spot_img
spot_imgspot_img

පාස්කු ප්‍රහාරයට සැකයැයි රඳවාගෙන සිටි අයගෙන් පොලිසිය සමාව ගනී

පුවත්

විදෙස්

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රඳවා තබාගෛන පසුව නිදහස ලැබූ පුද්ගලයන් තිදෙනකුගෙන් හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් 05 දෙනකු අද (01) ශ්‍රේෂ්ඨාධිකරණයේ දී සමාව ගත්තේය.

තමන්ව නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගෙන මාස හයකට වැඩි කාලයක් රඳවා තබා ගැනීම හේතුවෙන් තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට චෝදනා කරමින් සෙනූල් ආබ්දීන් ඉර්ෆාන්,  සෙනුල් ආබ්දීන් කලීෆාතුල්ලා සහ නූර්ගේ සකරියා යන අය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම සමාව ගැනීම සිදුකළේය.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පුද්ගලයින්ගෙන් යළි ප්‍රශ්න කිරීම් නොකරන බවත් අදාළ පොලිස් නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරල්වරයා අධිකරණය හමුවේ සඳහන් කළේය. එස්  තුරෙයි රාජා, කුමුදුනී වික්‍රමසිංහ සහ අචල වෙන්ගප්පුලි යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් කැඳවනු ලැබීය.

මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම්කර සිටි එවකට හොරොව්පතාන පොලිස් ස්ථානාධිපති  රොෂාන් සංජීව, එම පොලිසියේ පොලිස් සැරයන් ප්‍රේමරත්න, සැරයන් සිසිර, පොලිස් කොස්තාපල් ජයතිලක සහ කැබිතිගොල්ලාව පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණයේ පෞද්ගලිකව පෙනී සිටිමින් මෙලෙස විවෘත අධිකරණයේ දී සමාව අයදීම සිදුකළහ.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා සඳහන් කළේ මෙම පෙත්සම්කරුවන්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ හොරොව්පතාන මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබූ බවයි. 

2022 වසරේදී එම නඩු වලින් ඔවුන්  නිදොස් කොට නිදහස් කළ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියෙන් පසුව ලැබුණු පැමිණිලිවලට අනුව මෙම පෙත්සම්කරුවන් පිරිස පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බවත් ඔවුන්ගේ ගිණුම්වල රුපියල් කෝටි සීයකට වැඩි මුදලක් හුවමාරු වී ඇති බවට මාධ්‍යවලින් වාර්තා කර තිබූ බවත් අධිකරණය හමුවේ සඳහන් කර තිබුණි.

එහෙත් පසුව තමන්ව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය තීන්දු කළ බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් මේතුළින් සිය මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම් ගොනුකර තිබුණි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!