spot_img
spot_imgspot_img

ශාෆ්ටර් ඝාතනයේ විමර්ශන කඩිනමින් අවසන් කරන්නැයි නියෝග

පුවත්

විදෙස්

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ශාෆ්ටර් ගේ ඝාතන සිද්ධියට අදාල රස පරීක්ෂක වාර්තාව ද උපයෝගි කරගනිමින් කඩිනමින් විමර්ශන අවසන් කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණාවල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ(03) නියෝග කළේය.

ශාෆ්ටර් මරණයට පත්වූ අවස්ථාවේදී ‍ ඔහුගේ අතක බැඳ තිබූ ස්ලිප් පටිය සම්බන්ධ රස පරීක්ෂක වාර්තාව රජයේ රස පරීක්ෂකවරයා විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණාවල මහතා හමුවට ඉදිරිපත් කරනු ලැබ තිබූ බව අධිකරණයේදී ඊයේ (03) කරුණු ඉදිරිපත් විණි.

සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අධිකරණය හමුවේ ඊයේ (03) යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණි.

මෙම සිද්ධියට අදාළ රස පරීක්ෂණ වාර්තා කිහිපයක් ලැබීමට නියමිත බවත් එය ලැබුණු පසු පරීක්ෂණ අවසන් කිරීමට හැකියාව ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය. විමර්ශන කටයුතු අවසන්ව නොමැති බැවින් සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු සඳහන් කළේය.

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයකු වූ දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණය ගෙල සහ මුහුණ මත ඇති කළ පීඩනයක් හේතුවෙන් සිදුවූ අපරාධයක් බැවින් ඊට සම්බන්ධ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසට අධිකරණයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග නිකුත් වූයේ ඉකුත් 2023 වසරේ ඔක්තෝබර් මස 31 වැනිදාය.

මරණකරුගේ මරණයට හේතුව ප්‍රකාශ කිරීම සඳහා පත්කර තිබූ පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුවේ අවසන් වාර්තාව, මරණ පරීක්ෂණයේදී ඉදිරිපත් වූ පරීක්ෂණ වාර්තා ඇතුළු සියලු වාර්තා සැලකිල්ලට ගනිමින් අධිකරණයෙන් මෙම නියෝගය ප්‍රකාශයට පත්කර තිබිණ.

ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ශාෆ්ටර් මහතා බොරැල්ල පොදු සුසාන භූමියේදී ඔහුගේම මෝටර් රථය තුළ දෑත් බැඳ, ගෙල සිරකර සිටියදී සොයා ගත්තේ ඉකුත් 2022 වසරේ දෙසැම්බර් මස 15 වැනිදාය. පසුව ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එදිනම රාත්‍රියේ මිය ගියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!