spot_img
spot_imgspot_img

මහා පරිමාන ව්‍යාපෘති තොරතුරු රැසක් ජනතාවගෙන් හංගලා

පුවත්

විදෙස්

මෙරට ක්‍රියාත්මක මහා පරිමාණ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රසම්පාදන තොරතුරු ජනතාවගේ දැනගැනීම පිණිස ප්‍රසිද්ධ කර නොමැති බව අනාවරණය වෙයි.

මේ බව අනාවරණය වී ඇත්තේ වෙරිටේ රිසර්ච් ආයතනය පවත්වාගෙන යන යටිතල පහසුකම් විමසුම වේදිකාවේ 2024 නවතම යාවත්කාලීන කිරීමට අනුවය.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක මහා පරිමාණ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති 50ක් මෙම වේදිකාව යටතේ විමසුමට ලක්කර ඇත. ඒවායින් 21ක් දේශීය ණය සහ ප්‍රදානයන් යටතේ ද, 29ක් විදේශීය ණය සහ ප්‍රදානයන් යටතේ ද, ක්‍රියාත්මක වේ. මෙම ව්‍යාපෘතිවල සමස්ත වටිනාකම රුපියල් ට්‍රිලියන 1.01කි.

2016 තොරතුරු දැනගැනීමේ පණතෙහි වගන්ති අංක 9 ප්‍රකාරව ව්‍යාපෘතියකට අදාළ තොරතුරු කාණ්ඩ 5ක් යටතේ ප්‍රසිද්ධ කළ යුතු ය. ව්‍යාපෘතියේ විස්තර, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ පදනම සහ ප්‍රතිලාභීන්ගේ විස්තර, ව්‍යාපෘතියේ අයවැය සහ මුල්‍ය වාර්තා, ව්‍යාපෘතියට අදාළ අනුමැතීන්, ව්‍යාපෘතියේ ප්‍රසම්පාදන තොරතුරු සහ කොන්ත්‍රාත්තු, යනාදිය එම කාණ්ඩ 05 වේ.

මෙම කාණ්ඩ යටතේ සමස්ත තොරතුරු ජනතාවට හෙළි කර ඇති ප්‍රතිශතය 36%ක් පමණ අඩු මට්ටමක පවතින බව වෙරිටේ රිසර්ච් අධ්‍යනයෙන් හෙළිව ඇත. ප්‍රසම්පාදනය සම්බන්ධ තොරතුරු පමණක් සැළකුවහොත් – එනම් ව්‍යාපෘතියකට කොන්ත්‍රාත්කරුවන් තෝරාගත් ආකාරය, අරමුදල් සපයාගැනීමේ දී, එකඟ වූ කොන්දේසි ආදී තොරතුරු හෙළි කිරීම 21%ක් තරම් අවම බවත් මෙම අධ්‍යනයෙන් තවදුරටත් අනාවරණය වෙයි..

තොරතුරු හෙළි නොකිරීම වංචා සහ දූෂණවලට ඉනිමං තැනීමකි. මහා පරිමාණයෙන් මුදල් ගැවසෙන ප්‍රසම්පාදන ක්‍රියාවලිය සැළකූ විට එය වඩා බරපතල වන අතර, එතැන වන අකටයුතුකම් රටේ ආර්ථිකයට ද, සෘජුවම බලපායි.

එනිසාම, ශ්‍රී ලංකාවේ ආර්ථිකය නිසි මාවතට ගැනීමට ප්‍රසම්පාදන ක්‍රියාවලියේ වංචා සහ දූෂණ අවම කිරීමට කටයුතු කිරීම ඉතා වැදගත් බව මෙරට සිවිල් සමාජ සංවිධාන මෙන්ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ද, පෙන්වා දී ඇත. එහිලා ගත හැකි වැදගත් පියවරක් වන්නේ එම ක්‍රියාවලියේ විනිවිදභාවය වැඩි කිරීම යි.

ගෙවුණු වසර ගණනාව පුරාවට දේශපාලන නායකයින් වංචාව සහ දූෂණය මර්දනය කරන බවට නොයෙක් පොරොන්දු දී ඇතත්, ඒවා යතාර්තයක්ව නොමැති බව ව්‍යාපෘතියකට අදාළ ප්‍රසම්පාදන තොරතුරු නිසි ලෙස ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රී ලංකාව තවමත් අපොහොසත්ව තිබීමෙන් පෙනී යයි.

2024 ජනපතිවරණ වේදිකාවන්ගෙන් ද, මේ වන විට ප්‍රකාශයට පත්කර ඇති ඇතැම් ප්‍රතිපත්ති ප්‍රකාශවල ද, වංචාව හා දූෂණය මර්දනය කරන බවට වන නොයෙක් පොරොන්දු දී ඇත. බලය පැමිණි පසු අඩුම තරමින් තොරතුරු දැනගැනීමේ පනත ප්‍රකාරව ව්‍යාපෘති සම්බන්ධ සියලු තොරතුරු ප්‍රගාමීව ජනතාවගේ දැනගැනීමට ප්‍රසිද්ධ කරන්නේ නම් එය ජනාධිපතිවරණ වේදිකාවේ දුන් පොරොන්දු සැබෑවටම ඉටු කිරීමක් වනු ඇත.

මෙම කාර්යය සඳහා විදේශ ණය සහ ප්‍රදානයන් ලබාදෙන ආයතන සහ විදේශ රජයන්ට ද, රුකුල් දීමට අවස්ථාවක් පවතී. විදෙස් ණය සහ ප්‍රදානයන් යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල ප්‍රසම්පාදන සම්බන්ධයෙන් වන තොරතුරු හෙළි කිරීමත් අවම මට්ටමක පවතින හෙයින්, තමන් අරමුදල් සපයන ව්‍යාපෘතිවල තොරතුරු රටේ තොරතුරු දැනගැනීමේ පනත ප්‍රකාරව ප්‍රසිද්ධ කරන බවට කැපවීමක් ශ්‍රී ලංකා රජයෙන් ලබාගැනීමට ඔවුන්ට හැකි ය. ඒ හරහා, මෙරට දූෂණය පිටු දැකීමේ කර්තව්‍යයට මහගු දායකත්වයක් ලබාදීමට විදෙස් ආයතන සහ රජයන්ටත් පිළිවන.

වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න – https://dashboards.publicfinance.lk/infrastructure-watch/sh/

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!