති ඉදිරිපත් කරමින් ජාත්‍යන්තර ඇගයීමට ලක්ව සිටින්නීය. එසේ වුව ද මේ කලාකෘතීන් තේරුම්ගැනීම නොහැකි වූ බොහෝ දෙනකු ඇගේ ඒ කලා කෘති පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස විවේචනය කරනු දක්නට ලැබිණි.
මේ ලිපිය සහන් කසීර වික්‍රමසිංහ විසින් ජනනි කුරේ කරන ලද කලා නිර්මාණ පිළිබඳ තැබූ සටහනකි. එම ලිපියට පහළින් ඇය පිළිබඳ සමාජ මාධ්‍යයන්හි තැබූ තවත් සටහන් කිහිපයක් සහ ජනනි විසින් ම තැබූ සටහනක් ද උපුටා දක්වා ඇත.
ශ්‍රී ලංකාව වනාහි දූපතක් යැයි භූගෝල විද්‍යාවට හෝ සමාජ අධ්‍යයනයට ඉගැන්වූ පමණින් එය තේරුම් ගන්නට අපහසු නම් ඔබ කළ යුත්තේ මේ මොහොතේ
නම් කලාවේදිනියගේ ෆේස්බුක් ප්‍රොෆයිලය වෙත පිවිස ඇය වෙත ලැබෙන ප්‍රතිචාර නැරඹීමය. කිසිම මනුෂ්‍ය ප්‍රාණියෙක් සර්වඥතා නුවණ හෙවත් ‘සියල්ල දන්නා නුවණින්’ යුක්ත වන්නේ නැත. එය අප වටහාගෙන සිටිමු. නමුත් තමාගේ නොදන්නා බව සහ නූතන කලා සම්ප්‍රදායයන් පිළිබඳ යාවත්කාලීන වී නොමැති බව පිළිබඳ කිසිදු අවබෝධයකින් තොර සුකිරි බටිල්ලන්ගේ හැසිරීම් දකින විට ඔබ මා වෙසෙන ලංකාව අනිවාර්යයෙන් ම කොහේ හෝ කොණක පිහිටි දූපතක් ම බව තහවුරු වනු ඇත.
ජනනි කුරේ යනු ශ්‍රි ලාංකේය ‘අභිවාහ්‍ය කලා’ ක්ෂේත්‍රයේ කිසියම් සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කළ ප්‍රතිභාපූර්ණ කලාවේදිනියක් විනා තමාගේ මානසික ව්‍යාධියක් මුහුණුපොත හරහා එළිදක්වන රෝගිනියක නොවන බව වටහා ගැනීමට නම් ඔබ පළමුව ‘අභිවාහ්‍ය කලා’ යනු කුමක්දැයි සහ එනමින් යුත් කලා සම්ප්‍රදායයක් මෙරට පවතින බව දැන සිටිය යුතු ය. Performance Art හෙවත් අභිවාහ්‍ය කලා Performing Arts සමග පටලවා නොගැනීම ද ඔබගේ කාර්යයකි. බොහෝ විට කලා කෘතිය ප්‍රේක්ෂකයා සමග ම සජීවි ව සම්බන්ධ වන ‘අභිවාහ්‍ය කලා කෘති’ රසික ප්‍රතිචාරය සජීවිව දැක බලා ගැනීමේ අවස්ථාව හිමිවන සීමිත කලා සම්ප්‍රදායයන්ගෙන් එකකි. අභිවාහ්‍ය කලා කෘති බොහෝ විට විවෘත අවකාශයෙන් මිදී සුදු කලාගාර කුටීරයක සීමිත ප්‍රේක්ෂක දැක්මක් සහිතව ඉදිරිපත්කරන්නට පෙළඹෙන්නේ කලාකෘති හරහා සාකච්ඡාවට බඳුන් වන මාතෘකා, කලාකෘතිවල නිරූපිත ස්වභාවය, සුදුසු වයස් සීමාවන් වැනි කරුණු ද සංස්කෘතික, ආගමික කරුණු ද හේතු කොටගෙනැයි මා ලීවේ වසර තුනකට පෙර ය. ජනනි කුරේ සිදුවීමත් සමඟ ම එම හේතු ලැයිස්තුවට ‘ගෝත්‍රික පිබිදීම්’ යනුවෙන් අලුත්ම නිරීක්ෂණයක් එකතු කිරීමට දැන් හැකියාව ඇත.
ජාත්‍යන්තර ප්‍රසාදය සහ පිළිගැනීම සහිත කලාවේදිනියක වන ජනනි කුරේගේ ඡායාරූප ඇල්බම් ෂෙයාර් කරමින් ඇයට සමච්චල් කරන පිරිස අතර Manesha Fdo නම් කාන්තාවක් එය ෂෙයාර් කර තිබුණේ ‘ Anula collage – University – Is this an Art?’ නම් සටහන සමගිනි. ජනනි කුරේගේ මූලික අධ්‍යාපනය, ඇගේ ද්විතීයක අධ්‍යාපනික සුදුසුකම් සහ කලා නිර්මාණ පිළිබඳ ප්‍රශ්න කරන මේ කාන්තාව කවුදැයි නිරීක්ෂණය කළ විට ඇය වෘත්තියෙන් කොණ්ඩා සැකසුම් ශිල්පිනියකි. අනෝජා වීරසිංහ මහත්මිය වරක් ‘මේ රටේ කොණ්ඩ හදන්න තැන් ඕනේ තරම් තියෙනවා. ඒත් ඔළුව හදන්න තැනක් නැහැ’ යනුවෙන් පැවසූ කථාවට ජීවමාන නිදර්ශනයක් රූපලාවන්‍යාගාරයක් තුළින් ම හමු වීම උත්ප්‍රාසය දනවන්නකි.
ශ්‍රි ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර වැඩමුළු සඳහා පවා ඇරියුම් ලැබෙන ජනනි කුරේ පිළිබඳ නොදන්නා ඔබ බොරැල්ල නගරය දන්නවා ඇතැයි සිතමි. මේ සමඟ පළ කරන මුල් ඡායාරූප ද්විත්වය 2017 වසරේ ‘තීර්ථ අභිවාහ්‍ය කලා වේදිකාව’ වෙනුවෙන් ජනනි කුරේ ඉදිරිපත් කළ කලා කෘතිය යි. ගිනිගෙන දැවෙන බොරැල්ල මංසන්ධියේ සිට යාර කිහිපයක් පහළින් ලණු වලින් බැඳ අතහැර දැමූ ගැහැනු සිරුර ඇය ය. ඒ, ඔබ නොදන්නා කලාව සහ ඔබ නොදන්නා කලාවේදිනිය ය.
ශ්‍රී ලංකාව තුළ පළමු වරට අභිවාහ්‍ය කලා කෘතියක් එළි දකින්නේ 1992 වසරේ දී ජගත් වීරසිංහ විසින් කොළඹ ජාතික කලා භවනේ දී පවත්වන්නට යෙදුණු ‘කාංසාව’ හෙවත් ‘Anxiety’ නම් දෘෂ්‍ය කලා ප්‍රදර්ශනයේ දී ය. ප්‍රදර්ශනය පැවැත්වෙමින් තිබෙන අතරතුර කලාගාරය මැද කළු පැහැයෙන් සැරසුණු නිමල් මෙන්ඩිස් විසින් සරත් කුමාරසිරි සහ විජිත බණ්ඩාරගේ සහාය ඇතිව මිනී පෙට්ටියක් කුඩු කළ අතර සිදු කළ අතර ‘මිනී පෙට්ටිය බිඳ දැමීම’ නම් එම නිරූපණාංගය තත්කාලීන කලා සමාජය තුළ මෙය කලාවක්දැයි යනාදි දැඩි ප්‍රශ්න කිරීමකට ලක් විය. මේ අවස්ථාවේ දී ඇනා පෆ් නම් ජර්මානු කලාවේදිනිය මුහුණු සුදු පැහැයෙන් පින්තාරු කොට, තනි සුදු ගවුමකින් සැරසී මිනීපෙට්ටිය බිඳ දැමීම නරඹන්නන් හට සුදු අරලිය මල් බෙදා දුන්නා ය. මහමග ටයර් සෑය මත මළ සිරුරු දැවුණු , ගංගා ඇළදොළ මත මළ මිනී පා වුණු යුගය අමතක කරන්නට උත්සාහ දමමින් තිබුණු මොහොතක ‘ගෞරවනීය මරණය’ යන සංකල්පය අභියෝගයට ලක් කළ ජගත් වීරසිංහ මිනීපෙට්ටිය බිඳ දමන්නට සලස්වන මොහොත සහිත තෙවැනි ඡායාරූපය හොඳින් නිරීක්ෂණය කළහොත් ඔබට එහි පෙනෙන ඇනා පෆ් ද හඳුනාගැනීමට හැකි වනු ඇත. එම අභිවාහ්‍ය කලා කෘතිය ජගත් වීරසිංහ විසින් වෙනත් අය ලවා ඉදිරිපත් කළ බැවින් ලංකාව තුළ මුල් වරට කේවල අභිවාහ්‍ය කලා කෘතියක් ඉදිරි පත් කරනු ලැබුවේ ජී ආර් කොන්ස්ටන්ටයින් විසින් යැයි සැලකෙනු ලැබේ.
වසර තුනකට පෙර ‘තීර්ථ කලා වේදිකාව’ මොහොතේ දී එහි සම අධ්‍යක්ෂවරයෙක් වූ ලලිත් මානගේ පැවසූ දෙයක් එදාටත් වඩා වටින්නේ අදටයැයි සිතමි. ‘මේක විකාරයක්, කිසිම තේරුමක් නැති වෙලාව කන වැඩක් කියලා කවුරු හරි දකින්න පුළුවන්. ඒත් ලෝකයේ සංකල්පීය කලාව වගේම වියුක්ත කලාව බිහිවුණේත් ඔය කියන විවේචන එක්කමයි’ ඔහු ලාංකේය අභිවාහ්‍ය කලාවේ අනාගතය හොඳින් කියවා තිබිණ.
ටෙනිසන් කුරේගේ අවර ගණයේ විහිළුවලින් තමන් අමන්දානන්දයට පත්වන බවට පරසක්වල ගසන රසිකයින් සිටින රටක , ජනනි කුරේ මානසික රෝගියෙක් ලෙස හැඳින්වීම ද , ඇයගේ කලාකෘති විහිළුවක් ලෙස භාර ගැනීම ද අමුත්තක් වන්නේ නැත.
ලෝකය තනියායකි. අපි එහි අන්ධකාර කොණක වූ වගා ළිඳක වැටී සිරවී සිටිමු. ඇත්කඳුරේ ජනක් ද සිල්වා පැමිණ වීඩියෝ කර අටපට්ටමට පෙන්වන තෙක් ම ඕනෑම දේකට සිනාසෙමින් වගා ළිඳක සිර වී සිටිමු.
(සහන් කසීර වික්‍රමසිංහ)
කලාව කරල තනියම ගැහැනියක් මහමග අවමන් විඳිද්දි සනීපෙට කලාව කරගෙන ඒක විකුන විකුන කුටුම්භ සංරක්ෂණය කරන එක විතරක් කලාව ලෙස කරගෙන යන නෝනාවරුනි,මහත්වරුනි ජනනි කුරේ ඔයගොල්ලනට වඩා ගව්ගානක් ඈතින් බව මතක තියාගන්න.මේ මොහොතේ ජනනි භෞතික වෙමින් ඉන්නවා.ජනනි අපි ඔබ සහ ඔබේ කලාව වෙනුවෙන් පෙනී ඉන්නවා.
(ප්‍රගීත් රත්නායක)
ජනනිගේ ප්‍රොෆෝමන්ස් ආර්ට් තරම් මේ දිනවල ජනප්‍රිය වෙනත් කලාවක් නැති තරම් ය. නමුත් යමක් ජනප්‍රිය විය හැකි/කල ආකාර කිහිපයක් තිබේ. ඉන් එක් ආකාරයක් නම් බෑඩ් නැත්නම් නෙගටිව් පබ්ලිසිටි ය. ජනනිට මේ දිනවල ලැබෙන්නේ නෙගටිව් පබ්ලිසිටි ය. ලෝකයේ ප්‍රොෆෝමන්ස් ආර්ට් කියා ශානරයක් ඇති බව නොදන්නා අය පවා මේ අනුව එය දැනගනු ඇත. ඇගේ බොහෝ ඉදිරිපත්කිරීම් අතිශය නිර්මාණශීලී ය. ඉතින් මට නම් ජනනිට මේ ලබා දෙන පබ්ලිසිටිය මරු ය.
(නදී වාසලමුදලිආරච්චි)
99 “Sharing Crisis”, performance ජාත්‍යන්තර වැඩසටහනට විවිධ රටවල සිට performance කරමින් fb ඔස්සේ සහභාගී වූ වෙනත් කිසිම කලාකරුවකුට හෝ කලාකාරිනියකට එම නිර්මාණ හාස්‍යට ලක්කර විකෘති වින්දනයක් ලබන ප්‍රේක්ෂකයන් තම රටවල නොසිටීම වාසනාවකි
(ජනනි කුරේ)