spot_img
spot_imgspot_img

නැවේ දී මියගිය නාවිකයාගේ සිරුර මාස 05ක් මහ මුහුදේ

පුවත්

විදෙස්

ඉන්දියන් සාගරයේ මසුන් අල්ලන චීන නෞකාවක සිටි නාවිකයකු පසුගිය සැප්තැම්බර් මස 27 වැනි දා මියගොස් ඇති අතර ඔහුගේ සිරුර, මාස පහකට පමණ පසු ගොඩබිමට ගෙනවිත් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ දී පසුගිය 20 වනදා හදිසි මරණ පරීක්ෂණයක් පැවැත්විණි.

මෙලෙස මියගොස් තිබුණේ ඉන්දුනීසියා ජාතික යොහැන්නස් පසරිබු නමැති 21 හැවිරිදි තරුණයෙකි. ඔහු ‘ලූ ක්විං යුවෑන් යූ 107’ නැමැති චීන නෞකාවේ සීමන් වරයෙක් ලෙස කටයුතු කර තිබිණි.

මෙම පුද්ගලයා නෞකාව තුළ දී වැටී මියගිය බව සැප්තැම්බර් මස 30 වැනි දින නාවික සේවා සපයන ‘ජැක් ෂිපින්’ ආයතනයට අදාළ නෞකාව හිමි සමාගම විසින් දන්වා තිබිණි. එහි දී ඔවුන් පවසා ඇත්තේ මාස ගණනක් එක දිගට මුහුදේ මසුන් ඇල්ලීමේ කාර්යයේ නිරතවන මෙම නෞකාව පෙබරවාරි මාසයේ දී ගාල්ල වරාය ආසන්නයට පැමිණෙන බැවින් එවිට මෙම මළ සිරුර ‍ගොඩබිමට ගෙන ගොස් මරණ පරීක්ෂණයක් පවත්වා සිරුර ඉන්දුනීසියාවේ සිටින මියගිය පුද්ගලයාගේ ඥාතීන් වෙත යවන ලෙසයි.

ඒ අනුව කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ විසින් හදිසි මරණ පරීක්ෂණය පවත්වන ලදී.

නෞකාවේ වාර්තාවල දැක්වෙන්නේ 2023 සැප්තැම්බර් මස 26 වැනි දින නෞකාවේ දී ඇද වැටුණු මියගිය තරුණයාගේ මුහුණ තුවාල වී දත් කිහිපයක් ද කැඩී තිබුණු බවයි. ඉන් පසු ඔහු ලේ සහිතව වමනය කළ බවත් විවේක කාමරයට යවා ඔහුට හදිසි ප්‍රතිකාර ලබාදුන් බවත් වැඩිදුරටත් සඳහන් කර තිබිණි. නිරන්තරව ඔහු සම්බන්ධයෙන් සොයා බැලුව ද පසු දින, එනම් සැප්තැම්බර් 27 උදෑසන බලනවිට ඔහු මියගොස් සිටි බවත් නැ‍වේ ඇති වාර්තාවේ සඳහන්ව තිබී ඇත.

එම මරණ පරීක්ෂණයේ දී සාක්ෂි ලබාදුන් ජැක් ෂිපින් ආයතනයේ වෙළෙඳ හා නාවුක විධායක නිලධාරී ලියන රාළලාගේ නුවන් බණ්ඩාර (53) කියා සිටියේ පෙබරවාරි 18 වැනි දා එම නෞකාව ගාල්ල වරාය ආසන්න මුහුදට පැමිණි බැවින් තමන් වරාය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහ වරාය පොලිසියේ සහය ඇතිව නෞකාවට ගොස් එම සිරුර භාරගත් බවයි. මියගිය තරුණයාගේ පියා විසින් ඊමේල් පණිවිඩයක් එවමින් තම පුතාගේ මරණය සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණයක් පවත්වා සිරුර තමන් වෙත එවන ලෙස ඉල්ලා ඇතැයි ද ඔහු කීවේය.

හදිසි මරණ පරීක්ෂකවරයාගේ දැනුම්දීම මත කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී අනුරුද්ධ උහන්ඕවිට විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ අතර මරණයට හේතුව නිශ්චිතව තහවරු කර ගැනීම සඳහා දේහයේ පටක කොටස් රස පරීක්ෂකවරයා ලෙස යොමුකර තිබිණි. ඒ අනුව මෙම මරණයට විවෘත තීන්දුවක් ලබාදුන් හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ එම දේහය ඉන්දුනීසියාවේ සිටින ඥාතීන් වෙත යැවීමට අවසර ලබා දුන්නේය.

හදිසි මරණ පරීක්ෂකවරයා කියා සිටියේ, මාස පහකට පමණ පෙර මියගිය ද හදිසි මරණ පරීක්ෂණය සිදුකකරන අවස්ථාව වනවිටත් ඔහුගේ දේහය ඉතාමත් හොඳින් සුරක්ෂිතව තිබූ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!