spot_img
spot_imgspot_img

ළමයින්ට හිංසා කරන්න, දෙමාපියන්ගෙන් ලිඛිත අවසර ඉල්ලූ පාසලක්

පුවත්

විදෙස්

“දරුවා යහමගට ගැනීමට” යැයි පවසමින් දරුවන්ට දඬුවම් කිරීමට දෙමාපියන්ගෙන් ලිඛිත අවසරය ඉල්ලූ පාසලක් පිළිබඳ Stop Child Cruelty Trust සංවිධානය වෙත පැමිණිල්ලක් ලැබී තිබේ.

මෙවැනි අවසරයක් ඉල්ලා ඇත්තේ බස්නාහිර පළාතේ, ජයවර්ධනපුර කලාපයේ ශ්‍රී රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය විසිනි. එම පාසලේ බලධාරීන් විසින් සිසුන්ගේ තොරතුරු එකතුකරන පත්‍රිකාවක “දරුවා යහමගට ගැනීමට ගරුවරයා විසින් දඬුවම් කිරීම අනුමත කරමි / නොකරමි” යනුවෙන් කරුණක් සඳහන් කර ඇත. එම කරුණු සියල්ල පුරවා දෙමාපියන් එහි අත්සන් තැබිය යුතු වේ.

දරුවන්ට ශාරීරික හෝ මානසික දඬුවම් කිරීම ජාත්‍යන්තර වශයෙන් මෙන්ම ශ්‍රී ලංකාවේ සාමාන්‍ය නීතිය අනුව ද බරපතල වරදක් වෙයි. මෙරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දු ගණනාවක දී දරුවන්ට ශාරීරික සහ මානසික දඬුවම් කිරීම, බලපෑම් කිරීම සහ වදහිංසා පැමිණවීම වරදක් බව පැහැදිලිව තීන්දු කර තිබිය දී පාසල් බලධාරීන් මෙලෙස කටයුතු කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීමක් බව නීතිවේදීහු පෙන්වා දෙති.

දරුවන්ට දඬුවම් කිරීමට දෙමාපියන්ගෙන් ලිඛිත අවසර ඉල්ලා සිටින මෙවැනි විදුහ්ලපතිවරුන් ඇතුළු පාසල් බලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කිරීම අත්‍යාවශ්‍ය බව rata.lk අපි අවධාරණය කරන්නෙමු.

මේ පිළිබඳ තොරතුරු විමසීමට ශ්‍රී රාජපක්ෂ මහා විද්‍යාලයේ විදුහල්පති සම්බන්ධ කරගැනීමට එම පාසලේ දුරකථන අංකයට ඇමතුම් ගත්ත ද එම දුරකථනයට කිසිවෙකු ප්‍රතිචාර දක්වන්නේ නැත.

එබැවින් මෙම පුවත හේතුවෙන් පාසලට හෝ පාසලේ පරිපාලනයට හෝ වෙනත් යම් පුද්ගලයකුට අගතියක් වන්නේ යැයි හැ‍ඟෙන්නේ නම් ඔවුන්ගේ අදහස් දැක්වීම් ද මේ හා සමාන ඉඩක් ලබාදෙමින් පළකිරීමට අපි බැඳී සිටින බව මාධ්‍ය ආචාරධර්ම ආරක්ෂා කරන වෙබ් අඩවියක් ලෙස මෙහි සඳහන් කරන්නෙමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!